*
Monday, October 28, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 38: රේඩියෝ රජදහනේ ඕඩියෝ සිහින

තාත්තා සතුව පොකට් රේඩියෝවක් තිබුණා.`ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා` කියා මිල්ටන් මල්ලවාරච්චි පැණි කුරුල්ලන්ට – නිල්  කොබෙයියන්ට ගයද්දී ලියුම්කරු සිතුවේ ඒ කියන්නේ තමා ගැන කියලයි. ගෙදරට එන අමුත්තන් ඉදිරියේ ළමයින් ලව්වා විවිධ ප්‍රසංග පැවැත්වීම එකලත් සුලබයි. “පුතා සින්දුවක් කියල පෙන්වන්න“ කියා ඉල්ලීම් කෙරෙන විට “උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා“ කියා ගැයූ පැහිච්චකමට වගකියන්න ඕන අර කලින් කිව්ව පොකට් රේඩියෝව. ලියුම්කරු සතු පළමු රේඩියෝ මතකයන් ඒ විදිහට සලකුණු වෙලා තියෙන්නේ පුංචිම කාලේ අඟුලානේදී.

එවකට සිටි කුලී ඇනෙක්සිය අයත් නිවසේ චූටි අක්කා පැවැත්වූ පහේ ශිෂ්‍යත්ව පන්තියට පැමිණි අඟුලානේ `අයියලා`ගෙන් මොන්ටිසෝරි යන පොඩි එකා ඉගෙන ගත්, `කිකිළි කළු වුණාට කිකිළිගෙ බිත්තරේ සුදුයි – කොල්ල කළු වුණාට කොල්ලගෙ බයිල පිරිසිදුයි` වැනි බයිලාද කොල්ලාට කට පාඩම්. ඒ වගේ අද්දැකීම් නිසාම කොල්ලා සිය සමේ පැහැයට ගැළපෙන පරිදි, රසවින්දනයෙනුත් තලෙළු වුණා කියලයි ලියුම්කරු හිතන්නේ. ඒක අතුරු කතාවක්.

පදිංචිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මාරු වුණාට පස්සේ, කිරිඅම්මලා අපුච්චලා මුවන්පැලැස්ස, මොනරතැන්න, ගජමුතු, සුගන්ධිකා, උන්මාද චිත්‍රා වගේ රේඩියෝ නාට්‍ය අහනවා මතකයි. නිම්මි අක්කලා මුලින් පාවිච්චි කරපු රේඩියෝ කැසට් රෙකෝඩරය පරිත්‍යාගයක් ලෙස අපේ ගෙදරට ලැබුණායින් පස්සෙ තමයි ලියුම්කරුගේ සැබෑ රේඩියෝ රසිකාගාරය විවෘත වෙන්නේ.

ඔන්න, නව යව්වනයෙක් සින්දු විඳින්න පටන් ගත්තා. පාට දේදුණු සේදිලා සීත රෑ සඳ පීදෙනකොට රන් සමනළයෝ පුංචි කැකුළියෝ එක්ක පෙමින් බැඳුණා. ආශා නිරාශා මැවූ ස්වප්න මායාව දෛවයෝගයකින් හමුවුණේ කඩුතුඩු මත සැතපෙන්න වුවත් සූදානමින්. ලතා මඩුල්ලක් වළා කැදැල්ලකට කතා කරලා, අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි කිව්වා. ප්‍රේමයේ මන්දහාසිනී තාරකා නිවා දාල නිලට නිලේ ගලන ගඟේ කඳුළු සඟවලා දැම්ම. මේ ප්‍රේම සීමාමාලකේට සඳ කිණිති නැමිලා නිල් දියට එබිලා සුපෙම් හැඟුම් ඔබෙන් එපා කියපු වෙලාවලුත් තිබුණා. රහසේ අප හැඟුම් හඬන අතරවාරේ පවුරු වළල්ලම බිඳලා මුරකාවල් අතරින් ආදරය හදවතට ළං වුණා. මේ සේරම අසිරිමත් දේවල් සිද්ධ වුණේ බැටරි කෑලි පහේ රේඩියෝ එකකින්.

ඒ විතරක් නෙමෙයි. කදිරා තුවක්කුවත් කරේ තියාගෙන මුවන්පැලැස්ස පුරා හක්කලං කරලා, කෝරළේ වළව්ව පැත්තට එනකොට, මෝල්ටඩ් මිලික් ටිකක් බීලා යන්න වළව්වට ආව පිනා, “ආං බලන්ටකෝ කෝරළේ මහත්තයා අර කදිරා පිටුපස්සෙන් මෙහාට ගාටන්නේ කවුදැයි කියාලා..?“ කියල ඇහුවා.

කෝරළේ මහත්තයා “ඈ ?“ ගාල විස්මය පළකරනකොට, මැණිකේ “මොනවා?“ කිව්වා. ගැමුණු විජේසූරිය, විජයරත්න වරකාගොඩ සහ රත්නාවලී කැකුණවෙල අදාළ නාට්‍ය ඛණ්ඩය අවසන් කළත්, වික්ටර් මිගෙල් වෙළඳ සේවයට ලියන `මුවන්පැලැස්ස` අහන්න ඊළඟ සඳුඳා වෙනකං අපි සතියක් බලාගෙන හිටියේ අර කදිරා පස්සෙන් වළව්ව දිහාට ගාටන්නේ කවුද කියල දැනගන්න නිම් නැති කුතූහලයකින්.

ෂ`ලොක්  හෝම්ස්ට කළින් අපි ඉස්සරහට ආවේ, රහස් පරීක්ෂක දිවාකර. රහස් පරීක්ෂක කතා මාලාව ස්වදේශීය සේවයට ලිව්වේ සුගතපාල ද සිල්වා. වැස්ස වළාහක, අව්රංගා, රාස්සිගෙ අව්ව, ගොම්මන් හෝරාව ආදී එහි ආ එක් එක් අනු කතාමාලාවන්හි නම් අහනකොටත් අසන්නන් තිගැස්සුණා. එහි සිටි දිවාකර චරිතය මැව්වේ කරුණාරත්න අමරසිංහ. ඒ විචක්ෂණශීලී සන්සුන් පරිණත කටහඬ අපිව මෝහනය කළා. ඒ කටහඬම, වෙනස් වෙසක් ගෙන, හඩ්සන් සමරසිංහ ලියූ යකාගේ වංගුවේ සිටි ඇට්ටර කල්ලකඩත්තයකු වූ  `පොළඟා` බවට පත්වන විට කටහඬ යනු කෙතරම් අසිරිමත් මෙවලමක්දැයි යන පාඩම අප ඉගෙනගත්තා. ගැමුණු විජේසූරිය මුවන්පැලැස්සේ `පිනා` සහ `ගුරුන්නාන්සේ මාමා` සේ එකම ඛණ්ඩයක චරිත දෙකක් එකවිට රඟන විටත් ඒ අධ්‍යාපනයම ලැබුවා. අපට මැවුණේ නෝංජල් පිනා සහ වියපත් ගුරුන්නාන්සේ යන දෙදෙනා මිස, පිටපතේ ළඟ ළඟ පේළි දෙකේම දෙබස් වෙනස් හඬින් කියන එක හඬ නළුවෙක් නෙමෙයි.

ස්ථාවර දූරකථනයකට ඇමතුමක් එනකොට ලබන්නා විසින් තමන් කවුදැයි හඳුන්වාදීම දූරකථන ඇමතුම් සම්ප්‍රදායක් බව ලියුම්කරු ඉගෙනගත්තේ අර කී රහස් පරීක්ෂක කතා මාලාවෙන්. ඔය එක අනු කතාමාලාවක `නාරද අමරවංශ නම් ස්වර්ණාභරණ සාප්පු හිමියෙක් සිටියා. “ට්‍රීන් ට්‍රීන්“ යනුවෙන් නාද වූ දූරකථනයේ රිසීවරය ගෙන ඔහු මුලින්ම කියන්නේ, “අමරවංශ ජුවල`ස්“ කියා. පස්සෙ කාලෙක හලාවත ජවිපෙ කාර්‍යාලයේ ඉන්නා විට, එහි දූරකථනයට ඇමතුමක් එනවිට, රිසීවරය ඔසවා, “ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කාර්‍යාලය, හලාවත“ යනුවෙන් හෙන ආඩම්බරෙන් කී තරුණ ක්‍රියාධරයාට අනෙක් පසෙන් ඊටම හරියන ස්වරයකින් ලැබුණේ මෙහෙම උත්තරයක්. “සමාජවාදී කම්කරු සංගමයේ මූලස්ථානය, කොළඹ. මේ ලාල් කාන්ත කතා කරන්නේ. ප්‍රියංකර වීරකුමාර දිසානායකට කතාකරන්න මට අවශ්‍යයි“ එහා කෙළවරේ සහෝදරාත්මක සුහද මන්දස්මිතය මෙහා කෙළවරට දැනුණා. ඒකත් අතුරු කතාවක්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අමතරව ලියුම්කරුගේ රේඩියෝ විජිතයට පසුකාලීනව සිරසත් එකතු වෙනවා. රන්ජිත් අමරසේකර ෂ`ලොක් හෝම්ස් සිරසට  ලියන විට, අර පැරණි දිවාකර හඬ හෝම්ස් හඬ වී නැවත මුණගැසීම කොයිතරම් ප්‍රබෝධවත් අද්දැකීමක් වුණාද කියන එක අදටත් මතකයි. සිරස අලුත් සින්දු වැඩසටහනේ මුළු ලංකාවම එක්ක අතිශය පළමුවරට ජගත් වික්‍රමසිංහගේ `සාගර තරංගා` අහන විට “මේක නම් මාර විදිහට ජනප්‍රිය වෙයි“ කියා අනාවැකි කී හැටි සුන්දරයි. අලුත් සින්දු ඉදිරිපත් කරද්දී, “සඳලේඛා සඳගිරි හිසින් ළැගුම් ගනී මගේ ලෝකේ“ වගේ සින්දුවලට පිවිසුම් කථන දුන්නු විදිහත් එක්ක අපි හිතුවේ නිහාලුයි තමාලියි ඇත්තම පෙම්වතුන් කියල. ඒ තරම් ආදරණීයයි ඒ ඉදිරිපත්කිරීම්.

මේ ලිව්වේ ලියුම්කරුගේ රේඩියෝ මතක වංශයෙන් බිංදුවෙන් පංගුවක් විතරයි. අමරසෝම සමරක්කොඩි ලිව්ව ලතාගේ කතාව, ඇනස්ලි බර්ටි සැමුවෙල් ගෙනා විනෝද සංවාද ඈ මෙකී නොකී කලාපයන්ගෙන් ඒ මහා වංශකතාව සමන්විතයි. රේඩියෝ කියන්නේ වෙන වැඩක්. වෙන රහක්. වෙන හීනයක්. වෙන ආශාවක්.

– විමල් කැටිපෙආරච්චි

2022 දෙසැම්බර් 14

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan