ආර්ථික වශයෙන් පහල ස්තරය තුල සිටින අති බහුතර මිනිසුන්ට සරීරියට අවශ්‍ය ප්‍රොටීන් ලබාගැනීම සඳහා තිබූ එකම ආහාරය කිකිළි බිත්තරයයි. එය ද මේ මොහොතේ රං කිකිළිගේ බිජු මෙන් පාලන මිලක් රහිතව රන් පවුම් සේ මිල ඉහල නගිනු පෙනේ.
ආන්ඩුව මේ මිල ගැටලුව විසඳාගැනීමට දැමිය හැකි සියළුම දහංගැට දමා බැරිවූ කල ගැටලුව අභියාචනාධිකරණයට ද ගියේය. නමුත් එයද පලක් නොවීය. පාදමෙන් ආර්ථිකය දෙදරාගිය අර්බූද වලට උපරි ව්‍යුහයේ ඇති අධිකරණ වගන්ති තුල පිළිතුරු නොමැති බව ඒ හරහා ඔප්පු විය.
මේ අතර බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා වන සූදානමක්ද පවතී. එහිදී ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් විසිපහක් වැනි මුදලකට අලෙවි කල හැකි බවද පැවසේ. මෙහිදී දේශීය බිත්තරයක් රුපියල් හැත්තෑවකට හැත්තෑපහකට අලෙවි වෙද්දී ඉන්දියාවෙන් ආනයනය කල බිත්තරයක් රුපියල් විසිපහකට අලෙවි කල හැක්කේ කෙසේද ..?
මෙයට හේතුව ඉන්දියාව තුල බිත්තරයක් නිශ්පාදනය කිරීමට වැයවෙන පිරිවැය මෙන් තුන් ගුණයක පිරිවැයක් එම බිත්තරය ලංකාව තුල නිශ්පාදන කරීම සඳහා වැයවීමයි. ඊට හේතුව ඉන්දියානු මහා කර්මාන්ත වලට සාපේක්ෂව ලංකාව තුල ඇත්තේ නොදියුනු සුළු පරිමාණ කර්මාන්ත වීමය.
දේශිය වශයෙන් නිශ්පාදනය කරන යම් බාන්ඩයක මිල එකී බාන්ඩයේ ජාත්‍යන්තර මිල මෙන් දෙගුණයක් පමණ වේනම් එහි අර්ථය එකී (දේශීය දේශීය බාන්ඩය නිශ්පාදනය කරන) කර්මාන්තයේ පැවැත්ම ඓතිහාසික වශයෙන් මේවනවිටත් කල් ඉකුත්වී ඇති බවය.
මෙහි ඇති පැහැදිලි යථාර්තය නම් අපේ රටේ රාජ්‍ය අංශයේ ව්‍යවසායකත්වයන් පමණක් නොව සියළු පෞත්ගලික අංශයේ ව්‍යවසායකත්වයන් පවා ගෝළීය සන්දර්බයක් තුල මේවනවිටත් බංකොලොත්ව අවසන්ව ඇති බවය. අවසාන වටයේදී මේවා නඩත්තුකරගෙන යෑමේ අවසාන පිරිවැය දැරීමට සිදුවන්නේද පොදු මහජනතාවටමය.
බිත්තර කර්මාන්තයේ පමණක් නොව රට තුල පවතින සෑම සියලු නිශ්පාදන කර්මාන්තවල තත්වයද මෙසේමය. උදාහරණයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් එකක් ආනයනය කිරීමට යන පිරිවැය මෙන් දෙගුණයකට ආසන්න පිරිවැයක් සහල් මෙට්‍රික් ටොන් එකක් රට තුල නිශ්පාදනය කිරීමට වැයවේ. මෙහිදී බොහෝ දේශීය නිශ්පාදනයන් පවත්වාගෙන යාම සඳහා රජය විශාල පිරිවැයක් දරයි.
විශේෂයෙන් වී වගාව සම්බන්දයෙන් ගත් කල රජය විශාල පිරිවැයක් දරා පොහොර පවා අඩු මුදලකට නිශ්පාදකයාට ලබා දෙයි. අවසානයේ වගාව පාඩුවූ විට ඒ පාඩුව රජය දරාගෙන ගොවියාට වී සඳහා සහතික මිලක්ද ගෙවයි. ඊට අමතරව වගාපාලු වන්දි සඳහාද, අලි වැටවල්, වාරිමාර්ග, වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද රජය විශාල මුදලක් වැයකරයි. නමුත් මේ මොක කරත් මේ ක්‍රියාවලිය හරහා කිසිදා ගොඩ ගිය ගොවියෙක්ද නැත. බිඳවැටෙමින් පවතින දේශීය නිශ්පාදනයකට රජය මැදිහත්ව විශාල වන්දියක් ගෙවමින් තාවකාලික මුක්කුවක් ගසාගෙන සිටීමක් පමණක් මෙහිදී සිදුවේ.
රට මෙවන් බංකොලොත් ප්‍රපාතයකට ඇදවැටීමට හේතුවූයේ රටට ඔරොත්තු නොදෙන පරපුටු රාජ්‍ය ආයතන පද්දතියක් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තුකරගෙන යෑම බව අපි කවුරුන් දන්නා සරළ කාරනයකි.
එහිදී රාජ්‍ය ආයතන පද්දතිය සේම රාජ්‍ය අංශයට අයත් නොවන නමුත් රාජ්‍ය සහනාදාර සහ වන්දි මත නඩත්තුවෙන සෑම සියළු නිශ්පාදන කර්මාන්තයක්ම ද මේ ආර්ථික ඇදවැටීමට ඝෘජුවම හේතුවී ඇත.
රජය මේ බරකරත්ත කර්මාන්ත නඩත්තුකරගෙන යැම සඳහා පිරිවැය සොයාගනු ලබන්නේ මහජන බදු මුදල් වලිනි. බදු මුදල් මේ සඳහා කිසි සේත්ම ප්‍රමාණවත් නොවූ විට විදේශ ණය මූලාශ්‍රවලින් මහාපරිමාණයෙන් ණය ලබාගැනීමද සිදුවේ. ඒ අනුව රාජ්‍යයේ හිස මත පැටවී ඇති ණය කන්දරාවේ එක් කොටසක් මේ දේශීය නිශ්පාදන මුලාව විසින් නිර්මාණය කර දෙන ලද්දකි.
ලංකාව වැනි දුර්වල කුඩා රාජ්‍යයකට ලෝක ආර්ථික තත්වයන් තමන්ගේ රටේ ආර්ථිකයට සංකෘතියට අවශ්‍ය පරිදි හසුරුවාගත නොහැකිය. ඒ වෙනුවට ගෝළීය ආර්ථිකයට ගැලපෙන සේ අප විසින් අපේ සංකෘතිය හා ආර්ථිකය හැඩගස්වා ගත යුතුව ඇත. මෙහිදී ගෝළීය අරථිකයට හැඩගැසීමට නම් සියල්ලට පෙර වවාගෙන හදාගෙන කන දේශීය ගොං අභිමානයන්ගෙන් මිදිය යුතුය. එසේම අප විසින් මෙතෙක් කරගසාගෙන පැමිණි “පෙරදිග ධාන්‍යාගාරය” වර්ගයේ අතීතකාමී රොමෑන්තික සංකල්ප වලින් මිදී වර්තමානයට පැමිණිය යුතුය.
මා එසේ පැවසීමට හේතුව නූතන ලෝකය තුල අන්තර්ජාතික වශයෙන් සංවිධානය වූ මහා අර්ථික සංගත සමඟ ජාතික වශයෙන් පදනම් වූ කුඩා රාජ්‍යයක සුළු නිශ්පාදකයන්ට තරඟ කරනු තබා එසේ සිතනු පවා නොහැකි බැවිනි.
මේ වනවිට ලංකාව කිසිම වැදගම්මකට නැති දූපතක් බවට පත්වී ඇතත් ලංකාවේ මහද්වීපික පිහිටීම නිසා ගෝලීය ආර්ථිකයට අදාලව යම් වටිනාකමක් මේ දූපත තුල තිබෙන්නට පුළුවන. එහිදී ඒ වටිනාකම් පාදා ඉස්මතු කරගැනීම සඳහා අප සියවසට ගැලපෙන සේ නූතන විය යුතුය.
කෝටිපති සංචාරකයින් විනෝදවීම සඳහා කැසීනෝ සහ තවතව දේවල් හොයාගෙන ලංකාවට පැමිනෙන්නේ නම් ඊට අදාල පහසුකම් අප සැලසිය යුතුය. එහිදී මෙතෙක් හිසමත තබාගෙන සිටි දෙදාස්පන්සිය වසරක චිරාගත හැදියාව ඉතිහාසයටම බාරදී නූතනත්වයේ ජීවත්වීමට අප පුරුදු පුහුණු විය යුතුය.
ඇතැම්විට එවන් එක් සංචාරකයෙක් එක් රැයකට ඩොලර් ලක්ෂ ගණනක් ලංකාව තුල වියඳම් කොට ආපසු යන අවස්තා තිබිය හැකිය. එසේ නොමැතිව අපගේ කොන්දේසි යටතේ ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ A.T.M.යන්ත්‍ර කඩා රුපියල් සොරකමේ යෙදෙන දුගී සංචාරකයින් පමණි. ජාතියක් විදියට අපි මේ සත්‍යය අවබෝධ කර නොගෙන සහ ඒ වෙනුවට ඊනියා දේශීය ආර්ථිකයක් හරහා රට ගොඩ දැමීමට වලිකන තුරු අපට සිදුවන්නේ ලිඳෙන් ගොඩ යෑම සඳහා උඩට පනින සෑම වාරයක් පාසාම නැවත ලිං පතුලට වැටී පස්ස තැලුන ගෙම්බාට සිදුවූ සන්තෑසියමය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN