සිනමා අධ්‍යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු, නිෂ්පාදකරයෙකු ,රූපවාහිණී කතාමාලා අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු කෙටිකතා කරුවෙකු, නවකතා පරිවර්ථකයෙකු ,විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු හා පර්යේෂකවරයෙකු වූ වම් ඉවුරේ සිනමා අරගලකරුවා වූ ධර්මසේන පතිරාජයන්ගේ සිවි වන ගුණානුස්මරණය අද (28)ට යෙදී තිබේ. මේ කෙටි සටහන ඔහු පිළිබඳවයි.
සිය සමාජ, දේශපාලන කියවීමේ ප්‍රකාශන මාධ්‍ය ලෙස සිනමාව හා කලාව තෝරාගනු ලැබූ ධර්මසේන පතිරාජ 1943 මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමකර පේරාදෙණි විශ්ව විද්‍යාලයට සරසවි වරම් ලැබීය. එහිදී සිංහල හා බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. ‘සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ නමින් සිය ශාස්ත්‍රීය නිබන්ධය ඉදිරිපත් කළ පතිරාජ ඔස්ට්‍රේලියාවේ මොනෑශ් සරසවියේ ආචාර්ය උපාධිය වශයෙන් උපාධි නිබන්ධනයට නිමිත්ත කරගනු ලැබුවේ ‘බෙංගාලි’ සිනමාවයි. ඒ අනුව පතිරාජ සිය අධ්‍යාපන, ශාස්ත්‍රීය සීමාව තුළ ප්‍රාමාණීක විද්වතෙකු විය.
පතිරාජ සිනමාවට ප්‍රවිශ්ට වන්නේ(1969) ‘සතුරෝ’ නම් කෙටි චිත්‍රපටයෙනි. හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටියදීම ‘හන්තානේ කතාවෙහි’ සම තිර රචනයෙන් සම්බන්ධ විය. ඉන් අනතුරුව(1974) ‘අහස් ගව්ව ,(1975)එයා දැන් ලොකු ළමයෙක් ,(1978)බඹරු ඇවිත්,(1978) පොන්මනී, (1980)පාරදිගේ,(1981) සොල්දාදු උන්නැහේ, (1994)වාසුලි (2001) මතුයම් දවසක, (2016)සක්කාරං හා (2017)ස්වරූප ඔහුගේ සිනමා ගමන් මගෙහි සුවිශේෂ නිර්මාණ වේ. එතෙක් ඉන්දීය මොඩලය සහිතව ආකෘතිය හා සන්ධර්භය හා භාවිතාව සෞන්දර්යාත්මක විධි වලින් හා අලංකාර සම්ප්‍රධායන්ගෙන් වියුක්ත කරවා ලංකාවට අනන්‍ය දේශජ භාෂාවක් හාදේශජ හැඩ ගුණ වලින් ආභ්‍යාන රීතියකින් යුක්තව ස්වතන්ත්‍ර ප්‍රකාශන මාධ්‍යක් බවට සිනමාව පත් කිරීමට පතිරාජ උත්සහ දැරීය. මේ වෙනුවෙන් අන්‍ය කලාවන්ගේ භාවිතාව මෙන්ම මූලධර්මයන්ද සිය නිර්මාණයට වද්දා ගැනීමට පතිරාජ සමත් විය.
ට්‍රොස්කිවාදියකු වූ ධර්මසේන පතිරාජ දූපත් මානසිකත්වයෙන් වියුක්තව ලෝකය පිළිබඳව මනා සංජානනයකින් පසු වූ පුද්ගලයෙක් විය. ලෝකයේ ප්‍රගතශීලී හා ප්‍රතිගාමී කරුණු පිළිබඳව, ඊට පාදක වූ හේතු, සාධක, තත්ව, බලවේග පිළිබඳව සිය පර්යේශන, ගවේශණ හා නිරීක්ෂණ හරහා ලබා ගත් දෑ ලාංකීය සිනමාවට සාහිත්‍යට ගෙන ඒමට අනවරතන උත්සහයක් දැරීය. එහි ප්‍රතිඵලය වූයේ අහස් ගව්ව මතු යම් දවසක, බඹරු ඇවිත් ආදී සංස්කෘතික දේහයට බලපෑමක් කළ හැකි නිර්මාණ, මානව කෘතීන් බිහි වීමයි. ඒවා පසු කාලීනව සිනමාවට ප්‍රවිශ්ට වූ ධර්මසිරි බණ්ඩාරනායක මෙන්ම වසන්ත ඔබේසේකර ආදී නිර්මාණකරුවන්ට පරමාදර්ශ සැපයීය.
1974 වසරේදී නිර්මාණය කරන ලද ‘අහස් ගව්ව’ චිත්‍රපටය ලාංකීය සිනමාවේ නව මුද්‍රවක් තැබීය. එය එතෙක් පැවැති ඉන්දීය මොඩලයෙන් වියුක්තව යථාර්ථවාදී රූපකරණයකින් නව දේශපාලනික ප්‍රවාහයකට අවශ්‍ය පසුබිම තැනීය. එතෙක් සිනමාව තුළ ගොඩනැගී පැවැත් ප්‍රභූවාදී සෞන්දර්ය තමාගේ පංතියට ගෙන එමින් ග්‍රාමීය හා නාගරික පාංතික තරුණ විරැකියා අසහනය, පීඩනය හරහා ග්‍රාමීය හා නාගරික සංස්කෘතිය රූපරාමුවකට කේන්ද්‍ර කර එය ප්‍රේක්ෂකයාගේ හුස්මට සමපාත වන අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය. උපාධිධාරී තරුණයින් පිරිසක් සෑම දිනම ගැසට් පත්‍රය බැලීමත් අවසානයේ ඔවුන් නගරසභාවේ කුණු ටැක්ටරය එලවීමත් මෙහි ප්‍රදර්ශනය වේ. චිත්‍රපටය අවසන් වන්නේ පෙළපාලියක දර්ශනයකිනි. මේ අනුව එම අවධියේ පැවැති සමාජයේ හරස්කඩක් අහස්ගව්ව සිනමා නිර්මාණය මඟින් පිළිබිඹු වූවැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ‘අහස්ගව්ව’ නිර්මාණය කරන අවධියේ සිටි පරම්පරාව ඊට පෙර පරම්පරාවට වඩා බරපතල ගැටලු රැසකට මැදිව සිටි පිරිසක් විය. ඔවුන් බහුතරය නිදහස් අධ්‍යාපනයේ විපුල ඵල නෙලූ පරම්පරාවකි. එයින් කොටසක් ස්වභාෂාවෙන් පමණක් අධ්‍යාපනය ලද්දාහුය. ඒ පරම්පරාව අහස් ගව්ව බිහි වන්නට පෙරාතුව කැරැල්ලකට ද දායකව අමිහිරි අත්දැකීම් ලැබ සිටියහ. මෙම ගැටුම පීඩනය අහස් ගව්ව සිනමා නිර්මාණයෙන් මනාව ඉදිරිපත් කිරීමට පතිරාජ සමත් විය. ඒ වෙනුවෙන් ජූරියේ සම්මාන නවයක් අහස් ගව්ව වෙනුවෙන් ලැබිණි.
1978 වසරේ සිංහල සිනමාවට බඹරුන්ගේ ආගමනයත් සමඟ වම් ඉවුරේ පතිරාජ මුද්‍රව තහවුරු විය. නව චිත්‍රපට ලක්ෂණ වලින් ඔදවැඩී ගිය ලාංකීය සිනමාවේ දිශානතිය නව මාවතකට නාභිගත කළ නිර්මාණයක් වශයෙන් ‘බඹරු ඇවිත්’ සිනවා නිර්මාණය හැදින්වි හැකිය. මනුෂ්‍ය ජීවිතයේ යථාව සංවේදනා පූර්වකව සූක්ෂමව නිරූපණය කරමින් අරඹන කතා තේමාව ධීවර ජනතාවගේ පීඩනය, ඔවුන් සූරා කැවෙන අන්දම, ඔවුන්ගේ ජීවන යථාර්ථය, භාෂාව සංස්කෘතිය මෙන්ම ධීවර ගම්මානයේ සුපුරුදු ජන ජීවිතය දෙදරවා නාගරික ව්‍යාපාරික තරුණ බලවේගවල හැසිරීමේ ස්වභාවය පිළබඳව රූප රාමු මඟින් සමීප කරන්නට පතිරාජ සමත්වේ. සිනමාකරුවන් එතෙක් නොදුටූ නොඇසූ තැනි වලට ප්‍රේක්ෂකයා ගෙන යමින් රූපයේ දෘෂ්‍යමානය අතික්‍රමණය කරමින් නව සමාජ කතිකාවතක් සිය නිර්මාණය හරහා ඇතිකිරීමට පතිරාජ සමත් වෙයි. අහස් ගව්ව නිර්මාණය සාපේක්ෂව සිනමා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් තමා සතු ශිල්පීය කුසලතාවය පියවරෙන් පියවර දියුණු කරගත් බව බඹරු ඇවිත් මඟින් පෙන්නුම් කරයි. රූප නිර්මාණය, ඡායාරූපකරණය, සංස්කරණය, සංගීතය ආදී අංග චිත්‍රපටියක් නිර්මාණය කිරීමේ ලා මැනවින් ගොනු කරගන්නට තමන් සතු කුසලතාවය ධර්මසේන පතිරාජ බඹරු ඇවිත් තුළින් ද ඉහළ මට්ටමකට ගෙන එයි. ඒ වෙනුවෙන් ජූරියේ හොඳම අධීක්ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානය ලබා ගැනීමට පතිරාජ සමත් විය.
හැට හැත්තෑව දශකය වන විට ලංකාව තුළ කලාව සඳහා විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගී තිබුණමුත් එම් බී ආරියපාල, ඩී ඊ හෙට්ටියාරච්චි ,ඈශ්ලි හල්පේ, මර්ලින් පීරිස්, එදිරිවීර සරච්චන්ද්‍ර ආදී විශ්ව විද්‍යාල ආචාරවරුන්ද එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ඩොරින් සූසා ආදී දේශපාලන න්‍යායාචාරවරුන්ද සුගතපාලද සිල්වා, සිරිල් බී පෙරේරා ආදී නාට්‍ය කරුවන් සමඟ ද බුද්ධිමය සංවාද පතිරාජ විසින් ගොඩනගා ගනු ලැබීය. ඔහු කිසිදු දේශපාලන ප්‍රවාහයකට කොටු නොවී මැද මඟක යමින් සිය චින්තනමය වපසරිය පුළුල් කර ගැනීමට සමත් විය. එය ඔහුගේ සිනමා භාවිතාව වෙනුවෙන් පතිරාජ නිරන්තරව යොදා ගැනීමට සමත් විය.ධර්මසේන පතිරාජයන්ගේ සහෝදරයා පවසන පරිදි කලාව මිනිසුන් සඳහාය. නිර්මාණකරුවන් ඒ වෙනුවෙනු පෙර ගමන් යා යුතුය. ‘අපෙ එකා හිටියේ වංගුවෙනුත් එහා’ . සිනමාව පිළිබඳව පතිරාජ තරම් අධ්‍යනයේ යෙදුන නිර්මාණකරුවෙකු නොමැති තරම්ය.
මහාචාර්ය සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න හා යාපන සරසවියෙහි සේවය කරන අවධියේ එම සමාජයේ ආගම, කුලය, ලිංගික සූරාකෑම ආදියෙන් බැට කමින් එම මිනිසුන් ජීවත් වීමට දරණ අරගලය අළලා ද්‍රවිඩ සමාජය කියැවීමේ බුද්ධිමය ආභාෂයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ‘පොන්මනී ‘ නම් ද්‍රවිඩ සිනමා නිර්මාණය කිරීමට පතිරාජ සමත් විය. මෙය සිංහල නිර්මාණකරුවන් විසින් දුවිඩ සමාජය වෙනුවෙන් කරන ලද ප්‍රථම ව්‍යායාමයයි. මෙම සිනමා කෘතිය හරහා පතිරාජ වෘත්තාන්ත සිනමාවේ කරන ලද අරගලයම වාර්තා සිනමාව තුළද ජවවේග සම්පන්නව රාමුගත කිරීමට සමත් විය. ඔහු ද්‍රවිඩ සමාජයේ මිනිසුන්ගේ ජීවිතයේ මුල් සොයා යමින් ඒ පිළිබඳව උපේක්ෂා සහගතව බැලීමට ප්‍රේක්ෂකයා හුරු කරයි. ඔහු සිනමාවේ සාම්ප්‍රදායික සම්මත රීතීන්ට අරගල කරමින් විෂය ක්ෂේත්‍රයේ මෙන්ම අර්ථ සම්ප්‍රදායේ නව මං සොය යමින් පිරිපුන් නිර්මාණයක් කිරීමට සමත් විය.
සිනමා අධීක්ෂණයට අමතරව බහුවිධ කලා කුසලතාවකින් යුත් පතිරාජ විටෙක නවකතා පරිවර්ථකයෙකු වශයෙන්ද, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද ,ගීත රචකයෙකු වශයෙන් ද, සම්මානයට පාත්‍රවිය. මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙල් නාට්‍ය වු (1992)’කඩුල්ල’ පතිරාජගේ නිර්මාණයකි. මීට අමතරව (1985)ගඟුලෙන් එතෙරට (1986) මායා මන්දිර (1988) ඇල්ල ළඟ වලව්ව (1989) වන්නිහාමිලාගේ කතාව (1989) සුදු බණ්ඩෙලාගේ කතාව (1989) පුර සක්මන (1993) සුබ අනාගතයක් (1994)නාඳුනන පුත්තු (1996) දුර්ගාන්තය (2009) කමුපිත විල් ඔහු විසින් කර ලද නාට්‍ය නිර්මාණ විය. 2013 වසරේ ජුවාන් රැල්ෆ්ගේ ප්‍රකට කෘතියක් අළලාපතිරාජ විසින පරිවර්ථනය කරන ලද ‘පේද්රෝ පරමෝ’ කෘතිය හොඳම පරිවර්ථනයට හිමි සම්මානය දිනාගනු ලැබීය . අමතරව ධර්මසේන පතිරාජ අද්විතීය ප්‍රතිභා සම්පන්න ගේය පද රචකයෙක් විය. ධර්මසිරි බණ්ඩාරණායකයන්ගේ හංස විලක් ‘ සිනමා නිර්මාණය වෙනුවෙන් ලියවුණ රටක් ආදරය කරන ‘හිමින් සැරේ පියා විදා’ ගීතය පතිරාජගේ අසහාය නිර්මාණයකි.
ජාතිවාදී හා ජාතිකවාදී භාවිතාවන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ආගමික මිත්‍යාවන් තරයේ ප්‍රතික්ෂප කරමින් ස්වයං නිර්මාණ දෘෂ්ටිමය පක්ෂය වඩවා ගනිමින් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට පතිරාජ සමත් විය. ඔහු කලාව දේශපාලනය සඳහාය යන මතයෙන් බැහැරව ධනේශ්වර වෙළඳපල තුළ කලාව විකුණුම් භාණ්ඩයක් නොවිය යුතු බව තරයේ විශ්වාස කරනු ලැබීය. පතිරාජ සෑම විටම සිය කතා තේමාව එහි සන්ධර්භය පිළිබඳ සැළකිලිමත් වූ අතර අර්ථ පූර්ණ නිර්මාණ රසිකයන් වෙත ගෙන ඒමට උත්සහ දැරීය. ඔහුගේ දර්ශනයේ , පරිකල්පනයේ, ප්‍රකාශනය වූයේ සිනමාවයි. කලාවයි. ඔහු එය ලාංකීය සිනමාව හා සාහිත්‍ය තුළ මුද්‍රගත කර අවසන්ය. ඔහු ලංකාවේ සංස්කෘතික සීමාවන්ට දරාගත නොහැකි වූ ඥානයක් චින්තනයක් මෙන්ම විශ්වීය කියැවීමක් සහිත ඥාන මණ්ඩලයකි. එහි ප්‍රභාව අපි අද ද අත් විඳිමින් හිඳින්නෙමු. නමුත් ඔහු හඳුනා ගැනීමට හෝ කියවා නිමකර ගැනීමට අපි අද ද අපොහොසත්ව හිඳින්නෙමු.
නැවතත් එන්න මගේ පිය මිතුරෝ …..
- සශිකලා මධුෂාණී