*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම හොඳ යෝජනාවක් – ආචාර්ය රෝෂිණී ජයවීර

  • විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම හොඳ යෝජනාවක් – ආචාර්ය රෝෂිණී ජයවීර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය
  • අය වැය යෝජනා ගැන පසුවිපරමක් කිරීම කාලීන දෙයක්
  • කෙටි කාලීන සහ දිගු කාලීන යෝජනා රටට වැදගත්
  • විදේශ විනිමය රටට ගෙන එන නවීන යෝජනා වැදගත්

අය වැය මගින් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අය වැය යෝජනා මගින් ගෙන ඇති පියවර මොනවාද? යන්න ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය රෝෂිණී ජයවීර මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

? මෙවර අය වැය යෝජනා ගැන විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය ප්‍රවීණයකු විදිහට ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

එදා සිට අද දක්වා ඉදිරිපත් වූ විවිධ ආණ්ඩු ඉදිරිපත් කළ අය වැය මගින් යහපත් යෝජනා රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරිපත් වූ ගොඩක් යෝජනා හොඳයි. 2021 වර්ෂයේ ඉදිරිපත් වූ අය වැය යෝජනා තුළ වුණත් යහපත් දේවල් තිබුණා. ඒත් ගොඩක් වෙලාවට වුණේ යහපත් යෝජනා තිබුණත් ඒ යෝජනා ක්‍රියාත්මක නොවීමයි. එදා සිට අය වැය යෝජනා ගැන ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අධීක්ෂණයක්, පසු විපරමක් සිදු වුණේ නැහැ. මට දැනෙන විදිහට ඒ නිසා තමයි පසුගිය කාලයේ යෝජනා වූ යහපත් යෝජනා පවා සාර්ථක නොවීමට හේතුවක් වුණේ. ඒත් මෙවර ජනාධිපතිතුමා අය වැය යෝජනා ක්‍රියාත්මක වෙනවාද? ඒවා ක්‍රියාත්මක වෙන ක්‍රමය හරිද? ඒවා නියමිත විදිහට ක්‍රියාත්මක වෙනවද කියල හොයන්න පසු විපරම් කරන්න. අධීක්ෂණය කරන්න වැඩපිළිවෙළක් ඇති කිරීමයි. ඇත්තෙන්ම ඒ නිසා අය වැයේ යෝජනා යෝජනා විතරක් නොවී ක්‍රියාත්මක වීම ඉක්මන් වීමත් ඒ යෝජනා යථාර්ථයක් බවට පත්වීමත් සිදු වෙනවා. මෙවර අය වැය තුළ මම දකින ප්‍රධානම ධනාත්මක සාධකය විදිහට ඒ කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. අය වැය තුළ තිබෙන යෝජනා වැදගත් අංගවලින් සෑදිලා තිබෙනවා. ඒත් ඒ වැදගත් අංග හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා පසු විපරමක් කළ යුතුමයි, අධීක්ෂණයක් කළ යුතුමයි. ඒත් මෙතෙක් කල් ඒක එහෙම වෙන්න ඕනෑ කියලා කිසිවකු තේරුම් ගෙන තිබුණේ නැහැ. ඒත් මෙවර ඒ ගැන වටහා ගෙන තිබීම අගය කළ යුතුයි. එමගින් විශ්වාසයක් ඇති වෙනවා මෙවර අය වැය තුළ ඇති යෝජනා පෙර මෙන් පසුපසට නොගිහින් පසුවිපරම් සහ අධීක්ෂණ කටයුතු සිදුවන නිසා සාර්ථක වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා කියලා.

අවුරුදු හැත්තෑ පහක් ඇතුළත අපට වැරදුන ඒක් ප්‍රධාන තැනක් තමයි දෙයක් කළාට ව්‍යාපෘතියක් ආරම්භ කළාට ඒ ගැන නිසි අධීක්ෂණයක් හෝ පසු විපරමක් සිදු නොවීම. ඒත් ඒ අඩුපාඩුව මෙවර අය වැය වෙනතුරු හඳුනාගෙන තිබුණේ නැහැ. මෙවර තමයි ඒ විදිහේ පසු විපරම් සහ අධීක්ෂණ යෝජනාවක් ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම ආර්ථික යෝජනාවක් ඉදිරිපත් වන විට ඒ ගැන සොයා බැලීම ගොඩක් වැදගත් අංගයක් විදිහටයි මම දකින්නේ.

? මෙවර අය වැය තුළ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විදිහට යෝජනා දෙවර්ගයක් දක්නට තිබෙනවා. කෙටි කාලීන යෝජනා අතර වඩාත් වැදගත් යෝජනා විදිහට ඔබ දකින්නේ මොන විදිහේ යෝජනාද.?

මෙවැනි කාලයක බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ඉලක්ක ජය ගැනීමේ සැලසුම් සහිත අය වැයක් ඉදිරිපත් වෙයි කියලා. එහෙත් මෙවර අය වැය තුළ දිගු කාලීන ඉලක්ක සහ කෙටි කාලීන ඉලක්ක යන දෙපැත්තම ගැන අවධානය යොමු කර තිබෙන අය වැයක් විදිහට අංශ දෙකම දක්නට ලැබෙනවා. අය වැයක යෝජනා සාර්ථක වෙන්න නම් මේ අංශ දෙකේම යෝජනා තියෙන්න ඕනෑ. මෙහිදී මම වඩාත් සාර්ථක කෙටිකාලීන යෝජනා විදිහට දකින්නේ සංචාරක ක්ෂේත්‍රය නැවත ප්‍රවර්ධනය කිරීම, සමුද්‍ර ආශ්‍රිත සම්පත් හඳුනාගෙන ඒවාට විදෙස් වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම, මෙරට ශ්‍රම බළකාය විදේශීය වෙළෙඳපොළට ගැළපෙන විදිහට පුහුණු කිරීම වැනි දේවල් පෙන්වා දෙන්න පුළුවන්.

අද අප රට මුහුණ දී තිබෙන ප්‍රධාන අර්බුදය තමයි විදේශ විනිමය හිඟය, එයට ඉක්මන් විසඳුමක් විදිහට අපේ ශ්‍රමිකයන් විදේශවලට රැකියා වෙත යොමු කිරීම වැදගත් යෝජනාවක් විදිහට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ තත්ත්වයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ඒ වගේම ආහාර සුරක්ෂිතභාවය ගැනත් අවධානය යොමුව තිබෙනවා. එයත් කෙටි කාලීනව වැදගත් දෙයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. තවද ළමා පෝෂණය ගැන අවධානය යොමු කිරීමත් කෙටි කාලීනව ගත් වඩාත් ඉදිරිගාමී පියවරක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. එමගින් වඩාත් ශක්තිමත් පෝෂණයෙන් ඉහළ අනාගත පරපුරක් බිහි කිරීමට හැකියාව තිබෙනවා.

?මෙවර අය වැයේ ඉදිරිපත් කර තිබෙන දීර්ඝ කාලීන යෝජනා ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද.?

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය නම් ආයෝජකයන්, විදේශීය සමාගම් මෙරට ආයෝජනයට ආකර්ෂණය කර ගත යුතුයි. එහෙත් මෙරට තිබෙන කම්කරු නීති පද්ධතිය නිසා ආයෝජකයන් මෙරටට ඇද ගැනීමේ යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කම්කරු නීති පිළිබඳව අවධානය යොමු කර තිබෙන්නේ එහිදී කම්කරු නීති වෙනස් කිරීම එක දවසින් දෙකෙන් කළ හැකි දේවල් නොවෙයි. ඒක දීර්ඝ කාලීනව කළ යුතු නෛතික ක්‍රියාදාමයක්. ඒ නිසා මේ යෝජනාව කම්කරුවා සහ ආයෝජකයා යන දෙපැත්තම සමබර ලෙස සලකා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කරනු ලබන දෙයක් විදිහට හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. එමඟින් සෘජු විදේශ ආයෝජන මෙරටට ඇඳ ගැනීමට හැකියාව ලැබෙනවා.

අපේ රටේ කෘෂිකර්මාන්තය සම්ප්‍රදායික කර්මාන්තයක් විදිහට දිගු කාලයක සිට තිබුණත් එය දියුණු ලෝකයට ගැළපෙන විදිහට වෙනස් වෙලා නැහැ. ඒ නිසා කෘෂි ගම්මාන ඇති කිරීම වගේම ආර්ථික වශයෙන් ලාබ ලබන කර්මාන්තයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය යෝජනා මෙහි ඇති බව මම විශ්වාස කරනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිස් අද වන විට අඩු වෙමින් තිබෙනවා. ගොවියාගේ පුතා ගොවියෙක් කරන්න කැමැති නැහැ. බොහෝ පිරිසක් එම කර්මාන්තය අතහැර තිබෙනවා. ඒකට පසුගිය කාලයේ ගත් තීරණද බලපානු ලැබුවා. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ගම්මාන ඇති කිරීමේ යෝජනා හොඳ දෙයක් විදිහටයි පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. අද රටට අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික කෘෂිකර්මය නොවෙයි. නූතනයට ගැළපෙන නවීන කෘෂිකර්ම ක්‍රමයක් ගැන අය වැය යෝජනාවල ඇතුළත්ව තිබීම දීර්ඝ කාලීනව වඩාත් සාර්ථක යෝජනාවක් විදිහට සඳහන් කළ යුතුයි. කෘෂිකර්මාන්තය නවීකරණය වීම මඟින් යහපත් ප්‍රතිඵල දීර්ඝ කාලීනව ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

? අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල පද්ධතිය මඟින් මෙරටට විදෙස් විනිමය ඇද ගැනීමට ඇති කර තිබෙන යෝජනා පිළිබඳව ඔබේ අදහස කුමක්ද.?

දේශගුණික විශ්වවිද්‍යාලයක් ඇති කිරීම ගැන අය වැය යෝජනාවල සඳහන් කර තිබෙනවා. ඒ යෝජනාව හොඳයි. ඒ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි. විදෙස් සිසුන් මෙයට ඇද ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතර අප රටක් විදිහට කලක සිට ප්‍රකට වෙලා තිබෙනවා විනය ගරුක දක්ෂ හමුදාවක් සිටින රටක් විදිහට හමුදා අංශයේ පුහුණු කිරීම් සඳහා අප රට තුළ අවස්ථාවක් ලබා දිය හැකියි. උදාහරණයකට පාකිස්ථානය ගනිමු. එරට පුහුණු කටයුතු සඳහා විදේශිකයන්ට ඉඩ ලැබිලා තිබෙනවා. එමඟින් එරටට ලොකු විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. අපටත් ඒ විදිහේ ක්‍රමයක් භාවිත කරන්න හැකියාව තිබෙනවා.

? අධ්‍යාපනය නැන්වීම සඳහා අය වැය යෝජනාවල තිබෙන කරුණු ගැන ඔබේ අධ්‍යයනය මොන වගේද.?

මෙහි මම දකින හොඳම යෝජනාව විදිහට මම දකින්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට වැඩි අවස්ථාවක් ලබා දීම. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශවීමට ඇති අවස්ථාව සියයට දහයකින් ඉහළ යනවා. ඒ වගේම පාසල්වල පහසුකම් වැඩි කිරීමත් දරුවන්ගේ පැත්තෙන් ගත් විට හොඳ යෝජනාවක් විදිහට සඳහන් කළ හැකියි.

? රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා වූ යෝජනා ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

රාජ්‍ය ආදායම කළමනාකරණය සඳහා තමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීමට යෝජනා කර තිබෙන්නේ. එමඟින් ආර්ථිකයට වැටෙන බර සැහැල්ලු කිරීම තමයි යෝජනා වෙන්නේ. ඒත් තවත් රාජ්‍ය ආදායම වැඩිකර ගන්නා ක්‍රම තිබෙනවා. පසුගිය කාලයේ රාජ්‍ය බදු ප්‍රතිපත්තියේ වෙනස්කම් කළා. එමඟින් බදු ආදායම යම් පමණක් අඩු වුණා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට නම් බදු කළමනාකරණය කළ යුතුයි. ඒ ගැන අධීක්ෂණය කළ යුතුයි. බදු ගෙවිය යුතු ඒත් බදු නොගෙවා සිටින පිරිස් ඉන්නවා. ඒ අය හඳුනා ගත යුතුයි.

රෂිකා හෙන්නායක
2022.12.01

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan