*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)

මේ දවස් වල ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108ක් විතර වෙනවා කියලා මම කිවුවනේ. ඇමරිකාවේ බිත්තරයක් ඔය වගේ ගාණකට විකිණෙද්දී ඉන්දියාවේ රුපියල් 26ක් වැනි මිලකට බිත්තර විකිණෙන බවත් කිවුවනේ. ඔය ගණන් දෙකම කියලා තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්.

කොහොම හරි ප්‍රශ්නය මේකයි. දැන් ඇමරිකාව හා ඉන්දියාව අතර ඔය වගේ මිල වෙනසක් තියෙද්දී රටවල් දෙක අතර සිදු වන වෙළඳාම නිසා ඔය මිල ගණන් සමාන විය යුතු නැද්ද?

සරල, පාඨ ග්‍රන්ථ උදාහරණයකනම් එහෙම වෙනවා. ඒ වගේ පාඨ ග්‍රන්ථ උදාහරණයක උපකල්පන හා ගැලපෙන තත්ත්වයන් යටතේ සැබෑ ලෝකයේදීත් ඔය වැඩේ වෙනවා. නමුත්, මේ නිශ්චිත අවස්ථාව වගේ ඇතැම් අවස්ථා වල පවතින සංකීර්ණ තත්ත්වයන් නිසා ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ.

අපි මේ බිත්තර උදාහරණයෙන් පටන් අරගෙන සැබෑ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ටිකක් කතා කරමු.

කවුරු හෝ කෙනෙක් බිත්තරයක් මිල දී ගන්නේ ඇයි?

ඔය ප්‍රශ්නයට “ඔම්ලට් හදන්න”, “බිත්තර ආප්ප හදන්න”, එහෙමත් නැත්නම් “අකැමැති කෙනෙක්ගේ මූණට දමලා ගහන්න” වගේ විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත්, ආර්ථික විද්‍යාවට ආවොත්, පොදු වශයෙන් කවුරු හරි බිත්තරයක් මිල දී ගන්නේ බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට නිසා. සතුට ලැබෙන්නේ බිත්තරේ කඩලා ඔම්ලට් හදන එකෙන්ද නැත්නම් බිත්තරය රක්කවලා කුකුළු පැටියෙක් හදා ගන්න එකෙන්ද වගේ දේවල් ද්වීතියික කරුණු.

බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් කෙනෙකුට ලැබෙන සතුට පුද්ගලබද්ධ කාරණයක්. ඒක බිත්තරයට සම්බන්ධ වාස්තවික කරුණක් නෙමෙයි. ඒ නිසාම, බිත්තරයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙකු හා අදාළව වුනත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම හිතන්නේ මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට අවුරුද්දකට දෙකකට කලින් බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබුණු සතුටට වඩා වැඩියි.

බිත්තරයක් මිල දී ගන්න කෙනෙක් අවසාන වශයෙන් මිල දී ගන්නේ සතුටනම්, බිත්තර විකුණන අය විකුණන්නේ මොනවාද? බිත්තර විකුණන අය බිත්තර විදිහට විකුණන්නේත් සතුට. බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට වැඩි වන තරමට බිත්තරය විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

බිත්තරයක හිමිකාරයෙක් වෙද්දී සතුට වැඩි වෙනවා වගේම ඒ වෙනුවෙන් සල්ලි ගෙවද්දී සිදු වන අහිමි වීම නිසා සතුට අඩු වෙනවා. කවුරු හෝ බිත්තරයක් මිල දී ගන්නේ ඒ නිසා වැඩි වන සතුට ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුටට වඩා වැඩිනම් පමණයි.

සමහරු කියනවා සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම කියලා. ඔහොම කියන ගොඩක් අයගේ මනුස්සකම් ගැන අපට හොඳ අත්දැකීම් තිබුණත්, මනුස්සකම හෝ වෙනත් ඔය වගේ දෙයක් තරම් සල්ලි වටින්නේ නැහැ කියා හිතන කෙනෙක්ව අපි අරගනිමු. ඇත්තටම ඔහොම හිතන කෙනෙකුට ටිකක් වැඩි ගාණකට බිත්තරයක් විකුණන්න පුළුවන්. මොකද එහෙම කෙනෙකුගේ සල්ලි වල සාපේක්ෂ වටිනාකම අඩුයිනේ. සල්ලි ගෙවද්දී අහිමි වන සතුට අඩු වන තරමට කෙනෙකුට බඩුවක් විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ තිබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අඩු වෙද්දී අහිමි වන සතුට අඩුයි. අර කියන්නේ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට දැනෙන්නේ නැහැ කියලා.

ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000කට වඩා වැඩියි. නමුත්, ඉන්දියානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,500ක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානුවෙකුට බිත්තර දුසිමක් මිල දී ගනිද්දී ඩොලර් තුන හතරක් ගෙවන්න වුනත් ඒක දැනෙන්නේ නැහැ. නමුත්, ඉන්දියානුවාට බිත්තර දුසිමට ඩොලර් එකක් ගෙවන්න වුනත් ඒක ඊට වඩා වැඩියෙන් දැනෙනවා. මේ හේතුව නිසා, ඇමරිකානුවෙකුට බිත්තරයක් වැඩි මිලකට විකුණන්න ලේසියි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ඇමරිකාව හා ඉන්දියාව අතර බිත්තර මිලෙහි පහසුවෙන් සමාන නොවෙන වෙනසක් තියෙන්න පුළුවන්.

හැබැයි අනෙක් පැත්තෙන් මෙහෙම දෙයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානුවෙකුට කෑම බීම හිඟයක් නැහැ. කෑම බීම වෙනුවෙන් වියදම් වෙන්නේ මාසික පරිභෝජන වියදම් වලින් 14%ක් පමණයි. ඉන්දියාවේ ඔය ප්‍රතිශතය 46%ක් පමණ. ඒ වගේම ඇමරිකානුවෙක් අවුරුද්දකට බිත්තර 190ක් පමණ පරිභෝජනය කරද්දී, ඉන්දියානුවෙක් පරිභෝජනය කරන්නේ බිත්තර 50කටත් අඩුවෙන්. මේ හේතු නිසා, ඇමරිකානුවෙකුට සාපේක්ෂව ඉන්දියානුවෙකුට වැඩිපුර හිමි කරගත හැකි බිත්තරයක වටිනාකම වැඩියි.

ඇමරිකානුවෙකුට බිත්තරයක් වෙනුවෙන් සල්ලි ගෙවද්දී අහිමි වන සතුට සාපේක්ෂව අඩු වුනත්, යම් බිත්තර ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් පසුව තව තවත් බිත්තර හිමි වීමේ සතුටත් සාපේක්ෂව අඩුයි. ඉන්දියානුවෙකුට සල්ලි වල වගේම බිත්තර වලත් වටිනාකම වැඩියි. ඒ නිසාම, ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර විකිණිය හැකි සීමාවක් තිබෙනවා.

බිත්තර කියා කියන්නේ සමජාතීය භාණ්ඩයක්ද?

ගෙවල් පිටිපස්සේ කූඩු වල කිකිළියෝ බිත්තර දමපු කාලේනම් බිත්තර කියන්නේ බොහෝ දුරට සමජාතීය භාණ්ඩයක්. නමුත්, දැන් තත්ත්වය වෙනස්. මම කලින් කිවුවා වගේ බිත්තර වෙළෙන්දෙක් ඇත්තටම විකුණන්නේ සතුට. බිත්තර වලින් කරන්නේ සතුට නිෂ්පාදනය කරන එක. මේ හේතුව නිසාම බිත්තර විකිණෙන්නේ සතුට නිපදවන තවත් දේවල් එක්ක පැකේජ් කරලා. එහෙම විකුණන බිත්තර තව දුරටත් සමජාතීය භාණ්ඩයක් නෙමෙයි.

මේ වෙද්දී කීල්ස් සහ කාගීල්ස් සුපිරි වෙළඳසැල් වල හැපී හෙන් ලොකු බිත්තර 10ක් විකිණෙන්නේ රුපියල් 650කට. මේ විදිහට රුපියල් 650කට විකිණෙන්නේ බිත්තර දහයක් පමණක් නෙමෙයි. බිත්තර දහයේ ඇසුරුම සහ හැපී හෙන් සන්නාමයත් බිත්තර දහය එක්ක පැකේජ් වෙලා තිබෙනවා. බිත්තර වලින් වගේම ඔය පැකේජ් එකෙන් සහ සන්නාමයෙනුත් සතුට ජනනය කරවනවා.

මම හිතන්නේ පොඩි සිල්ලර කඩේකින් බිත්තර දහයක් ගත්තත් මේ වෙලාවෙනම් ඔය ගාණට කිට්ටු ගාණක් යනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය විකිණෙන්නේ ඉතාම අඩු මිලකට. නමුත්, අවුරුද්දකට විතර කලින් ඔය මිල ගණන් සංසන්දනය කළානම් සැලකිය යුතු වෙනසක් පේනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය ඒ දවස් වල වඩා වැඩි මිලකට විකිණුනා කියන එක. අතේ සල්ලි අඩු වෙද්දී, සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී, මිනිස්සුන්ට බිත්තර වලට මිසක් සන්නාම වලට සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් සතුට ජනනය වෙන්නේ නැහැ.

මේ කරුණ තහවුරු කෙරෙන තවත් නිරීක්ෂණයක් තිබෙනවා. කීල්ස් සුපිරි වෙළඳසැලේම අලෙවිවන නෙල් ෆාර්ම් ලොකු බිත්තර 10ක් විකිණෙන්නෙත් හරියටම රුපියල් 650කට. කාගීල්ස් එකෙත් ඒ ගණන. ඒ වගේම, ආරෝග්‍යා සහ මහවැලි සන්නාම යටතේ එන බිත්තර දහයක් විකිණෙන්නේත් හරියටම රුපියල් 650ට. මේකෙන් පෙනෙන්නේ බිත්තර මිසක් සන්නාමය විකිණෙන්නේ නැහැ කියන එකයි.

මෙහි සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී කියන එකෙන් අදහස් කළේ සල්ලි වල පුද්ගල බද්ධ වටිනාකම වැඩිවීම ගැන මිසක් ක්‍රය ශක්තිය වැඩිවීම ගැන නෙමෙයි. ක්‍රය ශක්තියනම් අඩු වෙලානේ. තවත් තේරෙන්න කිවුවොත් අතේ සතේ නැති වුනාට පස්සේ රුපියල් සීයක් වුනත් කෝටියක් වගේ දැනෙන එක ගැන.

ඇමරිකාව වගේ රටකදී බිත්තර එක්ක පැකේජ් කරන ඇසුරුමට, ලේබලයට හා සන්නාමයට වගේම තවත් දේවල් වලට සැලකිය යුතු මුදලක් අය කරන්න පුළුවන්. ඒ නිසාම, එකම දවසක වුනත්, වෙනස් ලෙස පැකේජ් කර තිබෙන එක වගේ බිත්තර දුසිමක මිල සැලකිය යුතු ලෙස විචලනය වෙනවා.

මේ ටාර්ගට් සුපිරි වෙළඳසැලේ මිල ගණන්.

ගුඩ් ඇන්ඩ් ගැදර් ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 3.99යි.
ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 4.89යි.
ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 5.39යි.
හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 6.29යි.

ඔය කොයි වර්ගයෙන් ගත්තත්, සුදු දුඹුරු වෙනසක් නැත්නම්, බිත්තර කලවම් වුනොත් වර්ගය හොයා ගන්න බැහැ. කඩලා ඔම්ලට් හැදුවොත් කිසිම වෙනසක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට බිත්තර වල මිල වෙනස් වෙන්නේ පැකේජ් වෙලා තියෙන අනෙක් දේවල් නිසා.

එළිමහනේ හදන කිකිළියන්ගේ බිත්තර දුසිමක් කූඩු වල හදන කිකිළියන් දමන බිත්තර දුසිමකට වඩා ඩොලර් ඩොලර් ශත 90ක් වැඩියි. ඕගනික්නම් තවත් ඩොලර් ශත පණහක් වැඩියි.

බැලූ බැල්මට කිසිම වෙනසක් නැති කූඩු කිකිළියන්ගේ බිත්තර දුසිමක් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී කවුරු හරි කෙනෙක් එළිමහන් කිකිළියන්ගේ බිත්තර ගන්න ඩොලර් ශත අනූවක් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඔය ගොඩේ ඉන්නේ සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියලා හිතන මිනිස්සු. වැඩිපුර ශත අනූව ගෙවන්නේ මනුස්සකම ප්‍රදර්ශනය කරන්න. සමහර විට තමන්ටම. එහෙම කරන්නේ ඒ වැඩෙන් ලැබෙන සතුට ශත අනූව අහිමි වීම නිසා අඩුවන සතුටට වඩා වැඩි නිසා. විකුණන්නේ වගේම මිල දී ගන්නේත් බිත්තර නෙමෙයි සතුට කියලා තේරුම් ගත්තහම මේ හැසිරීමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

ඕගනික් බිත්තර වලට තව ඩොලර් ශත පණහක් එකතු වෙන්නෙත් ඔය ක්‍රමයට. කේජ් ෆ්‍රී ඕගනික් බිත්තරම වුනත්, බ්‍රෑන්ඩ් එක හැපී එග්නම්, ගුඩ් ඇන්ඩ් ගැදර් බ්‍රෑන්ඩ් එකට වඩා තවත් ශත අනූවකින් මිල වැඩියි. ඒ ශත අනූව අදාළ සන්නාමය විකිණෙන මිල. වටිනාකම කියන්නේ පුද්ගල බද්ධ දෙයක් නිසා මේ වගේ පාරිභෝගික හැසිරීම් ගැන ඕනෑවට වඩා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒවා තේරුම් ගන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකෙත් තේරුමක් නැහැ. එක් එක් පුද්ගලයා සතුටු වෙන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකට කියන එක මතක තියා ගත්තහම ඇති.

උඩින් දැම්මේ ටාගට් මිල ගණන්නේ. මේ වෝල්මාර්ට් එකේ මිල ගණන්.

ග්‍රේට් වැලියු ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 3.92යි.
හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් – ඩොලර් 6.32යි.

වෝල්මාර්ට් එකේ ලොකු බිත්තර දුසිමක් ටාගට් එකේ ගණනට වඩා ශත තුනක් අඩුයි. නමුත්, හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් ශත තුනක් මිල වැඩියි.

වෝල්මාර්ට් එකෙන් සාමාන්‍යයෙන් බඩු ගන්නේ මිල සංවේදී පාරිභෝගිකයෝ. ඒ අය බිත්තර වලට මිසක් පැකේජ් එකට, මනුස්සකමට හෝ සන්නාමයට ගෙවන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ඒ අයට පුළුවන් තරම් අඩු තරඟකාරී මිලකට බිත්තර විකිණිය යුතුයි. නමුත් ටාගට් එකට සාමාන්‍යයෙන් එන්නේ ඊට වඩා ටිකක් වියදම් කරන්න කැමති අය. එතැනදී ඉලක්කය වෙන්නේ අමතර එකතු කිරීම විකුණන එක. කූඩු කිකිළි බිත්තර සහ කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර අතර මිල පරතරය අඩු වුනු තරමට මිල වැඩි කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර තෝරා ගන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළ ඔය වගේ එකක්. මිල සංවේදී පාරිභෝගිකයින්ට අඩු මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. කූඩු වල හිර වෙලා බිත්තර දමන කිකිළියන් ගැන අනුකම්පා කරන අයට වැඩියෙන් ගාණක් දීලා කේජ් ෆ්‍රී බිත්තර ගන්න පුළුවන්. ඕගනික් බිත්තර අවශ්‍ය අයට ඒවා ගන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා තමන්ට අවශ්‍ය සන්නාමයම හොයන අයට ඒ තේරීම්ද තිබෙනවා. ඒ නිසා, කඩලා ඔම්ලට් හැදුවහම කිසිම වෙනසක් නැතත් බිත්තර වල මිල තරමක් විශාල පරාසයක විචලනය වෙනවා. ඔය මිලෙන් බාගයක් විතරම අගය එකතු කිරීම්.

ඉන්දියාවෙන් එක පාරටම ඇමරිකාවට බිත්තර ගෙනත් විකුණන්න බැරි ඇයි කියන එකට එක් හේතුවක් මෙයින් විස්තර වෙනවා. ඉන්දියාවේ අඩුවට විකිණෙන බිත්තර බොහෝ දුරට නිකම්ම බිත්තර. ඇමරිකාවේ වෙළඳපොළ තුළ තරඟ කරන්න පුළුවන් විදිහට අගය එකතු කිරීම් කළොත් ඉන්දියානු බිත්තර වලත් මිල ඉහළ යනවා.

හැබැයි ඉන්දියානු බිත්තර වලට බලපාන මේ ප්‍රශ්නය හැම රටකටම ඒ විදිහටම බලපාන්නේ නැහැ. ගොඩක් බටහිර රටවල බිත්තර විකිණෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට. ඒ නිසා, කැනඩාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වගේ රටකට පහසුවෙන්ම ඇමරිකාවට බිත්තර අපනයනය කරන්න පුළුවන්. චීනයේ වුනත් ඒ මට්ටමේ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා. නමුත් ඉන්දියාව, ලංකාව වගේ අඩු ආදායම් රටවල විකිණෙන බිත්තර කියා කියන්නේ බොහෝ විට ඇමරිකාව, ජපානය හෝ කොරියාව වැනි රටක බිත්තර වලට සෘජු ආදේශක නෙමෙයි.

වෙළඳපොළ තරඟය කියන්නේ මිල තරඟයක් පමණක් නෙමෙයි. පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා වන තරඟයක්. මිල මත තරඟ කළ හැක්කේ එමගින් පාරිභෝගිකයා සතුටු කළ හැකි සීමාව දක්වා පමණයි. එතැනින් එහාට පාරිභෝගිකයා සතුටු කළ හැකි වෙනත් ක්‍රම ගැන හිතන්න වෙනවා.

මේ කොටසෙන් කතා කළේ බිත්තර ඉල්ලුම ගැන. සැපයුම පැත්ත ගැන දෙවන ලිපියකින් කතා කරමු. වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක වගේම බිත්තර වලත් ඉල්ලුම හැදෙන්නේ මේ භාණ්ඩය හිමි කර ගැනීම නිසා වැඩි වන සතුට හේතුවෙන්. නමුත්, බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් සතුටු වන විදිහ පුද්ගල බද්ධ දෙයක් නිසා සංවර්ධික රටක බිත්තර ඉල්ලුමේ සහ අඩු ආදායම් මට්ටමක සිටින රටක පාරිභෝගිකයින්ගේ බිත්තර ඉල්ලුමේ පැහැදිලි වෙනසක් තිබෙනවා.

ලංකාව, ඉන්දියාව වගේ රටක පාරිභෝගිකයින් විසින් ගෙවන්නේ බිත්තරය ආහාරයට ගැනීමෙන් ලැබෙන සතුටේ මිල පමණයි. නමුත්, බටහිර රටක පාරිභෝගිකයෙකු විසින් බිත්තර දමන කිකිළියගේ සතුට වෙනුවෙන්ද මිලක් ගෙවනවා. කිකිළියගේ සතුට කියා කිවුවත්, ඒකත් පාරිභෝගිකයා ළඟම මිස කිකිළිය ළඟ තිබෙන දෙයක් නෙමෙයි. ඊට අමතරව, බටහිර රටවල විකිණෙන පාරිභෝගික භාණ්ඩ එක්ක සමාජ සාධාරණත්වය, පරිසරය ගැන තියෙන කැක්කුම වගේ තව තව දේවල් විකිණෙනවා. ඒ දේවල් වෙනුවෙන් ගෙවන්න පුළුවන් තරමේ අතිරික්ත ධනයක් එම රටවල පාරිභෝගිකයින්ට තිබෙනවා. නමුත්, එදාවේල කන්න බිත්තරයක් ගන්න පාරිභෝගිකයෙක්ට පුළුවන් තරම් අඩුවට බිත්තරේ ගන්නවා මිසක් ඔය වගේ අමතර දේවල් වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් අහිමි වන සතුට වැඩියි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan