රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:
• දිවි අහිමි වූ 650කට අධික පිරිස සිහිපත් කරමින් සහ අතුරුදන් වූ 173 දෙනා වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන්.
• අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ ග්රන්ථයක් එළිදැක්වීම.
ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ස්වභාවික ආපදාව සිදුවී වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජාතික සර්ව ආගමික වැඩසටහන් හෙට (නොවැම්බර් 26) සහ අනිද්දා (නොවැම්බර් 27) දෙදින තුළ බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඌව පළාත් සභාව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දේශපාලන අධිකාරිය එක්ව මෙම ජාතික සර්ව ආගමික වැඩසටහන සංවිධානය කරනු ලබයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල කරමින් ලක්ෂ 30කට අධික ජනතාවක් පීඩාවට පත් කළ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් 650කට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර, තවත් 173 දෙනෙකු අතුරුදන් විය. නිවාස 113,000කට අධික සංඛ්‍යාවකට හානි සිදු වූ මෙම ආපදාවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම, අතුරුදන් වූවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම, විපතට පත් පවුල් සමඟ සහෝදරත්වයෙන් එක්වීම සහ ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැගීමේ රජයේ වගකීම අවධාරණය කිරීම මෙම සර්ව ආගමික වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
“මෙම වැඩසටහන හුදෙක් අනුස්මරණයකට පමණක් සීමා නොකර, විපතට පත් ජනතාවට තවදුරටත් ලබාදිය යුතු සහන ලබාදීම සහ ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැගීමේ වගකීම ඉටු කිරීම සඳහා වන අවස්ථාවක් බවට පත් කරගත යුතුයි. ඒ වගේම ඉදිරි වර්ෂය තුළ යළි ගොඩනැගීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස අපි සැලසුම් කර තිබෙනවා.” යනුවෙනි.
ජාතික සර්ව ආගමික වැඩසටහන්
- බෞද්ධ ආගමික වැඩසටහන: නොවැම්බර් 26 රාත්‍රියේ මුතියංගණ රජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක්. නොවැම්බර් 27 දින සියක් නමක් විෂයෙහි සාංඝික දානයක්.
- හින්දු ආගමික වැඩසටහන: නොවැම්බර් 26 පස්වරු 4.00ට බදුල්ල කදිරේෂන් ප්‍රධාන කෝවිලේදී.
- ඉස්ලාම් ආගමික වැඩසටහන: නොවැම්බර් 27 දහවල් 12.30ට බදුල්ල අල්-අන්වර් ජුම්මා පල්ලියේදී.
- ක්‍රිස්තියානි ආගමික වැඩසටහන: නොවැම්බර් 27 පස්වරු 5.00ට බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී.
- සමරු මුද්දරය නිකුත් කිරීම: නොවැම්බර් 26 රාත්‍රියේ අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මුතියංගණ රජමහා විහාරස්ථානයේදී.
- විශේෂ ග්‍රන්ථය එළිදැක්වීම: ‘එක්ව නැගී සිටි නොබිඳුණු මිනිස්කමේ සවිය’ ග්‍රන්ථය නොවැම්බර් 27 දින ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනයක් සමඟ එළිදැක්වීම.

