*
Friday, September 20, 2024
spot_img

Latest Posts

උදම් රළ කැළඹී අදට දහඅට වසරයි…..

ඔබට සහ මට කිසිදා අමතක නොවන ඒ 2004 වසරයි. නත්තලෙන් පසු උඳුවප් පුර පසළොස්වක පොහෝ දින උදෑසන ශ්‍රී ලංකිකයින් වන අප ඉතිහාසයේ කිසිදා නෑසු නමක් ඇති මහා ව්‍යසනයකට මුහුණ දුන් දවසයි….

ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනකට වැඩි පිරිසකට මරණයේ බිය දැනුනු එදා හතලිස් දහසකට වැඩි ශ්‍රී ලාංකිකයන්ට ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතෙන් ජීවිත අහිමි විය.

දිනය 2004 දෙසැම්බර් 26 ඉරිදා…

නත්තල් දාට පසු දින එනම් 2004 වර්ෂයේ 26 වන දින උදෑසන කාලයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ හටගත් රික්ටර් පරිමාණ ඒකක 9ත් 9.1ක අගයක් ගත් භූ තැටි චලන කිහිපයක් හේතුවෙන් , කැළඹුනු ඉන්දියන් සමුද්‍රය ගම් නියම් ගම් සමතලා කරමින්, සුනාම් පිළිබඳ අත්දැකීමක් නොමැති අහිංසක ජීවිත දහස් ගණන් උදුර ගනිමින් ගොඩබිම් කරා ඇඳී ගොස් සියල්ල සුනුවිසුණු කලා. අඩි 100ක් පමණ උසැති ප්‍රචණ්ඩකාරි උදම් රළ අතර 21 වන සියවසේ සිදුවූ දරුණුතම සහ දැවැත්තම ඛේදවාචකය මෙය බව ඉතිහාස පොතට එක්වය. ගත වූ නිමේෂයකින් රටවල් 14ක මිනිස් ජීවිත 227,898 ක් බිලිගත්තේ කිසිදු අනුකම්පාවක් නොමැතිවයි.

මින් ඉන්දීය සාගරයේ පිහිටි රටවල් 11ක ජීවිත ලක්ෂ 3ක් අහිමි විය. මෙය ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයෙන් 3/4කට බලපෑ අතර එය ඉතා දැඩිව නැගෙනහිරට හා දකුණු වෙරළ තීරයට බලපෑවේය. මෙහිදී සුනාමි රළ මඟින් ඇති කරුණු ලැබූ ජල ප්‍රවාහය මීටර් 50 සිට කි.මී. 2ක් අතර පරාසයක් තුළ එක් එක් ප්‍රදේශයන්හි විහිදිණි.

මේ මඟින් විනාශ වූ ශ්‍රී ලාංකික ජීවිත සංඛ්‍යාව 39000ක් වූ අතර තවත් ජීවිත බොහොමයක් අනතුරට පත්ව, මිනිසුන් 4100ක් අතුරුදහන්ව තිබිණි. දිස්ත්‍රික්ක 13ක නිවාස 63472ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස 41600ක් අර්ධ වශයෙන් විනාශ විය.

වෙරළබඩ ප්‍රදේශවල පිහිටි බොහෝ යටිතල පහසුකම් සුනාමිය නිසා විනාශ විය. මේ අතර දුම්රිය හා මහාමාර්ග, විදුලිය, ජලය, දුරකථන, ආරෝග්‍ය ශාලා යනාදිය ප්‍රධාන වේ. බොහෝ සැපැයුම් මාර්ග හා ගොඩනැඟිලි සහමුලින්ම විනාශ විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සුනාමි නිසා විශාල හානියක් ඇතිවූ අතර ආර්ථික සංවර්ධන වේගය 0.5%කින් අඩුවිය. මෙය මුල්‍යමය වශයෙන් ගත්විට ඇමෙරිකානු ඩොලර් මිලියන 900ත් 930ත් අතර ප්‍රමාණයක් වෙතැයි තක්සේරු කොට තිබේ. ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දුන් ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්ත මේ අතර ප්‍රධාන වේ. ධීවරයින් 90,000ක් අස්ථානගත විය. සංචාරක කර්මාන්තය රැකියා අවස්ථා 100,000ක් පමණ ඍජු හා වක්‍ර ලෙස බලපෑමට ලක්විය. වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර් 3500ක් පමණ කුඹුරු, පලතුරු හා එළවළු වගාබිම් විනාශ විය. වගා ඉඩම්ව ලට මුහුදු ජලය කාන්දුවීම නිසා ඒවා වගාවට නුසුදුසු ඉඩම් බවට පත්විය.

ශ්‍රී ලංකාවේ වෙරළ පරිසරය කෙ‍රෙහි ද සුනාමිය දැඩි බලපෑමක් ඇති කළේය. මේ අතරින් කොරල්, කඩොලාන, වැලි වැටි, කලපු හා වෙරළබඩ වෘක්ෂලතා යනාදි පරිසර පද්ධතීන් ප්‍රධාන වේ. නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි බොහොමයක් වැලි වැටි හානියට පත්වූ අතර හම්බන්තොට ප්‍රදේශයේ වැලි වැටියද දැඩි බලපෑමකට ලක්විය. ලවණ වගුරු බිම් හා දකුණු පළාතේ බොහෝ වෙරළබඩ ජලාශ හා කලපු සුනාමි රළ දහරා මඟින් රැගෙන ආ ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ගොඩවිය.

එය දැනට වාර්තා වී ඇති ස්වාභාවික විපත්වලින් දරුණුතම විපතක් වූ අතර 21වන සියවසේ දැනට වාර්තා වී ඇති දරුණුතම විපත යි. ඉන් වැඩි ම හානියක් සිදු වූයේ ඉන්දුනීසියාවට, හා ඉන් පසු ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා තායිලන්තයට යි.

භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි.

දෙසැම්බර් 25 වන දින නත්තල සැමරූ කිතුනු භක්තිකයින්ට මෙන්ම උඳුවප් පුර පොහෝ දින සිල් සමාදන් වූ බෞද්ධයින්ටද , නිවාඩු දිනයක් වූ ඉරිදා දිනයේ නිවාඩුපාඩුවේ නිවසේ සිටි අය වගේම, විනෝද ගමන් යමින් සිටි සියලු ශ්‍රී ලාංකිකයින්ටද මුලින්ම කණ වැකුණු අරුම පුදුම ප්‍රවෘත්තිය නම් හිටි හැටියේ මහ මුහුද කිලෝමීටරයක් පමණ පිටුපසට ගොස් ඇති ප්‍රවෘත්තියකි.

එයත් සමගින් පිරිසක් මුහුදෙන් මතු වූ භූමිය වෙන්කර ගන්නට වෙරදරද්දී තවත් සමහරු වෙරළේ දඟලමින් සිටි මාළු අල්ලන්නට වුණා.

නමුත් මහමුහුද මිනිසුන්ට ප්‍රීති වන්නට කාලයක් ඉතිරි කළේ නෑ. පස්සට ගියේ මුහුද ගොඩබිමත් හාරා ගෙන, ගස් උගුළුවා දමමින් හිත් පිත් නොමැතිවම ගොඩනැගිලි, නිවාස මෙන්ම අහිංසක මිනිසුන් යට කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත එදා සිදු කළා.

ගාල්ල බස් නැවතුම්පොල සම්පූර්ණයෙන්ම මහා සැඩ ජල පහරින් සෝදාගෙන යද්දි , මිනිස් ජීවිත බොහෝ ප්‍රමාණයකුත් එම රළ පහරින් ගසාගෙන ‍යන ඉතාමත් සංවේදී රූපරාමු ප්‍රමාණයක් එදා සේලක නැමැති මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලක සිටි පුද්ගලයකුගේ කැමරාවක සටහන් වී තිබිණ .

එදා සුනාමියේ දරුණුතම කේදවාචකය සිදුවූයේ මේ හික්කඩුව පැරෑලියේදීය. 1500 කගේ පමණ දිවි අහිමි කල ඒ අනතුර කොතරම් බිහිසුණුද යන්න යකඩ පවා ඇඹරී ගොස් ඇති ආකාරයෙන් විස්තර කෙරෙන්නේ අදටත් ඒම දර්ශන දකින්නාවුන්ගේ සිත් සලිත කරමිනි.

පැරෑලිය දුම්රිය අනතුරින් මියගිය 1270 දෙනකුගේ දේහයන් ඇතුළුව සුනාමියෙන් දිවි අහිමි වූ පැරෑලිය ගම්වාසීන් 249 දෙනෙකුගේ දේහයන් තැන්පත් කළ ස්ථානයේ ඉදිකර තිබෙන සුනාමි ස්මාරකය ඉදිකරනු ලැබුවේ මෙරට සුනාමියෙන් දිවි අහිමි වූ 50000ක් පමණ වූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිකිරීම සඳහායි. එදා ඒ සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමිවූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිකිරීම සෑම දෙසැම්බර් 26 වෙනිදාකම මෙම සුනාමි ස්මාරකය මූලික කරමින් එය අබියසදි සිදු කෙරෙනවා.

එසේ සුනාමි ස්මාරකය අභියස දී ස්මරණය කරන සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් අතර වසර 18 ක් මුළුල්ලේ අදටත් ගෞරවාන්විතව අවසන් කටයුතු සිදු නොකළ 250ක් පමණ දෙනෙකුගේ සිරුරු දිරා ගිය පසු ඉතිරි වූ අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පීඨයේ සතුව තිබෙනවා. මේ බොහොමයක් සිරුරු තවමත් හඳුනාගෙන නොමැති අතර සමහර හඳුනාගන්නා ලද සිරුරු ඥාතීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයට එම බර දරාගෙන සිටීමට සිදුව තිබෙනවා.

සුනාමි අත්දැකීම් මොන තරම් කටුක දැයි අද එම සිද්ධීන් දෙස බලද්දී ඒවාට මුහුණ දුන් අහිංසක ජනතාව පවසන දෙයින් මනාව ඉස්මතු වේ.

මෙවන් බිහිසුණු අත්දැකීමකට යළිත් මුහුණ දීමට සිදු නොවීමයි අපගේ බලාපොරොත්තුව. එසේ හෙයින් ඉදිරියේ දී කවර දිනක හෝ යළි සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව ඒ සඳහා කොතරම් සූදානම්ද යන්න ඉතාමත් වැදගත් .

සීතල දෙසැම්බරය හඬවා අදට වසර 18 යි.

නත්තලේ සතුට අරන් ගියපු
දෙමාපියන්ට තම දරුවන් අහිමි කරපු
සහෝදර සහෝදරියන්ගෙ ජීවිත බිල්ලට ගත්
ගෙයක් ගෙයක් පාසා විලාප දුන්…..

ඒ අඳුරුම මතක පිරුණු දවස ගෙවී ගොස් වසර 18යි. අදටත් ඒ අඳුරු මතකයේ සෙවනැලි මතින් ප්‍රාර්ථනා කරන්නේ අහිමි වූ ජීවිතවලට සැනසීම උදාවේවා………!!!!

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan