සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වෙනුවෙන් සිදුකරන දැවැන්ත ආයෝජනවලින් අපේක්ෂිත ප්රතිලාභ ලැබේද යන්න පිළිබඳ ආයෝජකයන් තුළ මතුව ඇති සැකසංකා හේතුවෙන් ඇමෙරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොළ මේ වසරේ මෙතෙක් ලබාගෙන තිබූ සියලු වර්ධනය අහිමි කරගෙන තිබේ.
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝක ප්‍රකට කොටස් වෙළෙඳපොළක් සහ කොටස් වෙළෙඳපොළ දර්ශක කිහිපයක් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා සමාගම් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමේ ප්රතිලාභ පිළිබඳව ආයෝජකයන් ප්‍රශ්න කිරීමත් සමඟ AI ආශ්රිත සමාගම්වල කොටස් මිල පහත වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ලෝකයේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසක් මෙහි ලැයිස්තුගත වී ඇති අතර ලැයිස්තුගත සමාගම් 3,000කට අධික සංඛ්‍යාවක කොටස් නිරීක්ෂණය කරයි. AI තාක්ෂණය සඳහා යටිතල පහසුකම්, දත්ත මධ්‍යස්ථාන, පරිගණක චිප් සහ බලශක්ති සැපයුම් වෙනුවෙන් සමාගම් විශාල වශයෙන් මුදල් වැය කරමින් සිටියද, එම ආයෝජනවලින් අපේක්ෂිත ආදායම සහ ලාභය කෙතරම් ඉක්මනින් ලබාගත හැකිද යන්න පිළිබඳව වෙළෙඳපොළ තුළ ප්‍රශ්න මතුවීමත් සමඟ Nasdaq වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් අහිමි වී ඇත.
කෘත්‍රිම බුද්ධිය ලෝක ආර්ථිකයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළද, ඒ වෙනුවෙන් සිදුකරන අතිවිශාල ආයෝජනවල මූල්‍ය ප්රතිලාභ පිළිබඳව ආයෝජකයන් දැන් වඩාත් විමසිල්ලෙන් පසුවන බව මෙම වෙළෙඳපොළ පසුබෑමෙන් පැහැදිලි වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

