13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!

Date:

කොළඹ LNW:13 වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

රණවක මහතා මේ බව සඳහන් කරන්නේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මතය විමසමින් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සියලුම පක්ෂ වෙත කර තිබෙන අදහස් හා යෝජනා විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ ලෙස සිය ස්ථාවරය ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

මෙහිදී 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පුර්ව කොන්දේසියක් හා හදිසි කටයුත්තක් වන්නේ වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව ක්‍රියාත්මක වන පළාත් සභාවලට තම නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙනු වස් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම වන බවත් ඒ සඳහා දැනට මතුවී තිබෙන නීතිමය බාධක පාර්ලිමේන්තුවට ඉතා පහසුවෙන් විසඳා ගත හැකි බව විශ්වාස කරන බවත් රණවක මහතා සඳහන් කරයි.

”පළාත් සභාවලට වෙන් කර තිබෙන විෂයයන් සම්බන්ධයෙන් අදාළ වන ඉඩම් බලතල ජාතික භෞතික සැළැස්මට අනුකූලව පලාත් සභාවලට බාධාවකින් තොරව ලබා දිය යුතුය. ඒ අතර සමගාමී ලැයිස්තුවේ සහ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට අදාල ඉඩම් බලතල පිළිබද පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම සඳා විධිමත් නිල යාන්ත්‍රණයක් පිහිටුවීම සුදුසුය.

එසේම පළාත්වලට ඉඩම් බලතල දීම පිළිබඳ පසුගිය ශත වර්ෂයේදී දේශපාලන කථිකාව විසින් මතු කරනු ලැබූ කරුණු ඉක්මවා ගිය නව පාරිසරික හා භෞතික සංවර්ධන සැලසුම් පිළිබඳ සාධක පැන නැගී ඇති බැවින් ඉඩම් බලතල බෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන නිර්නායක අලුතින් මතු වීිඇති සාධක ද සැළකිල්ලට ගනිමින් පුනරීක්ෂණයට ලක් කළ යුතු බව අපි අදහස් කරමු.

පොලිස් බලතල සම්බන්ධයෙන් අප පක්ෂය දරණ අදහස වන්නේ පළාත් සභාවල හෝ මධ්‍යම ආණ්ඩුවේ පොලිස් බලතල පිළබඳ වගකීම දේශපාලන අධිකාරියක් යටතට පත් කිරීම අනර්ථකාරී ප්‍රතිඵල මතුකරන බවය. අපගේ යෝජනාව වන්නේ පළාත් මධ්‍යම ආණ්ඩු භේදයකින් තොරවම සමස්ත පොලීස් සේවාවම ස්වාධීන පොලිස් කොමිසමකින් මෙහෙයවිය යුුතු බවය. පොලීසිය ජනවාර්ගික අගතීන්ගෙන් තොරව ක්‍රියාත්මක වන මහජන සේවාවක් බවට පත්කිරීමේ වගකීම එවැනි ස්වාධීන කොමිසමකට කළ හැකි කටයුත්තකි.

13 වන සංශෝධනය බලාත්මක කිරීම යනුවෙන් රජය අදහස් කරන්නේ දැනට නීතියේ පවතින බලය බෙදීමේ ව්‍යුහය ඉක්මවා යන නව ව්‍යුහයක් තනා ගැනීම නම් එවැන්නක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තට අමතරව සමහර විට ජනමත විචාරණයක් පවත්වා සෘජු මහජන අනුමැතිය ද අවශ්‍ය විය හැකි බැවින් රජය ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.

එවැනි නව ව්‍යුහයක් පිළිබඳ අප පක්ෂයේ අදහස ඉදිරිපත් කළ හැක්කේ රජයේ යෝජනාව පිළිබඳ පැහැදිලි භාවයක් සහිත විස්තරාත්මක යෝජනාවක් ඉදිරිපත් කරන වාතාවරණයකදී ය.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...