වැලන්ටයින්…
හොඳයි උඹ ආපු එක
එකම දවසකට හරි
අපිව බලලා යන්න…
බොහෝ දේ තිබේ බේරාගන්න
ප්‍රශ්න ඇත කප්පරක් – කෙළින් උත්තර දෙන්න!
දැන් මෙහෙන් ඉඳගන්න
උඹ අපිට අච්චරට කෙළියමුත්
කතාවක උනත් පිළිවෙලක් ඇත
ඒ නිසා දැන් මෙහෙන් ඉඳගන්න
ඒ ඇරත් අපි
ආගන්තුකයන්ට සළකන්නෙ ඉහළින්ම
අපේ මේ ජාතියේ හැටියම තමයි මෙහෙම
ආරංචි වෙන්න ඇති රෝමයට උනත් එය
ඒවයින් කාරි නෑ
දැන් මෙහෙන් ඉඳගන්න
“මේ උක් සකුරු කන්න
මේ සිහිල් පැන් බොන්න”
මම –
“මෙහෙත් හරි වැස්ස
එහෙත් හෙම වෙන්ටැ”
වැලන්ටයින් –
“අපොයි හරි වැස්ස
වෙලත් උතුරන්න”
මම –
“බුලත්මද කන්නෙ
සුරුට්ටුද බොන්නෙ?”
වැලන්ටයින් –
“හෙනං ගෙන එන්න
සුරුට්ටුව බොන්න”
මම-
හෙනං ගෙන ආවා – සුරුට්ටුව බොන්න
සුරුට්ටුව බොන ගමන් කෙළින් උත්තර දෙන්න
මෙන්න මෙහෙමයි ඕවා ඇරඹුනේ
ඉස්කෝලේ අන්තිමම කාලේ ඒ
එතකොටත් මම හරිම පොඩි එකා
හිටියෙ සියඹලා අඹ පොතු කකා
ලෝකෙන්ම සුන්දරම කෙල්ල ඇය
සතියකින් දෙකකින්ම මගෙම විය
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
අඩුම තරමින්,
මං එහෙම හිතන්නට පුරුදු විය!
පළමු ප්‍රශ්නය….
හෙනම තර්කානුකූල වී හැම මඟුලෙදිම
මේ මඟුලෙ විතරක්ම ඇයිද සිදුවුණෙ මෙහෙම?
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
උත්තරේ ලේසි වෙයි
මං තවත් කියන්නන්
වසර ගානක් පුරා සුන්දරම ඒ සිහින
රැයක් එළිවන තුරා දුටුවා
අම්මපා ඒ මහා සිහින ඇතුළේම අපි
ගෙවල් හැදුවා
ළමයි හැදුවා
උන්ගේ ළමයිත් ළමයි හැදුවා
ඒ ළමයිත් තව ළමයි හැදුවා…
සිහින එළිවුන උදෑසනකදි
හිරු රැසින් ගිනිගත්ත නඟරෙදි
ඇයව හමුවුණි පාර කොනකදි
පැදුරටත් නොකියාම රහසින්
ඇය ඔහුගේ වී තිබුණි එතනදි…
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
දෙවන ප්‍රශ්නය…
හෙනම තර්කානුකූල වී හැම මඟුලෙදිම
මේ මඟුලෙ විතරක්ම ඇයිද සිදුවුණෙ මෙහෙම?
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
හඬා දොඩමින් බොහෝ පිළිවෙත්ද සපුරලා
බෙදා ගනිමින් මිතුරු පහසින්ද සැනසිලා
හිස එසවු පසු නැවත හමුවීය ඇය..
නෑ නෑ
ඇය නෙමෙයි ඊළඟ “ඇය”
ලෝකෙන්ම සුන්දරම කෙල්ල ඇය
සතියකින් දෙකකින්ම මගෙම විය
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
හරි හරි…
අඩුම තරමින්,
මං එහෙම හිතන්නට පුරුදු විය!
වෙනස්කම් තිබුණු බව නම් ඇත්ත
ඒත් අපි ඒ වරත් අර වගේ සිහින තුළ
ගෙවල් හැදුවා
ළමයි හැදුවා
උන්ගෙ ළමයිත් ළමයි හැදුවා…
අන්තිමේ අපිටත් හොරා
ඒ සිහින කොළඹටම සින්න විය
ලෝකයේ අවසනද එයම විය
පෙර සේම
හඬා දොඩමින් බොහෝ පිළිවෙත්ද සපුරලා..
හිස එසවු පසුව නැවතත් හමුවීය ඇය..
ඊළඟ “ඇය”
වැලන්ටයින් –
“ලෝකෙන්ම සුන්දරම කෙල්ල ඇය
සතියකින් දෙකකින්ම මගෙම විය”
(වැලන්ටයින් සිනාසෙයි! මම ඔරවමි.)
මම –
මුසාවක් නෙමෙයි එය – සිදුවුනේ එය තමයි
උඹම එනතුරු හිටියෙ – මෙය කියන්නට තමයි
ඉතින් ඔය විදියටයි සිදුවුණේ
එක් වරක් දෙවරක්ද
කොච්චරක් කියන්නද
සරලවම කතාවම ඔය වගෙයි…
ලෝකෙන්ම සුන්දරම කෙල්ල ඇය
සතියකින් දෙකකින්ම මගෙම විය
බොහෝ සේ දුක්කඳුළු වගුරුවා
කතාවම එකවරම නිමා විය!
(වැලන්ටයින් දිගටම සිනාසෙයි! මම ඔරවමි.)
ප්‍රේමයක ඇති බොහෝ දිග පළල
බොහෝ උන් නොදත් සැඟවුනු රහස
දනී නම් කවුරු හෝ උඹ තමයි
ඉතින් දැන් පිළිතුරක් දිය යුතුයි
අවසාන ප්‍රශ්නය…
හෙනම තර්කානුකූල වී හැම මඟුලෙදිම
මේ මඟුලෙ විතරක්ම ඇයිද සිදුවුණෙ මෙහෙම?
වැලන්ටයින් – (සිනාසෙමින්ම)
“හැපි වැලන්ටයින් ඩේ බ්‍රෝ…”
- නජිත් ඉන්දික
RN