*
Friday, September 20, 2024
spot_img

Latest Posts

බෞද්ධ හා පාලි සරසවිය ආරම්භයේ තිබූ ස්වරූපය මේ වන විට ගිලිහී ගිහින් – අස්ගිරි මහා පාර්ශ්වය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමි ප්‍රමුඛ නියෝජිත පිරිස අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු බැහැදුටු අවස්ථාව.

අස්ගිරි මහා විහාර පාර්ශ්වය ශාසනික අරමුණු හා බැඳුණු පරමාර්ථ දේශපාලන හා වෙනත් අවශ්‍යතාවන් පදනම් කර ගනිමින් මහානායක හිමිවරුන්ගේ ද අනුදැනුමකින් තොරව වෙනස් කිරීම නිසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භයේදී මූලික කරගත් බෞද්ධ විශ්වවිද්‍යාලක ස්වරූපය මේ වන විට ඉන් ගිලිහී ගොස් ඇති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය පවසයි.

මහානායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සංශෝධනය කර ගිහි පාර්ශ්ව බඳවා ගැනීම් කර තිබීම ද ගැටලුවට එක් ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන්නේ යැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

‍ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ, පීඨාධිපති මහචාර්ය ඉළුකේවෙල ධම්මරතන, මහාචාර්ය අලුත්ගම විමලරතන, සහකාර ලේඛකාධිකාරි බෝගමුවේ ධීරානන්ද හිමිවරු ද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාඝවන්, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඊ.ඒ ගුණසේන මහත්වරු ඊයේ (23) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු පිරිසක් බැහැදුටුවහ.

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන අර්බුදකාරි තත්ත්වය සම්බන්ධව මහානායක හිමිවරුන් දැනුම්වත් කර උපදෙස් ලබා ගැනීම සඳහා මේ පිරිස පැමිණ සිටියහ. මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් අනුනායක ආණමඩුවේ ධම්මදස්සී, ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල, ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද හිමිවරු වැඩම කර සිටියහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැදගම ධම්මානන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

විශේෂයෙන් බෞද්ධ විශ්වවිද්‍යාලයක ස්වරූපය මේ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී ගොස් තිබෙනවා. පරිපාලන වශයෙන් එම ව්‍යුහය බෞද්ධ ආයතනයකට ගැළපෙන ආකාරයට වෙනස් කරන්න මහානායක හිමිවරුන් උපදෙස් දුන්නා. වාමාංශික දේශපාලන ව්‍යාපාර සමඟ දේශපාලන අරමුණුවලින් බද්ධ වූ සුළු පිරිසක් ඉන්නවා. සමස්තයක් ලෙස ගත් විට ශිෂ්‍ය පිරිස් අතරින් බහුතරයක් විනය විරෝධී වැඩවලට සම්බන්ධ නැහැ. වෙනත් විශ්වවිද්‍යාලවල හෝ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ නැති බාහිර පුද්ගල කණ්ඩායම් මේ සිදුවීම්වලට සම්බන්ධ වූ බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න උපදෙස් දුන්නා.

මීට පෙරාතුව මහා විහාර මහානායක හිමිවරුන්ගේ අනුශාසනා ලබාදීමට නියෝජනයක් පාලක සභාවේ තිබුණා. නමුත් පසුගිය කාලයේ දේශපාලන හා වෙනත් අවශ්‍යතා මත එම නියෝජනය අහෝසි කළා. එසේ සිදු කර අවසානයේ අර්බුදයක් මතු වූ විට මහානායක හිමිවරුන්ගේ උපදෙස් ගැනීමට පැමිණීම සම්බන්ධවත් සිහිපත් කරමින් එහි ප්‍රශ්නයක් තිබෙන බව අවධාරණය කළා. මූලික අවස්ථාවේ උපදෙස් ගත යුතුයි. අර්බුදයක් මතු වූ විට මහානායක හිමිවරු මත වගකීම් පැවරීමට උත්සාහ ගැනීම අපි ප්‍රතික්ෂේප කරනවා. එය අනුමත කළ නොහැකියි. ඉදිරියේදී නිරන්තරයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ උපදෙස් ලබාදීමට අවශ්‍යය නියෝජනය දිය යුතු බව දැනුම් දුන්නා. මෙහි විදේශ සිසුන් 40 ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ අයටත් අසාධාරණයක් නොවන ලෙස කටයුතු කළ යුතුයි. අප ගන්නා වැරදි තීන්දුවකින් ථෙරවාදී බෞද්ධ දර්ශනය හැදෑරීමට විදේශ රටවල ඇති උනන්දුව අහෝසි විය හැකියි. ඒක අහිතකර තත්ත්වයක්. ඒ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. විනය විරෝධීව කටයුතු කරන පිරිසට එරෙහිව පියවර ගෙන අවශ්‍යය පරිපාලන වෙනස්කම් ඉතා ඉක්මනින් සිදු කර විශ්වවිද්‍යාලය විවෘත කළ යුතුයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමි – විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය හා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීම තමයි අපේ අරමුණ වුණේ. ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කටයුතු කරන ලෙස මහා නාහිමියන් අවවාද කළා. ව්‍යාකූල තත්ත්වය ටික දවසකින් සමනය කරන්න අවශ්‍යය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. සියලු ශිෂ්‍යයෝ පරිපාලනයේ දැනුම්දීමට ඇහුම්කන් දී විරෝධතාවකින් තොරව සාමකාමීව නේවාසිකාගාර පරිශ්‍රයෙන් ඉවත්ව තිබෙනවා. අපි හිතනවා මෙවැනි දේවල් නැවත නොවීමට යම් යම් සංශෝධන කළ යුතුයි කියා.

විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නවා. මත්ද්‍රව්‍යය භාවිත කිරීම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට හෝ විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. පාසල්වලත් මේ තත්ත්වය දකින්න ලැබෙනවා. සමාජ පරිහානිය මේකෙන් පෙන්නුම් කරනවා. සමාජය නැවත ගොඩනැඟිය යුතුයි. ආචාර්යවරු, ගුරුවරු, දේශපාලනඥයෝ හැමෝම එකතු වෙලා සියලු පුරවැසියන් සමඟ සමාජය ගොඩනඟන්න උත්සාහ කළ යුතුයි. එහෙම නොවුණොත් කාටවත් වැඩ කරන්න හැකි වෙන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාවක් අනුගමනය කරන සමාජයක් බිහිකර ගැනීම තමයි අපේ වගකීම.

සිසුන් 32 කගේ පන්ති තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඉදිරි පරීක්ෂණවලදී වැරදි සිදු කර තිබෙන බවට තහවුරු වන අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ශිෂ්‍යයෝ පිළිපැදිය යුතු නීතිරීතී ශිෂ්‍ය අත්පොත්වල පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඊට පටහැනිව ක්‍රියා කළොත් ක්‍රියාමාර්ග ගන්නවා. විශ්වවිද්‍යාලයේ අණ පනත් සංශෝධනය කිරීම සම්බන්ධව අවධානය යොමු වී තිබෙනවා.

◾උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් මහතා-

විනය පිළිබඳ හා පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලත් විරාමයක් ලෙස මෙය සැලකිය හැකියි. පනතේ සඳහන් ආකාරයට මහානායක හිමිවරුන් බැහැදැක විශ්වවිද්‍යාලයේ දිශානතිය සොයා ගැනීම තමයි මේ හමුවේ අරමුණ. ලබන සතිය වන විට පනතේ යාවත්කාලීන විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට හැකිවේවි. ඉක්මනින් විශ්වවිද්‍යාලය විවෘත කළ යුතුයි. නීත්‍යනුකූලව රජය පාර්ශ්වයෙන් කළ යුතු කළ හැකි සියලු දේ කරනවා. දේශපාලන හා විශ්වවිද්‍යාල පද්ධතිය අතර පවතින සහ සම්බන්ධතාව ඇතැම් අවස්ථාවල සුබවාදී වුවත් තවත් අවස්ථාවල එතරම් සුබවාදී වූ බවක් පෙනෙන්න නැහැ. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මේ බව පෙන්නුම් කරනවා. සිසුන් ලෙස සිටින තරුණ වැඩිහිටි පුරවැසියන්ට දේශපාලනය කතා කරන්න අයිතියක් තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ගිහි විශ්වවිද්‍යාලයක් නොවෙයි. උසස් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන තරුණ භික්ෂුව මෙය සැලකිය යුත්තේ මහ පිරිවෙනක් ලෙසයි. අපේ රටේ පිරිවෙන් සංස්කෘතියක් තිබෙනවා. මහා විහාර අඛණ්ඩව පවත්වාගෙන ආ සංස්කෘතියක් පවතිනවා. ගිහි විශ්වවිද්‍යාලවල පවතින වටපිටාව, අරමුණු හා ක්‍රියාකාරකම් මෙතැනට අදාළ නැහැ. මේක පනතට හා විනය පිටකයට අනුව ක්‍රියාත්මක විය යුතු විශ්වවිද්‍යාලයක්. පවතින පනත යාවත්කාලීන කළ යුතුයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan