සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: සති කිහිපයක් පුරා ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමත් සමඟ නිවාස, මාර්ග සහ වගාබිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, ජනතාව මුදාගැනීමේ සහ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඉක්වදෝරයේ අවදානම් කළමනාකරණ ඒජන්සිය සඳහන් කරන පරිදි, පසුගිය අගෝස්තු මාසයේ අග භාගයේ සිට මේ දක්වා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් අවම වශයෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් පුද්ගලයන් 47,000කට පමණ එම තත්ත්වය බලපා ඇත.
ඉක්වදෝරයේ එස්මරල්ඩාස් ප්‍රාන්තයේ ගංගා දෙකක් පිටාර ගැලීම හේතුවෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් විසින් පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එරට මාර්ග කොටස් 50කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, මාර්ග දහයකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට ද සිදුව ඇත.
මේ අතර, පේරු රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ පිහිටි පියුරා නගරයට පැය 24ක් තුළ මිලිමීටර් 143ක වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ හේතුවෙන් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ගංවතුරට කොටුවී සිටි පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇත.
කාලගුණ අනාවැකි අනුව ඉදිරි දිනවලදී ද තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානමක් පතින අතර පේරු රාජ්‍යයේ පියුරා සහ තුම්බෙස් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති රතු අනතුරු ඇඟවීම සඳුදා දක්වා දීර්ඝ කර තිබේ.
විශේෂඥයන් අනතුරු අඟවන්නේ වත්මන් එල් නිනෝ තත්ත්වය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා අසාමාන්‍ය ලෙස ප්‍රබල මට්ටමක පැවතිය හැකි බවයි.
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ සමක කලාපීය ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ලෝකයේ විවිධ ප්‍රදේශවල වර්ෂාපතනය, උෂ්ණත්වය සහ කාලගුණික රටාවන් වෙනස් කරන ස්වභාවික දේශගුණික සංසිද්ධියකි. මෙම තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ මත්ස්‍ය අස්වැන්න අඩුවීමත් සමඟ ආහාර මිල ගණන් ඉහළ යාමේ බලපෑමක් ද පේරු රාජ්‍යයට එල්ල වී තිබේ.

