සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW:

සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය ශත සංවත්සර වර්ෂයට පා තබයි.

නව සභාපති ධූරයට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු පත් වෙයි. ප්‍රජා වෛද්‍යවරුන්ගේ සේවය ද ඇගයීමට ලක්වේ.

“මහජන සෞඛ්‍ය ජයග්‍රහණ පිටුපස ප්‍රජා වෛද්‍යවරුන්ගේ පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදනය සහ නායකත්වය ප්‍රධාන සාධකයක්” – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය හා ශාස්ත්‍රීය ප්‍රගමනය වෙනුවෙන් සියවසකට ආසන්න කාලයක් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) ශත සංවත්සර සැමරුම් වර්ෂය ආරම්භ කිරීම සහ නව සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වූ විශේෂ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

පසුගිය සියවස පුරා මාතෘ හා ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය, බෝවන රෝග පාලනය සහ ආයු අපේක්ෂාව ඉහළ නැංවීම වැනි ජාත්‍යන්තරව පවා ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ජයග්‍රහණ පිටුපස ප්‍රජා වෛද්‍යවරුන්ගේ පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදනය සහ නායකත්වය ප්‍රධාන සාධකයක් වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කරන ලදි.

“මහජන සෞඛ්‍ය උරුමය මත ගොඩනැගෙමින්, ප්‍රජා සවිබල ගැන්වීම නැවත අර්ථකථනය කිරීම” (Building on Public Health Legacy, Redefining Community Empowerment) යන්න කාලෝචිත තේමාවක් බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය තොරතුරු ලබා දීමෙන් ඔබ්බට ගොස් තම සෞඛ්‍යය පිළිබඳ තීරණ ගැනීමට ජනතාව සවිබල ගැන්වීමේ වැදගත්කම පැහැදිලි කළ අතර විද්‍යාත්මක සාක්ෂි සහ ප්‍රායෝගික මැදිහත්වීම් මත පදනම්ව සංගමය විසින් යෝජනා කර ඇති ‘ප්‍රජා සවිබල ගැන්වීමේ ප්‍රමුඛ වැඩසටහන’ (Centenary Flagship Programme) ද ඇගයීමට ලක් කරන ලදි.

1927 නොවැම්බර් 26 වැනිදා ආරම්භ වූ මෙම විද්‍යායතනයේ සියවසක අභිමානවත් ගමන්මඟ සනිටුහන් කරමින්, 2026 නොවැම්බර් 26 වැනිදා සිට 2027 නොවැම්බර් 25 වැනිදා දක්වා ශත සංවත්සර සැමරුම් වර්ෂය ක්‍රියාත්මක වේ.

“Building on Public Health Legacy, Redefining Community Empowerment” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම සැමරුම මඟින්, අතීත ජයග්‍රහණ ඇගයීමට මෙන්ම අනාගත සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

විද්‍යායතනයේ උරුමයන් ඇතුළත් ඩිජිටල් ලේඛනාගාරය (CCPSL Heritage Digital Archive) විවෘත කිරීම සහ 2027 වර්ෂය “සෞඛ්‍ය සවිබලගැන්වීමේ වර්ෂය” ලෙස ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු විය.

එමෙන්ම “මහජන සෞඛ්‍ය නායකත්වයේ සියවසක්: CCPSL කතාව” නමැති සමරු වීඩියෝ පටය එළිදැක්වීම සහ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන්ට උපහාර දැක්වීම ද වැඩසටහනට ඇතුළත් විය.

2026/2027 වර්ෂය සඳහා විද්‍යායතනයේ නව සභාපති ලෙස පත් වූ වෛද්‍ය රුවන් ප්‍රනාන්දු මහතා ද මෙහිදී විශේෂ දේශනයක් පවත්වන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
ප්‍රජා සෞඛ්‍යය යනු රෝග නිවාරණයට පමණක් සීමා නොවී, සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැඟීම, සෞඛ්‍ය සමානාත්මතාව තහවුරු කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම දක්වා විහිදෙන පුළුල් ජාතික වගකීමක් බවත්, එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් ඉටු කරන කාර්යභාරය විශේෂ ඇගයීමට ලක් කරන බව ද පැවසීය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් පාණ්ඩව්, මෙරට UNICEF නියෝජිතවරිය එමා බ්‍රිගම් මෙනවිය, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිනී වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, ලේකම් වෛද්‍ය තුෂානි දාබරේරා ඇතුළු සාමාජිකයින්, හිටපු සභාපතිවරුන්, වෛද්‍ය විශේෂඥවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු දරුවන් වෙනුවෙන් මස්ක්ගේ පොරොන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ධනය බෙදී යාම, අභ්‍යවකාශ...

දිට්වා ආපදාවෙන් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීදිට්වා...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...

පෑලියගොඩ රේගු ගුදමකින් මතුවූ රු.මි. 181.9 ඉක්මවූ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු...