අයවැය විවාද කාල සීමාව තුළ කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්!

කොළඹ LNW:අයවැය විවාද කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

ඊයේ (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, නොවැම්බර් 23 වැනි සඳුදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, පස්වරු 6.00 සිට 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන්ම, දෙසැම්බර් 5 වැනි සෙනසුරාදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය කර ඇත.

දෙසැම්බර් 7 වැනි සඳුදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 6.00 සිට 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් දිනයන්හිදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනෙනු ඇත.

මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා තුනක් පත් කිරීමට අදාළ යෝජනාවලට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේදී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන්, ආරක්ෂිත ක්‍රියාපටිපාටි, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා වී ඇත.

එමෙන්ම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තවත් විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද යෝජනා වී තිබේ.

මීට අමතරව, කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමර්ශනය කර, එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද යෝජනා කර ඇත.

මෙම විශේෂ කාරක සභා තුන පත් කිරීමට අදාළ යෝජනාවලට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඉන්දියාවේ ඊසානදිග...

මිලියන 47.6ක මුදල් වංචාවක් කළ චීන කටු වෛද්‍යවරයාට දඩ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: මිලියන 47.6ක චීන කටු...

අහසත් පහුකරගෙන ගිය ලංකාවේ ලස්සන! NASA කැමරාවක සටහන් වූ අපේ පුංචි දිවයින!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): පෘථිවියේ කොතැනක සිට බැලුවත්...

GTA 6 ආව ගමන් ලෝකයම පිස්සු වැටෙයි! පැය 24ක් යන්නත් කලින් ඩොලර් බිලියන 3.8ක වාර්තාගත ආදායමක්!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ):ලෝකයම බලාගෙන හිටපු Grand Theft...