පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ චර්යාව වෙනත් දේශපාලනික අපේක්ෂා පෙරදැරිව කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කළ හෝ ඉවසා සිටි, කුමන්ත්‍රණකාරී දේශපාලන සැලසුමක බරපතලකම අප විසින් නොතකා හැරීමකි.
මේ කාරණා දෙක තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ: පාස්කු ත්‍රස්තවාදීන් පුද්ගලයන් වශයෙන් ගත් විට, ඉස්ලාම් ආගමික අන්තවාදයක් විසින් පෝෂණය කරන ලද පිරිසක් බව පැහැදිලියි. ඒ ආගමික අන්තවාදය තුළ, පොදුවේ තමන්ගේ ආගම වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටීමට අමතරව, පුද්ගලයන් වශයෙන් වෙන් වෙන්ව තමන්ටත් ආත්මීය ප්‍රතිලාභ අත්කරදෙතැයි ඒ ත්‍රස්තවාදියෝ උදක්ම විශ්වාස කරති. ඒ අනුව, තමන්ගේ අකල් මරණය, තම ආගමික ප්‍රජාවට මේ භවයේදීත්, තමාට ඊළඟ භවයේදීත් එක සේ ප්‍රතිලාභ අත්කර දෙතැයි ඔවුන් සිතුවාට සැක නැත.
එහෙත් මෙය, හිස් අවකාශයක සිදුවන දෙයක් නොවේ. දැන් කාලයකට පෙර ක්‍රිස්තියානි රටක ඉස්ලාම් ආගමික යාච්ඤා සභාවකට කඩාවැදුණු තරුණ කිතුණුවෙකු විසින් එහි සිටි ඉස්ලාම් බැතිමතුන් රාශියක් ඝාතනය කරන ලදි. මේ පිළිබඳ පොලිස් පරීක්ෂණවලින් හෙලිදරව් වුණේ, එකී ත්‍රස්තවාදියා යම් ත්‍රස්තවාදී ජාලයක කොටස්කරුවෙකු නොව, හුදෙක් ඉස්ලාම් භක්තිකයන් කෙරෙහි කලක් තිස්සේ පෝෂණය කරන ලද වෛරයක් ඔස්සේ තනිවම එම ක්‍රියාවේ යෙදී ඇති බවයි. එසේ වෙතත්, ඔහු තමා වෙසෙන සමාජයේ ප්‍රති-දෘෂ්ටිවාදයක් විසින් පෝෂණය කරන ලද ඉත්තෙකු බව අපට බැහැර කළ නොහැක. එහෙත් ඔහුගේ එම ත්‍රස්තවාදී ක්‍රියාව, වඩාත් පුළුල් සංවිධානමය ජාලයක කොටසක් නොවීය.
අප කතා කරන්නේ එවැනි හුදෙකලා සිදුවීමක් ගැන නොවේ. ඇත්ත වශයෙන්ම, අද ලෝකයේ තැනින් තැන කෙරෙන ආගමික අන්තවාදී ක්‍රියා වැටෙන්නේ, ඊට වඩා සංකීර්ණ සහ සංවිධානාත්මක ජාලයන්ට ය. ඒ සංවිධාන ජාල, ආගමික වීමට අමතරව, දේශපාලනිකද වන්නේය. එසේ වන විට, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හුදෙක් ආගමික සාධකවලට පමණක් සීමා කිරීම, නැවතත් එවැනි ක්‍රියා සිදුවීම වැළැක්වීම අරභයා අපට ගත හැකි පියවර අපෙන් වසං කරයි. ඒ අනුව, ‘ඌ ආගමික පිස්සෙක්’ කියා අත හෝදාගැනීමට කෙනෙකු පෙළඹිය හැකිය.
ලංකාවේ පාස්කු ත්‍රස්තවාදියා ආගමිකයි. ඒ හා සමානවම, දේශපාලනිකයි. ඒ දෙකම, කාලයක් තිස්සේ අපේ දේශපාලනඥයන් විසින් පෝෂණය කරන ලදි. උදාහරණයක් වශයෙන්, ගලගොඩඅත්තේ ඥානසාර ගන්න: ඔහු, මොන අර්ථයකින්වත්, බෞද්ධ භික්ෂුවක් වශයෙන් හැඳින්විය හැකි පුද්ගලයෙකු නොවේ. ඔහු, කලින් කලට බලය හොබවන කඳවුරේ ආරක්ෂාව සහ ආශීර්වාදය ලබන, චීවරධාරී දේශපාලනික ඉත්තෙකි. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ඔහු ගෙන ගිය ව්‍යාපාරය කවුරුත් දනිති. තවත් උදාහරණයක් ගත්තොත්, එක්තරා ටියුෂන් ගුරුවරයෙක් fදාස්තර සාෆිගේ වඳ සැත්කම් ගැන තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවටත්, පොදුවේ සමාජයටත් ‘විද්‍යාත්මකව’ කරුණු පැහැදිලි කළ හැටි අපේ මතකයේ තිබේ. කාන්තාවන්ගේ පැලෝපීය නාලය ගැන මොහු කළ දේශන සමාජ මාධ්‍ය පුරා ඒ දවස්වල දෝංකාර දුනි. දැන් ගිය සතියේ හේමන්ත නිද්‍රාවකින් ඇහැරී මොහු කියන පරිදි, ඔහු එදා එක්තරා ‘ඩ්‍රාමා’ එකකට හසු වූ වින්දිතයෙක්ලු! එය ප්‍රෝඩාවක් බව තමන්ට වැටහෙන්නේ දැන්ලු! මොහු උගන්වන විෂය, ජීවවිද්‍යාව ය. සරල විද්‍යාත්මක සංසිද්ධියක් පවා වටහාගත නොහැකිව මෙච්චර කාලයක් තිස්සේ රැවටීමට ලක්වීමට තරම් අඳබාලයෙකු වන එවන් පුද්ගලයෙකු තවදුරටත් මොනම ‘විද්‍යා’ විෂයයක්වත් ඉගැන්වීමට තරම් ‘ගුරුවරයෙකු’ විය හැකිද?
මෙරට වෙසෙන සාමකාමී මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මෙවැනි පුද්ගලයන් ගෙන ගිය නිහීන ක්‍රියා පසුපස එක දිගටම පැවතියේ ජාතිවාදී සහ ප්‍රයෝගකාරී දේශපාලනයකි. සහරාන් වෙනත් දේශපාලනික හස්තයක් විසින් මෙහෙයවනු ලැබුවේ යම් සේද, මේ පුද්ගලයන්ද එදත් අදත් එවැනි දේශපාලනික හස්තයන් විසින් මෙහෙයවනු ලබන බව අප තේරුම්ගත යුතුය. ‘ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ’ ආගමික දෘෂ්ටිවාදී මූලයන්හි උපත, ඥානසාර ඇතුළු මෙවැනි අන්තවාදී සිංහල-බෞද්ධ දේශපාලනික බල ව්‍යුහයන් යැයි කීමට කෙනෙකු ඉක්මන් විය යුතු නැතත්, ඒ මගින් අර කී ඉස්ලාම් ආගමික අන්තවාදය පෝෂණය කිරීමටත්, ඒ ආගමික අන්තවාදය වෙනත් දේශපාලනික සැලැස්මක් වෙත බද්ධ කරගැනීමටත් හේතුකාරක වුණු බව බැහැර කළ නොහේ.
පන්සල වෙනුවට පල්ලිය
පාස්කු ත්‍රස්තවාදීන් තමන්ගේ ඉලක්කය වශයෙන්, බෞද්ධ ආගමික ස්ථාන සහ බෞද්ධ ආගමික දිනයක් තෝරා නොගෙන, කිතුණු දේවස්ථාන සහ කිතුණු ආගමික දිනයකුත්, සංචාරකයන් ගැවසෙන ජාත්‍යන්තර හෝටල් කිහිපයකුත් තෝරාගත්තේ මන්ද යන ප්‍රශ්නය වෙත අප යොමු වෙතොත්, ඒ පසුපස ඇත්තේද, ආගමික කාරණයකට වඩා සූක්ෂම සහ සංකීර්ණ දේශපාලනික සාධක බව අපට වැටහෙනු ඇත. ඒ විශේෂිත තෝරාගැනීම තුළ ඇති උපායමාර්ගික වැදගත්කම ගැන පූර්ණ විග්‍රහයක් කිරීමට මෙහි ඉඩ නැතත්, දළ වශයෙන්, සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු උතුරේදී ඝාතනයට ලක්වීම දකුණේ 83 කළු ජුලියට හේතුපාදක වූ අතීතයත්, දෙමළ ජාතික සන්නද්ධ ප්‍රවාහයක් විසින් මහජාතියට එරෙහිව ගෙන ගිය දීර්ඝ සහ දැවැන්ත වැඩපිළිවෙලක පරාජයක් පිළිබඳ කටුක අත්දැකීම් පිළිබඳ නැවුම් මතකයත්, පාස්කු ත්‍රස්තවාදීන්ගේ සැලකිල්ලට ගැනුණාට සැකයක් නැත. අනිත් පැත්තෙන්, තමන්ගේ දේශපාලනය සඳහා මෙකී ත්‍රස්තවාදීන්ව පාවිච්චියට ගත් සිංහල-බෞද්ධ දේශපාලනික කඳවුරත්, එක ගලකින් කුරුල්ලන් දෙන්නෙකු දඩයම් කරගැනීමට සිතුවාට සැකයක් නැත. ඒ අරමුණට අනුව, මේ දේශපාලනික සැලැස්මේ වන්දිය ගෙවිය යුතු වින්දිතයන් විය යුත්තේ, බෞද්ධ නොවන ප්‍රජාවකි. පන්සල වෙනුවට ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය බවට කිතුණු පල්ලිය ලක්වන්නේ ඒ නිසා ය.
සහරාන් ඇතුළු පිරිසට දීර්ඝ කාලයක් තිස්සේ වැටුප් ගෙවමින් සහ රාජ්‍ය ආරක්ෂාව ලබා දෙමින් ගෙන ගිය ක්‍රියාකලාපය විමර්ශන වාර්තාවල අන්තර්ගතයි. එහි මුල් අදියරේදී, දෙමළ සන්නද්ධ අභියෝගයට මුහුණදීම සඳහා එම පළාත්වල කටයුතු කළ මෙකී මුස්ලිම් කණ්ඩායම්වලින් බුද්ධි වාර්තා ලබාගැනීම අරමුණු කරගෙන, උපායමාර්ගික වශයෙන්, ඔවුන්ව පාවිච්චියට ගැනුණා විය හැකිය. එහෙත්, යුද්ධය අවසන් වීමෙන් පසුව පවා ඔවුන්ව ආරක්ෂා කෙරුණේ සහ නඩත්තු කෙරුණේ, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී වෙනත් ඕනෑම කාර්යයක් වෙනුවෙන් අනාගතයේදීත් ඔවුන්ව පාවිච්චියට ගැනීම සඳහා මිස වෙන අන් කවරක් සඳහාද?
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට මේ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබුණු බවට සාක්ෂි නැත. එහෙත්, රටේ ජනාධිපතිවරයා වශයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට සහ වගවීමට ඔහු බැඳී සිටී. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට පැවරෙන මේ වගකීම සහ වගවීම යන සාධක දෙක පදනම් වන්නේ සාමූහිකත්ව ධූරාවලියක් මත ය. උදාහරණයක් වශයෙන්, ඔහුට සහරාන් ගැන පෞද්ගලිකව සොයා බැලීමට පුළුවන්කමක් නැති බව ඇත්ත. එහෙත් ඒවා ගැන සොයා බලා ඔහුට වාර්තා කිරීම සඳහා වෙනම යාන්ත්‍රණයක් තිබේ. මේ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීම, රාජ්‍ය ආරක්ෂාව භාර පුද්ගලයා වශයෙන් ඔහුගේ වගකීමකි. විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ වගකීම, තමා රටේ නැති අවස්ථාවක පවා නියෝජ්‍ය ඇමතිවරයෙකුට නොපවරපු පුද්ගලයෙකු, ඒ වගකීමෙන් නිදහස් නොවේ. කරුණු එසේ තිබියදී, ඒ ගැන ඔහු සොයා නොබැලුවා පමණක් නොව, එවැනි යාන්ත්‍රණයක පැවැත්ම හිතාමතා කඩාකප්පල් කිරීමටත් ඔහු දායක වී තිබීම ඔහු වෙත වගකීම සහ වගවීම පැවරෙන මූලික පදනම වන්නේය.
පාස්කු ප්‍රහාරයට පූර්වාසන්න කාලයේදී, මේ කරුණු ගැන සාකච්ඡා විය යුතු සහ ඒ අරභයා තීරණ ගත යුතු ප්‍රධාන ආයතනික යාන්ත්‍රණය වන, ‘ජාතික ආරක්ෂක මණ්ඩලය’ නිසි පරිදි ඔහු කැඳවා නොතිබුණි. එය කැඳවූ අවස්ථාවල පවා, එහි පූර්ණ සාමාජිකයන් විය යුතු පුද්ගලයන් අතරින් ප්‍රධානියෙකු වන අගමැතිවරයාව පවා ඊට සහභාගී කරවාගෙන නැත. තවත් අවස්ථාවල පොලිස්පතිවරයාවත් කැඳවා නැත. මගේ මතකයේ හැටියට, මේ කියන ‘ජාතික ආරක්ෂක මණ්ඩල’ රැස්වීම්වලට ඒ කාලයේ සිරිසේන කැන්දාගෙන ගියේ තමාට හිතවත් දේශපාලනික හෙංචයියන් කිහිප දෙනෙකි.
ආයතනික පද්ධතිය බිඳවැටීම
ආයතනික රාමුව වෙනුවට ඔහු මුල් තැන දුන්නේ පුද්ගල සම්බන්ධතාවන්ටයි. බුද්ධි තොරතුරු සහ රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු පිළිබඳ එකම මූලාශ්‍රය වශයෙන් ඔහු සැලකුවේ වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන ය. මේ කාලයේ ජනාධිපතිවරයා හමුවීම සඳහා පැය භාගයක් හමාරක් fදාර ළඟ බලාගෙන සිටීමට තමාට සිදුව ඇති බව, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ ලියුම්කරු සමග කියා තිබේ. නිලන්ත ජයවර්ධන නමැති පොලිස් ප්‍රධානියා ඒ විෂය අරභයා මොන තරම් අකාර්යක්ෂම කෙනෙකු වීද යත්, පාස්කු ප්‍රහාරයට සති දෙකකට කලින් ලැබුණු වැදගත් සහ තීරණාත්මක බුද්ධි තොරතුරු පවා ඔහු නොසලකා හැරියේය. ඇත්ත වශයෙන්ම ඒ වන විට ඔහුට ලැබී තිබුණු බුද්ධි තොරතුරු නිසි යාන්ත්‍රණය තුළ සාකච්ඡාවට ගත්තේ නම් සහ ඒ අරභයා වන අවම පියවර හෝ ගත්තේ නම්, මේ විනාශය වළක්වාගත හැකිව තිබුණි. ඒ නිසා, හිටපු ජනාධිපතිවරයාට මිලියන 100 ක වන්දියක් නියම කරද්දී, ඊළඟට වැඩිම වන්දිය වන මිලියන 75 ක් ගෙවීමට මේ පුද්ගලයාට අධිකරණය විසින් නියම කරනු ලැබීම අත්‍යන්තයෙන්ම සහේතුක බව පෙනී යයි.
මේ හා සමාන තවත් සාධක බොහොමයක් සැලකිල්ලට ගත් විට, මෛත්‍රිපාල සිරිසේනගේ සමාවට කාරණයක් විය හැකිව තිබුණු, සාමූහිකත්ව යාන්ත්‍රණයේ දෝෂයක් දෙසට ඇඟිල්ල දිගු කොට නිදහස් වීමේ කිසි අවකාශයක් ඔහු ඉතිරි කරගෙන නැති බව පෙනේ. එසේ තිබියදී, ඒ වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 10 ක වන්දිය පවා ඔහු දැන් මේ රටේ සාමාන්‍ය ජනයා වෙත පැටවීමට බලයි. ඒ, ජනයා ගැවසෙන මහපාරේ හිඟාකෑමෙනි. හිඟමන් නාඩගම රඟපාන්නේ තවත් කවටයෙකි. මොහු කොළඹ කොටුවේ දවසක් තිස්සේ කැට හොල්ලා රුපියල් 1810 ක් එකතු කරගත් බව වාර්තා විය. සිරිසේනගේ අපරාධයේ හවුල්කරුවන් වීමට සාමාන්‍ය ජනතාව දක්වන අපුල, ඒ සොච්චමෙන් පෙන්නුම් කරයි. අද පුවත්පත් වාර්තා කරන පරිදි, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ක්‍රියාවලිය අවසන් වූ සැණින් තමන්ගේ හිතවතුන්ගෙන් ඒ මුදල සොයාගැනීමට තමා යොමු වන බව සිරිසේන මන්ත්‍රීවරයා පවසා තිබේ. එය නම් ඔහුට ලොකු ප්‍රශ්නයක් වන එකක් නැත. ඔහු විසින් එල්ලුම්ගහෙන් නිදහස් කළ ධනවත් පුද්ගලයෙක් සිටී. සමහරවිට මේ මුළු මුදලම වුවත් ඔහුගේ පවුලෙන් ඉල්ලා ගැනීමට ඔහුට බැරි වන එකක් නැත!
මෙයින් පෙන්නුම් කරන්නේ, මහා ඛේදවාචකයක්, දේශපාලනඥයෙකු අතේ සංදර්ශනයක තත්වයට ඇදවැටී ඇති ආකාරයයි. හිඟමනට පත්වීම පිළිබඳ ඔහුගේ රචනය, එක අතකින්, අපෙන් සහකම්පනය ඉල්ලා සිටී. අනිත් පැත්තෙන්, සාමාන්‍ය දේශපාලනඥයන්ගෙන් වෙනස්ව, තමා දූෂිත චර්යාවන්ගෙන් යමක් හරිහම්බ කර නොගත් විරල පුද්ගලයෙකු බවක් අපට අඟවයි. ජනාධිපති තනතුරේ සිටියදී පාවිච්චි කළ නිල නිවසට, ඒ අසල තිබූ තවත් නිවසක් ඈඳාගෙන, ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගත් පසුව ඒ සියලු දේපළට අයිතිය පෑමට ඔහු ගත් තැත ව්‍යර්ථ කෙරුණේද මෙවැනිම නඩු තීන්දුවකින් බව මෙහිදී අපේ සිහියට නැඟෙයි.
ජනතාවගෙන් රුපියලක් ඉල්ලීමට කලින්, ගෞරවනීය රාජ්‍ය නායකයෙකු වශයෙන් මුලින්ම ඔහු කළ යුතුව තිබූ එක් දේවකාරියක් විය. එනම්, තමාගෙන් සිදු වූ සාපරාධී අතපසුවීම ගැන ජාතියෙන් සමාව ඉල්ලා සිටීමයි. එහෙත් අපේ වෙනත් බොහෝ දේශපාලනඥයන් වාගේම මොහුද කරන්නේ, සාපරාධී අතපසුව ප්‍රතික්ෂේප කරමින්, අත සෝදාගැනීමට බැලීමයි. මෙය, අහිමි වූ ජීවිත 269 ක් පිළිබඳ කතාවකි. ඊට අමතරව, තුවාල ලැබූ තවත් 500 කට අධික අසරණයෝ පිරිසක් තවමත් හූල්ලති. එවැනි ඛේදවාචකයක් නාඩගමක් බවට පත්කරගැනීමට බැලීම, සමාව දිය නොහැකි තවත් අපරාධයකි.
ගාමිණී වියන්ගොඩ