ලංකා විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් …

Date:

ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලි සැපයීම ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ගොනු කළ පෙත්සම අද (03) සලකා බලන තෙක් විදුලිය කප්පාදු නොකිර සිටින බවය.

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා විසින් මෙම පොරොන්දුව ලබා දෙනු ලැබූයේ, විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකිරීමට ඇති කරගත් එකඟතාවය කඩ කිරීම මඟින් මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය .

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිලිකාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අ.පො.ස .උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා තෙක් කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට වගඋත්තරකරුවන් විසින් කොමිසම හමුවේ පොරොන්දුවක් ලබා දුන් බවය.

මේ දිනවල ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් පවතින අතර බාධාවකින් තොරව විදුලිය සැපයීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මානව හිමිකම් කොමිසම හමුවේ ලබා දුන් එම ප්‍රතිඥාව කඩ කරමින් වගඋත්තරකරුවන් විදුලිය කප්පාදු කිරීමට කටයුතු කරන බව කීය.

එමඟින් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන අතර වගඋත්තරකරුවන් මානව හිමිකම් කොමිසමට අපහාසයක් සිදු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී පෙන්වා දුන්නේ මෙය සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳව වැදගත් කරුණක් බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගැනීම අවශ්‍ය බවය.

එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරට විදුලි අවශ්‍යතාවයෙන් සියයට විසි හතරකට ආසන්න ප්‍රමාණයක් පමණක් ජල විදුලියෙන් සපයන බවය.

ඉන්ධන සහ ගල් අඟුරු උපයෝගී කර ගෙන ඉතිරි විදුලි ප්‍රමාණය උත්පාදනය කරන අතර, මීට පෙර දිනයකට පැය හතකට ආසන්න කාලයක් සිදු කළ කප්පාදුව මේ වන විට දිනකට පැය දෙකයි විනාඩි විස්සක් දක්වා අඩු කර ඇති බවයි.ඉදිරියේ දී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාල සීමාවේද අඛණ්ඩව විදුලිය ලබා දීමට අවධානය යොමු කිරීමට සිදු වන බව කී ඒ මහතා පවතින ආර්ථික අර්බුදය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇතැයිද සඳහන් කළේය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සිය සේවාදායකයාගෙන් වැඩි දුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව ඒ මහතා කීය.

මෙහිදී මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයාවෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා සඳහන් කළේ මානව හිමිකම් කොමිසම හමුවේ ඇතිකරගත් එකඟතාවයෙන් පසුව විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබා නොදුන් බවත් විදුලි කප්පාදුවක් කිරීමට එම කොමිසමේ අවසරය ලබාගත යුතු බවත්ය.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාද සඳහන් කළේ තම සේවාදායකයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම උපදෙස් ලබා ගැනීමට අවසර දුන් අතර, පෙත්සම අද (03) සලකා බැලීමට නියම කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...