ජනාධිපතිතුමනි, සුබ උපන්දිනයක් …
එහෙම කිව්වට ඇත්තටම මේ මොහොතේ ඔබතුමාට “සුබ” එකම දෙය ප්‍රතිවාදියෙක් නැතිවීම විතරය. මැදපෙරදිග අර්බුදය කිසිසේත්ම ඔබට “සුබ” නැත. උද්ධමනයේ වැඩිවීම කිසිසේත්ම “සුබ” නැත. සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කොහොමවත්ම ඔබතුමාට “සුබ” නැත. වැස්සක්, ඟංවතුරක්, නියඟයක්, ක්‍රිකට් මැච් එකක් වගේ කිසිම දෙයක් ඔබතුමාට දැන් “සුබ” නැත… ඒ කියන්නේ රටේ අපි කාටවත්ම ඒවා “සුබ” නැත….
ඔබතුමාට “සුබ” තවත් එක දෙයක් වේ නම් ඒ ජේ.ආර් ගේ ව්යවස්තාවය. ජේ.ආර් ගේ ව්‍යවස්තාව ඔබතුමාතරම් දක්ෂවය ජේ.ආර් ගේ බෑණාවත්, අඩුම ජේ.ආර් වත් පාවිච්චි කලේ නැත. ඔබතුමා තරම් ඒ පොතෙන් වැඩක් ගන්නා මිනිහෙක් මම දැක නැත. මහින්ද කවදාවත් ඔය පොතෙන් ලොකුවට වැඩක් ගත්තේ නැත. මහින්ද විස්වාස කලේ කොල් එකක් අරගෙන පාට් එක දාන එක, බැරිමනං කෙලවන එක, බැලන්ස් කරන එක වගේ දේවල්ය. නමුත් ඔබතුමා එසේ නැත… ඔබතුමා ඒ පොතේ ඇති සියළු ටෙක්නික්වලින් ප්‍රතිවාදීන්ට පහරදෙන හැටි බලාඉන්නකොට පුදුමය…
ලංකාවේ පීක්ම, ජනප්‍රියම ජනාධිපතිවූ මහින්දවත් වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු සහ බස් වෘත්තීය සමිති එක්ක හැප්පුනේ නැත. මහින්ද ඒවා එක්ක ප්‍රේමයයි වෛරයයි සීන් එකෙන් බැලන්ස් ගේමක් ගැහුවේය. නමුත් ඔබතුමා මේ ඔක්කොම එක්ක පොත අතට ගෙන සැරටම හැප්පුනේය. ඇත්තටම මේ හතරම ඔබතුමා ඉස්සරහා කකුලක් පස්සට ගත්තේය. ජේ.ආර් ජූලි වර්ජකයන් එක්ක හැප්පුනාට පසු වෘත්තීය සංගම් එක්ක මේ ගාණට හැප්පුනේ ඔබතුමාය… මේ වෙනුවෙන් ඔබතුමා කුණුහර්ප කීම්, කණට ගැසීම් නොකල අතර අර පොතේ ඇති පරිච්ඡේද කීපයක් පමණක් පාවිච්චි කලේය….
ඊළඟට සංඝ ප්රජාවය. අර වෘත්තීය සමිති එක්ක හැප්පුනත් ඕක එක්කනං බෑම බැරිය. මහින්ද ඕක වඩාගෙන හුරතල්කරගෙන බැලන්ස් කරගත්තේය. මහින්දගේ පීක් එකේවත් ඕකට අත තිබ්බේ නැත. නැති තැනනං සමහර සුවාමීන්වහන්සේලාගේ ජාතිය ඇමතු බව සමීප අයගෙන් අසා ඇතත් එළිපිටනං ගේම ඉල්ලුවේම නැත. නමුත් ඔබතුමාගේ දකුණත්සව් කෙනෙක් මිහින්තලේ වනචාරියා කියා පටන්ගත් ගේම අන්තිමට රුවන්මැලි සෑය අභියස මහා ගුටිපූජා කර්මයකින් කෙළවරවන තෙක්ම ගියේය. ඔබතුමා අර පොතම පෙන්වමින් කියා සිටියේ මට පොතට පිටින්නං වැඩකළ නොහැකිය කියාය….
ඉතිං ගරු ජනාධිපතිතුමනි,
ඔබතුමාලා එක්තරා කාලයක ඉතාම තදින් විරුද්ධවුණු මේ ජේ.ආර්ගේ පොත අද ඔබතුමාට “සුබ” වැඩිම දෙය බවට පත්වීම දේශපාලනය යනු කොයිතරම්නං සංකීර්ණ දෙයක්ද කියා අපට කියාදෙනවාය. එක කාලෙක මේ පොත අනෙක් එවුංට දාලාත් ගහපු, මේ පොතේ පිටු කඩා රොකට් යවපු උං දැන් මේ පොතෙන් බේරෙන්නට දුවන දිවිල්ල දැක්කම හිනත් යනවාය… මේකේ හැටි එහෙමය…
ඔබතුමාගේ ජයග්‍රහණයට පැය කීපයකට කලින් තිබූ සංක්‍රාන්ති කාලයේ රතු ජැකට්ටුවක් ඇඳ මහගිරිදඹ තරණයට සැරසී ආතතියෙන් බලාසිටින මේ තරුණයාගේ පිංතූරය දමා ලියු සුබපැතීම ඔබට මතක ඇති.
මම ඒකෙන් මේ ඡේදය පමණක් උපුටා ගන්නෙමි…
“එබැවින් පත්වීමට බලාසිටින ගරු නවවන විධායක ජනාධිපතිතුමනි,
හෙට දහවල් සිට ඇරඹෙන ඉදිරි වසර පහ ඔබට ගෙවන්නට වන්නේ මෙහෙමය. ඔබව මුලින්ම අතහරින්නේ මේ මොහොතේ ඔබව ඉහලින්ම ඔසවා තබන්නන්ය. ඒ ඔබේ පළමු “පරාජයයි”… ඔබේ මුල්ම “පරාජය” හොඳින්ම කළමණාකරණය කරගන්නට හැකිවුණොත් ඉදිරි “පරාජයන්ට” ඉතා සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඔබට ලැබේයයි අපට උපකල්පනය කළ හැක…
නවවන විධායක ජනාධිපතිතුමනි,
ජනතාව වන අපගේ ගමන් මඟ වැටී ඇත්තේද ඔබේ “පරාජයන්” ඔස්සේමය. ඔබ සමඟම අපද පරදිමු. එබැවින් අද මැතිවරණයේ “ජයග්‍රාහී” පාර්ශවයේද, “පරාජිත” පාර්ශවයේද සියලු මහජනතාවට හෙට සිට එක්ව ඔබ හා “පරාජයන්ට” මුහුණදෙන්නට සිදුවනු ඇත….
ඉතින් නවවන විධායක ජනාධිපතිතුමනි,
අමාරුම මොහොතක පරාජයන් පෙළක් පෙනි පෙනී රටේ සුක්කානම අතට ගන්නා ඔබට මට සුබපැතිය හැක්කේ ඒ “පරාජයන්” හමුවේ නොසැලී, නොබිඳී, නොබෙදී, නොවැටී ඉන්නටය… එහෙම ඉන්නට ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමටත්, ඔබ පිටුපසින් සෙමෙන් ඇවිද එන ජනතාවටත් හැකිවුණොත් එළඹෙන වසර පහ අවසන් අපට බොහෝවිට “ජයග්රහණයන්” පෙනෙන දුරකදී නැවත හමුවිය හැකිය… “
* * *
ඉතිං ඔබතුමාට “සුබ” උපන්දිනයක් වේවා කියනවාටත් වඩා මට කියන්නට ඇත්තේ ඔබ ඒ “පරාජයන්” සෑහෙන්නට කළමනාකරණය කරගන්නා නමුත් අර “ජයග්‍රහණ” නම් තවම සෑහෙන දුර බවය. ඒවාට ඉක්මනින්ම ළඟවීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා… හේතුව තවත් අවුරුදු තුනකින් ජනතාව ඒ “ජයග්‍රහණ” සහ “පරාජයන්” තරාදියෙන් කිරා ඔබතුමන්ට ජනතාව විභාගයෙන් ලකුණු දීමට බලාසිටින නිසාය….
තවමත් වාසිය ඇත්තේ අද වැඩටික අදම කරන, අවදානයෙන් පාඩම අහගෙන ඉන්න ඔබතුමාට වඩා පිස්සු කෙලින පංතියේ අනික් එවුං සෑහෙන පස්සෙන් සිටින එකම විතරය. දෙවෙනියා බුල් කෙලින අතර තුන්වෙනියා පංති තහනම් වෙලාය. නමුත් ඔය අස්සේ වෙන ඉස්කොලේක, වෙන “පංතියක” දක්ස එකෙක් මාරුවෙලා පංතියට ඇවිත් “පළවෙනි” තැනට කටුව ගහන්නට ඉඩ ඇත… හිටපු ලොකු ටීචර්ගේ පුතාත්, තව කීපදෙනෙකුත් ඒකට වටෙන් වටෙන් කුරුමානම් අල්ලමින් ඉන්නවා ඔබතුමාටත් පේනවා ඇත… දැනට පංති තහනං තුන්වෙනියා ඉස්කොලෙන් අස්කරලා දැම්මොත් අපිට ඒ අනෙක් කට්ටිය කව්ද කියා හරියටම බලාගන්නට හැකිවනු ඇත….
ඉතිං මම මේවා කිව්වට මේවා ගැන නොහිතා සතුටින් එදා වැඩටික එදාම කරගෙන යන්න… ළඟ නොබලන්න… දුර බලන්න…
ආදරෙයි අහස තරම්….
ලකා
(ලක්මාල් ධර්මරත්නගේ ෆේස්බුක් පිටුවෙනි)


