ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත දී එක් වූ දඟ පන්දු යවන්නන් ප්‍රවේශයේදි හොඳින් පන්දු යවමින් කඩුලු ලබා ගත්තත්,කණ්ඩායමට පිවිස ටික කාලයක් යන විට කඩුලු ලබා ගැනීමේ අපහසුතාවයකට පත් වෙනවා.ඒ ඔවුන්ගේ දස්කම් සිදී යාමක් නිසා ද නැතිනම් තිබුණ තත්ත්වයේ වර්ධනයක් ඇති නොවීම නිසා ද යන්න සාකච්ඡා කළ යුතු තත්ත්වයක්.
ලසිත් ඇඹුල්දෙණිය මේ කණ්ඩායමේ පළමු සොයා ගැනීම වුණා.ඔහු ශ්‍රී ලංකාවෙන් පිටතදීත් හොඳින් පන්දු යැවීම සිදු කළා.අනතුරුව ප්‍රවීන් ජයවික්‍රමගේ සම්ප්‍රාප්තිය දකින්නට ලැබුණා.රමේෂ් මෙණ්ඩිස් සහ විශේෂයෙන් මුල් තරගවලදි ලෝක වාර්තා තබමින් පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය ද මේ වන විට කඩුලු ලබා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව පකිස්තානයට එරෙහිව පැවත්වෙන ටෙස්ට් තරගාවලියේදී දකින්නට ලැබෙනවා.
ක්‍රිකට්මය විසඳුම් සෙවීමේදී වඩා වැදගත් මෙවැනි දක්ෂතා අහිමි වන්නේ ඇයි ද යන්න සාකච්ඡාවට ගැනීමයි.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා කළමණාකරණය කිරීම ගැන මීට වඩා විශේස අවධානයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් විමසිලිමත් විය යුතු අතර,අමාත්‍යවරයාගේ උපදෙස් පිට පත් වූ තාක්ෂණික කමිටුව මෙන්ම මෙවැනි අඩු ලුහුඩුකම් නිවැරදි කිරීම සඳහා විශාල වැටුපක් ගෙවා රඳවා ගෙන සිටින මහේල ජයවර්ධන ද මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි.
ජාත්‍යන්තර පිටියේදි මෙවැනි දක්ෂයන් පිලිබ දව විශාල අවධානයක් යොමු වීම සාමාන්‍ය කාරණයක් වන අතර එහිදී ලෝකයේ අති දක්ෂ පිතිකරුවන් ඔවුන්ව කියවා ගැනීමට විශාල හැදෑරීමකින් කටයුතු කරනවා.මුරලිදර්නගේ සම්ප්‍රාප්තිය සමයේද මෙවැනිම උවමනාවකින් ඔහුව හැදෑරීමකට ලක් වූ අතර නමුත් එහිදී මුරලිදරන් විශාල වෙහෙසකින් සිය කඩුලු දවා ගැනීමේ ආම්පන්න ප්‍රමාණය වැඩි කර ගත්තා.ඒ වෙනුවෙන් විශාල වෙහෙසකින් වැඩ කරපු මුරලි මෙන්ම පසුව සාර්ථක වූ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා තුළින් ද මේ වෙනස්කම් දකින්නට ලැබුණා.
නමුත් අද වන විට ඔවුන් වෙනස් නොවි ඇත්නම් ඒ සඳහා ඔවුන්ව පෙළඹවීම සහ උනන්දු කිරීමත්,මෙහෙයවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණු කාර්යය පවරා තිබෙන පුහුණුකරුවන්ගේ වගකීමක් වෙනවා.එසේම ලසිත් ඇඹුල්දෙණියට පෙර ඒ ආකාරයට මතු වූ තවත් දක්ෂ තරුණ දග පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ කරිඳු කෞශාල්ට ද අත් වුණේ එම ඉරණමමයි.ඔවුන් දෙදෙනාම පන්දුව දමා ගැසීමේ වරදටද හසු වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු අතර දග පන්දු යවන්න් ඉතා ඉක්මණින් පිතිකරුවන් ඇඹරීමේ කාර්යයෙන් පිතිකරුවන්ට ඇඹරීම දක්වා වෙනස් වන්නේ ඇයි ද යන කාරණය සොයා බැලිය යුතුයි.
සටහන – නිෂ්මං රණසිංහ