*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ගෝඨාගෙන් බිඳ වැටුණු රාවණා යුගය වෙනුවට රනිල් ගෙන් නව රාම කුමාර යුගයක් ?

විනිවිද: 2019 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට තරුණ ප්‍රජාව තම මිල මුදල්,කාලය,ශ්‍රමය සහ කලාත්මක හැකියාවන් වැය කරමින් දිවයිනේ සෑම නගරයකම, උප නගරයකම තාප්ප පිරෙන්නට සිත්තම් කළ මෙරට අසම සම නරපතියා වශයෙන් සැලකෙන රාවණයන් ගේ රූප වල සායම් දිය වී මැකී යාම මේ වන විට ඇරඹී තිබේ. ඇතැම් රූප පෙඳ පාසි ආදියෙන් වැසී යනු ද දක්නට තිබේ .මෙම පරිහානියේ ආරම්භය ගෝඨාභය රාජපක්ෂ ගේ අවිචාරවත් රාජ්‍ය පාලන සමයේ සිදු වන්නට ඇතැයි මට සිතෙයි.එමෙන්ම ජනතා උද්ඝෝෂණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ 2022 වසරේ ජූලි මස 09 වන දා ජනාධිපති මැදුරේ පෑල දොරින් පලා යාමත් සමඟ ඔහු ගේ ජයග්‍රහණය මුල් කොට මෙරට අසම සම නරපතියා වශයෙන් සැලකෙන රාවණයන් ගේ රුව සිත්තම් කිරීම මොන තරම් අමන මරි මෝඩ වැඩක් දැයි ඒවා සිත්තම් කළ තරුණ පිරිසට සිතෙන්නට ඇත.ඒ අනුව උතුරු නැඟෙනහිර එල්ටීටීඊ යුද්ධයට සමගාමීව ශ්‍රී ලාංකේය ජන මනැසේ ප්‍රවර්ධනය වූ රාවණා පිළිබඳ දැවැන්ත ප්‍රතිරූපය මේ වන විට වේගවත් පසුබෑමකට;බිඳවැටීමකට ලක් ව ඇති බවක් පෙනෙයි.

ලෝක ප්‍රකට රාමායනය නම් භාරතීය වීර කාව්‍යයට අනුව ලෝක ධාතුව තුළ පවත්නා යුක්ති ධර්මය වැනි යහපත් බලවේග නියෝජනය කරනුයේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් බව පැවසෙන රාම කුමරුන් විසිනි.එමෙන්ම ඊට සපුරාම එරෙහි අයුක්තිය, අසාධාරණය නියෝජනය කරනුයේ දෙවියන්ට හෙවත් සුරයන්ට එරෙහි දුෂ්ඨ පක්ෂය නියෝජනය කරන ලංකා පුරයට අධිපති රාවණා නම් මහා බලසම්පන්න නරපතියා විසිනි.කෙසේ හෝ මෙම රාම-රාවණා යුද්ධය හෙවත් යහපත හා අයහපත අතර සිදුවන සටනින් අවසානයේ යහපත නියෝජනය කරන රාමගේ පක්ෂය ජය ගන්නා බව රාමායනය පවසයි.පසුව විසි වන සියවසේ ඇරඹුමේ සිට වඩාත් ප්‍රබල ලෙස අප සමාජයේ කරළියට පැමිණි “හෙළ”මතවාදයට සාපේක්ෂව මෙය “ආර්ය සිංහල” මතවාදය සේ හඳුන්වන ලදී.විසි වන සියවසේ මැද භාගය පමණ වන විට මෙම ආර්ය සිංහල මතය සමාජයේ කෙතරම් ව්‍යාප්ත වී වීද යත් එවක”ආර්ය සිංහල හෝටලය “යන සහිත බොජුන් හල් පවා දක්නට ලැබිණ.පසුව එම ආර්ය සිංහල මතවාදය යටපත් කොට සමාජයේ ඉස්මතු වූ හෙළ මතවාදය පදනම් කොට මේ වන විට”හෙළ බොජුන් හල්” ඇතුළු හෙළ නාමය මුල් කර ගත් වෙද මැදුරු,මසාජ් ක්ලිනික් පවා රට පුරා ව්‍යාප්ත වී තිබේ. රාම රාවණා පුරාවෘත්තයට පසුබිම් වූ රටවල් දෙක අනුව සළකා බැලුව හොත් රාම රාවණ යුද්ධයෙන් රාවණගේ පරාජය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යයට නතු කර ගැනීමකි.ඉහත සඳහන් පුරාණෝක්තිය පසෙක තැබුව ද මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවට නතු බවක් පළ කරන අන්දමේ කටයුතු රාශියක් සිදුවෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ ගේ අවිචාරවත් රාජ්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අතිශය බංකොලොත් මට්ටම පත්වීම මත අප රටට උදව් දෙන රටවල් අතුරින් ඉන්දියාව ප්‍රමුඛ විය.ප්‍රකට ඉන්දීය ආර්ථික විශ්ලේෂකයකු මේ සම්බන්ධයෙන් පවසා සිටියේ තම රෝගී දරුවකුට පිහිට වන කුළුණුබර මවක මෙන් ආර්ථික වශයෙන් අන්තයටම පිරිහුණු ශ්‍රී ලංකාවට පිහිට වීමට ඉන්දියාව ඉදිරිපත් ව ඇති බවකි. එහි අලුත්ම තත්වය අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.මෙහි දී ශ්‍රී ලංකා වාසීන්ට නවීන තාක්ෂණයෙන් යුතු සුහුරු හැදුනුම් පතක් නිකුත් කිරීම, පුනර්ජජනීය සූර්ය බල විදුලි ව්‍යාපෘති හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මඟී ප්‍රවාහන යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට නියමිත බව පසුගිය දා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කීය.ඔහු හා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.එමෙන්ම මේ වන විට ශ්‍රී ලාංකිකයන් දැඩි පීඩාවකට පත් කොට ඇති විදුලි ගාස්තු ඉහළ නැඟීමට පිළියමක් ලෙස උතුරේ දූපත් තුනක පුනර්ජනීය සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත.ඊටත් අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම අතර මුහුදු යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කර ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර මුහුදු යාත්‍රා සේවය ආරම්භ කිරීම තව නොබෝ දිනකින් ඇරඹෙනු ඇත.

මේ අතර ඉන්දියාවේ රමේශ්වරමේ සිට මන්නාරම දක්වා ඇති ප්‍රකට ආදම්ගේ පාලම හෙවත් රාම් සේතු පාලම නමින් හැඳින්වෙන ස්වභාවික හුණුගල් වැටිය මතින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමෙන් යා කෙරන අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉන්දියාව විසින් ගොඩනැඟීම ද මේ වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ වන බව ද පැවසෙයි.රාම් සේතු පාලම නම් වන මෙම හුණුගල් වැටිය රාවණා රජු විසින් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව පැහැර ගෙන ආ රාම රජුගේ සීතා දේවිය යළි ඉන්දියාවට ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව වැටලීම පිණිස රාම කුමරුන් සතු වානර හමුදා ප්‍රධානී හනුමාන් විසින් තනවන ලද්දක් බව පුරාවෘත්තයන් හි සඳහන් වෙයි.ආදම්ගේ පාලම, රාමගේ පාලම හෝ රාම සේතු ලෙස ද මෙය හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වයඹ වෙරළට ඔබ්බෙන් පිහිටි මෙය භූ විද්‍යාත්මක සාක්ෂි අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැරණි ගොඩබිම් සම්බන්ධතාවයක නෂ්ටාවශේෂයකි.

ස්වාභාවිකව ඉදි වූ මෙම රාම් සේතු පාලම මතින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමෙන් යා කෙරන අධිවේගී මාර්ගය ගොඩනැඟීමට විරුද්ධ පාර්ශව ගෙන ආ ප්‍රබල මතයක් තිබිණ. එනම් රාමායණයේ සඳහන් හනුමන් ගොඩ නැගූ පාලමේ නටබුන් පවා දැනට දක්නට ඇති බැවින් එය හරහා නව පාලමක් ගොඩ නැගුවහොත් එහි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දෑ විනාශ වන බවයි.දැනටත් එහි දක්නට ලැබෙන ජලයට වඩා බරින් අඩු “පාවෙන ගල්” මහත් ආශ්චර්මත් වස්තූන් සේ අදටත් හින්දු බැතිමත්හු සළකති. නමුත් මේ වන විට ඉන්දියාවේ ජාතික පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය මගින් ඇමරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිව කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ එය කිසිදු අයුරකින් මානව නිර්මාණයක් නොවන බවත් එය දිගු කලක් තිස්සේ සිදුවූ හුණු ගල් සහ රළ පහරවල් විවිධත්වය අනුව ගොඩනැඟුණු ස්වභාවික පිහිටීමක් බවයි. ඒ විද්‍යාත්මක මතය ලෝක් සභාව මගින් නිල වශයෙන් පිළිගැනීමෙන් පසු මෙම සේතු රාම් නව පාලම් මාර්ගය ගොඩනැගීමට තීරණය කර ඇත.මෙම භූ ලක්ෂණය කිලෝමීටර 48 (සැතපුම් 30) දිග වන අතර මන්නාරම් බොක්ක පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් කරයි. සමහර ප්‍රදේශ දූපත් වන අතර, ප්‍රදේශයේ මුහුද කලාතුරකින් මීටර 1 (අඩි 3) ඉක්මවන ගැඹුරකින් යුක්ත ය. එම නිසා නෙරා ගිය පතුල් තලයක් සහිත බෝට්ටුවකට ඒ හරහා ගමන් කිරීම පවා අපහසු වේ.

තත්වය මෙසේ වුවද මෙම රාම රාවණා යුද්ධය අතීතයට පමණක් සීමා නොවූවක් බවත් රාවණා ගේ බලය ඉස්මතු වීම මුල් කොට අදටත් අප රටට රාම කුමරුන් ගේ පහර කෑම් වලට ලක්වීමට සිදුවන බවටත් මහනුවර යුගයේ පමණ සිට පැවතෙන බව සැළකෙන ජන විශ්වාසයක් පිළිබඳ තතු උකහා ගැනීමට ඉකුත් සමයේ මට හැකිවිය.

ඒ 2016 වසරේ මැයි 17 දා බිහිසුණු නාය යාමකට ලක් වූ අරනායක රාමසර කන්ද මුල් කරගත් එකකි. එම ප්‍රදේශයේ පාරම්පරික ජන විශ්වාසයනට අනුව එම කන්දට සාමසර යන නම ලැබී ඇත්තේ රාමසර යන නමෙහි විකෘතියක් ලෙසිනි. “රාම සර” “සාම ශර” යනු රාම කුමරුන් ගේ හීතලය යන අරුත ගෙනෙන වදනකි. ඒ ප්‍රදේශයේ ගැමියන් අතර පැවැති පැරණි විශ්වාසයකට අනුව වරින් වර රාම කුමරුන් ගේ හීතල පහරට නතුවීම මත එම කන්දට ඒ නම ලැබී තිබේ.එම ජන විශ්වාසයට අනුව රාම රාවණා යන බල ශක්තීන් අද ද ක්‍රියාත්මක ය. ලංකා පුරයේ රාවණා තම බලය අනවශ්‍ය ලෙසින් ඉස්මතු කරන සෑම විටෙකම රාම කුමරුන් ඉන්දියාවේ සිට ලංකාවට එල්ල කරන හී පහර එම කන්ද මතට පතිත වන බවට ජන විශ්වාසයක් ඒ අවට ගැමියන් තුළ සියවස් ගණනක සිටම පැවති බව එම බිහිසුණු නාය යාමට වසර කිහිපයකට පෙර ම`විසින් අනාවරණය කරන ලදී. එමෙන්ම අරනායක ගැවිලිපිටිය ප්‍රදේශයේ සිට එම සාමසර කන්ද දුරට පෙනෙනුයේ එහි මුදුනෙන් “කුට්ටියක්” ගැලවී ගොස් ඇති ආකාරයකට වීම මත ඊට හේතුව අතීතයේ රාම කුමරුන්ගේ හී තලයක් ඒ කඳු මුදුනේ වැදී ඇතැයි යන ජන විශ්වාසය ඒ කන්ද අද්දර ගැමියන් තුළ කලක සිට පැවැති බව මම එවක අනාවරණය කළෙමි.

එමෙන්ම 2016 වසරේ මැයි 17 දා පස්වරුවේ හෙන හඬක් බඳු මහා ශබ්දයක් නිකුත් කරමින් එම සාමසර කන්ද දරුණු නාය යාමකට ලක්වූයේ පුද්ගලයන් එකසිය විසි තුන් දෙනකු මරා දමමින් හා අතුරුදන් කරවමිනි.එම දරුණු නාය යාම නිසා නිවාස පන්සියයකට ආසන්න ප්‍රමාණයකට පූර්ණ හෝ අර්ධ හානි සිදු වූ අතර පවුල් එකසිය හත්තෑ අටකට මුළුමනින්ම උන් හිටි තැන් අහිමි විය. මෙම සාමසර කන්ද ආශ්‍රිත නාය යාම නම් භූ විද්‍යාත්මක සංසිද්ධිය කාලාන්තරයක් තිස්සේ වසර තුන් සියයකට පමණ වරක් මෙලෙසින්ම සිදුවන බව පසුව ඒ සම්බන්ධ පර්යේෂණ කළ භූ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.එම භූ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සංසිද්ධිය පසෙක තිබිය දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් බිඳ වැටුණු රාවණා යුගය වෙනුවට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ නව රාම කුමාර යුගයක් ඇරඹීමට වෙර දරන බව පැහැදිලි ය.එහෙත් එම රාම කුමාර යුගය ශ්‍රී ලංකාවට කෙලෙස බලපානු ඇත්දැයි කීමට අපට තබා හින්දු ඇදහීම් ජාලයේ පරමාත්මයාණන් වහන්සේ වන අප කවුරුත් ඉතා හොඳින් දන්නා කියන මහා බ්‍රහ්මයාට වත් නොපුළුවන.

මූලාශ්‍රය: විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan