කැබිනට් සංශෝධනය සහ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ සංවාදය නැවත වතාවක් ඇල්මැරෙන තත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කල්මැරීමේ දේශපාලනය ගැන කතාබහක් නැවතත් කරළියට පැමිණ තිබේ.
රටේ පැවති මහජන අරගලය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පළායාමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජුලි මාසයේදී ජනාධිපති ධුරයට පත්විය. ඒ මොහොතේදී ඒ මහතා සුළු වෙනස්කම් කිහිපයක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් කැබිනට් මණ්ඩලයම යළි පත්කර ගත්තේ ඉදිරියේදී අලුතින්ම කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් මෙය තාවකාලික පියවරක් පමණක් බවත් කියමිනි.
ඉන්පසුව කියවුණේ ඔක්තෝබර් මාසයේදී නව කැබිනෙට්ටුව පත්කෙරෙනු ඇති බවකි. අනතුරුව එය අයවැයෙන් පස්සට කල්දැමිණි. එයිනුත් පසුව ජනවාරි, පෙබරවාරි මාසවලට කල්ගිය එය IMF ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව කෙරෙන බවක් කියවිණි. ඉනුත් පසුව අප්‍රේල් මුල් සතියටත් දැන්වනවිට අප්‍රේල් අවසන් සතියටත් කල්ගොස් ඇති කැබිනට් සංශෝධනය යනු බාලගිරි දෝෂය වැනි එකක් බවට පත්ව තිබේ.
මේ කැබිනට් සංශෝධනය හෝ ජාතික ආණ්ඩුව පිහිටුවීම මේ මොහොතට අදාළව ගත් කල හුදෙක් තවත් කිහිපදෙනෙකුට තනතුරු ලබාදීමක් පමණක්ම නොවේ. මන්දයත් IMF ගිවිසුමේ ඉදිරි තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ස්ථාවර ආණ්ඩුවක් රටට අවශ්‍ය වී ඇති බැවිනි. එම ස්ථාවරත්වය බිහිකර ගැනීම සඳහා අප කැමති වුවත් නැතත් යම් පිරිසකට ඇමති තනතුරු ලබාදෙමින් ආණ්ඩුව ශක්තිමත් කරගත යුතුව ඇති බැවිනි.
විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් දැනටමත් විපක්ෂය පැත්තේ අසුන්ගෙන ඇති අතර තවත් කොටසක් ස්වාධීනව සිටින බව කියති. ආණ්ඩුව තුළම සිටින පොහොට්ටු කණ්ඩායම පවා කොටස් දෙකකට බෙදී සිටින බව රහසක් නොවේ.
තවත් වසර එකහමාරක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව ඇත. ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම මහමැතිවරණයකට යාමට ද සිදුවේ. මෙවන් වටපිටාවකදී සියලුම දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් තම දේශපාලන තීන්දු තීරණ ගන්නේ මෙම ඊළඟ මැතිවරණ දෙක දෙස දෑස යොමාගෙන ය. ඔවුන්ට එතැනදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලකින් හෝ IMF ආර්ථික ප්‍රතිසංස්කරණයකින් වැඩක් නැත. මේ වසර එකහමාරේ කාලයත් දවසින් දවස ගෙවී යද්දී පාර්ලිමේන්තු බලතුලනය පැත්තෙන් සිදුවන්නේ ආණ්ඩුව වඩවඩාත් අස්ථාවර අතට හැරීම මිස ස්ථාවරත්වයක් අත්කරගැනීම නොවන බව සරල දේශපාලන සත්‍යයකි.
ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටුවේ පිරිස සිටින්නේ ද කලකිරීමෙනි. ආණ්ඩුවට එකතුවීමට බලාසිටින විපක්ෂයේ පිරිස සිටින්නේ ද කලකිරීමෙනි. මේ දෙපාර්ශ්වයේ කලකිරීම යම් තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුව තුළ දෙදරා යාමට ඉඩ නැතැයි කීමට නොහැක. එහෙත් ජනාධිපතිවරයා සිටින්නේ පවතින තත්වයම ඔහේ පවතින්නට ඉඩදී බලා සිටින ස්වරූපයකිනි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය ගත් කල එහි ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ මේ කල්මැරීමේ දේශපාලනයයි. එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගටම අර්බුද ඇතිවෙද්දී එජාප නායකයා ලෙස ඔහු කළේ විවිධ කමිටු පත්කරමින් ඔහේ කාලය ගතවෙන්නට ඉඩහැරීමයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පක්ෂය දෙකඩ වීමයි.
ගතවූ මාස කිහිපය දෙස බැලූව ද පළාත් පාලන මැතිවරණය, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව, වෘත්තීයවේදීන්ගේ උද්ඝෝෂණ, ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම වැනි ප්‍රශ්න ගණනාවක් දින නියමයක් නොමැතිව ඔහේ කල් ඇදෙමින් පවතී.
වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රශ්න කල්දැමීමේ දේශපාලනය හමුවේ මේ වනවිට සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතුවීමට සිටි කිසිවකුත් එසේ එකතු නොවන තත්වයක් ද නිර්මාණය වෙමින් තිබේ. මන්දයත් වික්‍රමසිංහ මහතාගේ ස්වරූපය හොඳින්ම දන්නා ඔවුන් මේ වනවිට ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට මැළිවෙමින් සිටින නිසා ය.
ඒ තත්වය තුළ පොහොට්ටුවත් ජනාධිපතිවරයා කෙරෙහි සිය පීඩනය වැඩිකිරීමට උත්සාහ කරන බවක් පෙනී යන්නේ විපක්ෂයෙන් කිසිවකු එකතු නොවන්නේ නම් ජනාධිපතිවරයාට තනිකරම පොහොට්ටුව මත රැඳෙනවා විනා වෙනත් විකල්ප නොමැති වන නිසාය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වැනි IMF කොන්දේසිවලට එරෙහිව ඔවුන් ජනාධිපතිවරයා හමුවේ විරෝධය පළකිරීමටත් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ඇතැම් පනත් පරාජය කිරීමට කටයුතු කිරීමටත් තීරණය කර ඇති බවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ කල්මැරීමේ දේශපාලන ක්‍රීඩාව මීළඟ මොහොතේත් සාර්ථක වේද යන්න ගැටලුවකි.
ජනතාව මේ නිශ්චිත මොහොතේ ජනාධිපතිවරයා කෙරෙහි යම් ප්‍රසාදයකින් සිටින බව සත්‍යයකි. ඒ, අවුරුද්ද ළංවී ලැබුණු තෙල්, ගෑස්, බඩුමිල අඩුකිරීම වැනි සහන නිසා ය. එහෙත් ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ඔවුන් අනෙක් පැත්ත හැරීමට ඇති ඉඩ වැඩිය. එසේ වුවහොත් සියල්ලටම ප්‍රමාද වුණා වැඩිවීමටත් ඉඩ තිබේ …
~ දර්ශන වීරසිංහ