රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:
2026 වර්ෂයේදී රජයේ ආධාර මත දිවයින පුරා ඉදිකරන ලද නව නිවාස 3,000ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව යාපනය තිලිප්පලෙයි සහ පලාලි ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 20ක් විවෘත කිරීම නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිණි.
එම නිවාස විවෘත කිරීමේ වැඩසටහනේ දී නිවාස කිහිපයකට ගෙට ගෙවිදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර සෙසු ප්‍රතිලාභීන් සඳහා නිවාස සහතිකපත් ප්‍රදානය කිරීම ද එහි දී සිදු විය.
නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සමයේ තිබූ යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සිදු කෙරෙනු ලබයි.
එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ රජයේ මූල්‍ය ආධාර මත මෙම නිවාස ඉදිකර ඇති අතර මෙම නිවාස සියල්ල ම බිම්බෝම්බ ඉවත්කොට ආරක්ෂිත කලාපයක් බවට ප්‍රකාශයට පත්කළ භූමියක ඉදිකර තිබීම විශේෂත්වයක්.
නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ නිවාස 700ක්, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නිවාස 2000ක් සහ දිට්වා ආපදාවෙන් පූර්ණ හානියටපත් නිවාස වෙනුවට රු. ලක්ෂ 50ක රජයේ වන්දියෙන් ඉදිකළ නිවාස 300ක් ද ඇතුළුව 2026 වසර තුළ රජයේ ආධාර මත රට පුරා ඉදිකළ නිවාස 3,000ක් නොවැම්බර් 23 වනදා සිට 27 වනදා දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරේ.


