මුදු සීත දුරුත්තකි, පෙති ඇරුණ
මඳහාස කිනිත්තකි, පිනි ඉසුණ
දුර ඈත අනන්තෙකි, ළඟ රැඳුණ
දිගු දෑසෙ දියත්තකි, මඟ හැරුණ
නිදිවරන මතකයට තනිරකින
මඳහසක තටු පැළඳ ඔබ පැමිණ
නිහඬ හද රඳන සඳ හිත රිදෙන
කඳුළැලිද අඩදැණිව ඉකිබිඳින
මාවුලාවෙක සිහින බිම වැතිර
භාවනාවෙක, නිහඬ දිව මතුර
පාරනා හිත, කවුරු ඔබ විතර
රෑ වෙලා ඇහැ අරින තරු අතර
නැවුම් සිතිවිලි, ස්මරණ මඟහරින
සුසුම් පවනැලි සමඟ සැරිසරන
හැඟුමි වැරහැලි අතැර හිරි අරින
නවම් හෙවණැලි පැමිණ කොළ හළන
වචන උහුළන කඳුළු උහුළන්න
වචන මත තිමිර මත ඇවිලෙන්න
වචන අළු මත සුසුම අතුරන්න
වචන අතහැරි වචන විඳගන්න
මංජුල වෙඩිවර්ධන
2022, ජනවාරි 30.