දිනය 1991 දෙසැම්බර් 28
එදින පස්වරුවේ ලංකාවෙ කෙල්ලො ටිකක් කළ නොහැකි යැයි සිතා සිටි දෙයක් කළ හැටි මිනිස්සු තමන්ගේ ආලින්දයෙ ඉඳගෙන වින්දා.සමහරු එකට රොක්වෙලා මේ විශ්මය දෑසින් දැක ගත්තා.ගෙවල්වල උළු හෙල්ලෙන්න කෑ ගැහැව්වා.ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා අදටත් දැනෙන්නෙ ආපහු එහෙම දෙයක් නොවුණ සහ වෙන්න ඊට ඇහිරිලා තියෙන නිසා.ඒ විශ්මයෙන් සංතෝශයට පත් බොහෝ වගකිව යුත්තන් ඒ කෙල්ලො ඉස්සරහ බොහොම සුන්දර පොරොන්දු දිග ඇරියා.ඒවා තවමත් ක්‍රියාපද වෙලා නැහැ.දැන් මේ කෙල්ලො අම්මලා වෙලා.සමහරු මිත්තණියො වෙලා තියෙන්නත් පුළුවන්.එහෙම තියෙද්දි අවුරුදු තිහක් තිස්සෙ මේ විශ්මයෙන් රටට දුන්න රත්තරන් නම්බුවට සැළකිල්ලක් කරන්න කියලා මේ කෙල්ලො ටික අරගෙන ගිය ඉල්ලීම 2022 පෙබරවාරි පහළොස්වැනිදා අරලියගහ මන්දිරයට අරගෙන ගියේ වත්මන් ක්‍රීඩා ඇමතිතුමාගෙ දෝතෙ තියලා එන්නයි.
ඉහත සඳහන් ඓතිහාසික දිනය වන විට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට වයස අවුරුදු 5 මාස 8 දින 18 ක් විතරයි.ඒ නිසා මේ ආශ්චර්ය ඔහුට මතක නැතුව ඇති.හැබැයි ඒක වචන විතරක් නොවුණු හැබෑවට මේ පොළවෙ වුණු ක්‍රීඩාවට සදාකාලිකව සමරන්න තියෙන දෙයක්.නමුත් අතින් හැමෝම ලිස්සල ඇරපු මේ වගකීම ගැන නාමල් රාජපක්ෂට කරන්න දෙයක් තියෙයිද?එහෙම නැත්නම් හැමෝම ලිස්සල ඇරපු ඒ වගකීමේ ඓතිහාසිකකම හිතට අරගෙන ඔහු කුමක් හෝ කරයිද කියන දෙගිඩියාව මේ තමන් හපන්කම කරද්දි අවුරුදු පහක් වෙච්චි මේ තරුණ ක්‍රීඩා ඇමතිවරයාට තේරෙයිද කියලා හිතන්න ඇති.තමන්ට අවුරුදු පහක් වෙද්දි හිටිය මේ වගෙ කෙල්ලො අද මොකද නැත්තෙ..අද එව්වන්ටත් ගැම්මක් එන්න මේ ඉතිහාසය ආයෙ ආවර්ජණය කරලා වර්ථමානය උත්ප්‍රේරණය කරන්න ඕනි කියලා ක්‍රීඩා ඇමතිවරයාට හිතෙයිද?
මේ අදහස් පුරෝගෙන තමන් දිහා බලා ඉන්න ඉතිහාසය තුල තවමත් දකුණු ආසියාතික මට්ටමෙන් වොලිබෝල් දිනා ඇති රන් පදක්කමේ හිමිකාරිණියන්ට ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ලැබුණු ප්‍රතිචාරයට අනුව ඒ මේ දක්වා මඟ හැරුණු වටිනා මිනිස්සු සියල්ලටම සෙත සැදෙන ඉඩක්.එදා රටක් වෙනුවෙන් වැටුණු දහදියට මෙදා වෙනකම් වටිනා ඉඩක් නොලැබුණු ඔවුන්, මෙදාත් රටේ ක්‍රීඩාවේ එවැනි වටිනා පිරිස්වලට හොඳ බිමක් හඳන්න ඇමැතිවරයාගේ හිත යම් තරමකට වෙනස් කරා. ඒත් ඒ කතාව කියන්න ඉස්සර 1991 දෙසැම්බර් 28 මොකද වුණේ කියන තැනින් ප්‍රවේශයක් ලබා ගන්න එක වටියි.රටේ ක්‍රීඩා ඇමතිතුමාත් නොදන්න අවුරුදු පහක දරුවෙක්ව සිටි ඒ දවස ලංකාවට කොහොමද දැණුනෙ කියන එක මතකයෙන් මවාගෙන විඳින්න ඕනි ලාංකේය සුන්දරකමක්.
එදා පස්වරුවෙ ලංකාවාසීන් හුඟදෙනෙක් රූපවාහිණිය වටේ රොක් වෙලා හිටියෙ.ඒ ක්‍රීඩාව ගැන ඇතිවෙච්චි අමුතුම උද්යෝගයකින්.එහෙම රොක් වෙන්නෙ සාමාන්‍යයෙන් ක්‍රිකට් එක්ක වුණත් මේ ක්‍රීඩාව එක්ක ඊට එහා ගිය අපේ කොල්ලො කෙල්ලො කියලා වෙනම ආලයකුත් හැදිලා තිබුණා.ඒවා ජාති වලට ආගම්වලට බෙදිලා තිබුණෙ නැහැ.විශේෂයෙන් ජුලියන් බෝලිං කියන බර්ගර් කොල්ලයි – දීපිකා චන්මුගම් කියන දෙමළ කෙල්ලයි ලංකාවෙ මිනිස්සුන්ගෙ තොල්වල හෙලවෙන ආදරණිය ශබ්දයක් වෙලා තිබුණා.ඔක්කොටම වැඩිය හැම ලංකාවෙ මිනිහෙක්ගෙම හිතේ “අපිට දිනන්න පුළුවන්” (ලාංකිකයන්ට) විශ්වාසය හැදිලා .තිබුණා.ජේ.එච්.කියන සිරුරෙන් පුංචි යෝදයා ඒ වැඩේ රූපවාහිනි තිරයට අරගෙන ලංකාවෙ මිනිස්සුන්ගේ හදවත පතුලෙම ලියලා තිබුණා.
මහා භයානක අශෝභන මතකයන් එක්ක තුරුල් වෙලා හිටිය මිනිස්සුන්ගෙ හිතවල් වෙනස් කරන්න ක්‍රීඩාවේ රිද්මයට හැඩේට පුළුවන් කියලා විශ්වාස කරපු නායකයෙක් ඒ වෙනකොට හිටියා.අමතක කිරීම ඒ මොහොතෙ දේශපාලනිකයි.ආර්.ප්‍රේමදාස රටේ නායකයා හැටියට ලංකාවෙ පළමුවරට කෘතිම ධාවන පථ එළමින්,ගෘහස්ථ ක්‍රීඩාංගණ නිර්මාණය කරමින් මිනිස්සුන්ගෙ ඔළුවෙ හරිම විසිතුරු විදිහට ක්‍රීඩාව ගැන තමන්ගේ හැඟීම කැටයම් කරලා තිබුණා.ඒකට ඉහළම අවධානය දෙමින් බරපැන දරන්න රජය එකඟ වෙලා හිටියා.ක්‍රීඩා අමාත්‍යවරයා,ඔලිම්පික් කමිටුව,ක්‍රීඩා සංගම්වලට ඒ වෙන තෙක් නෙමෙයි සමහර විට මේ වන විටත් සමහර ක්‍රීඩාවලට නොලැබෙනවා වෙන්න පුළුවන් පහසුකම් ලබා දුන්නා.සමහර තැන්වල ක්‍රීඩාව අභිබවා ගිය දේශපාලන සංදර්භයක ප්‍රදර්ශනයක හැඩ ගත්තත් ඒ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙන් ගත්ත හුස්ම දිගට අල්ලගෙන ඉන්න බැරිවීම ලාංකේය ක්‍රීඩාවේ ඛේදවාචකයක්.
ආයෙත් ආරම්භක සටහනේ දිනයට ගියොත් එදා හැන්දෑවේ මිනිස්සු රූපවාහිනිය ළඟ වට වුණේ,මහා දුර වෙනසක් හැටියට ඊට ඉස්සර අපේ හිත්වලට දැනිල තිබුණු ඉන්දීය වොලිබෝල් ක්‍රීඩාව ලංකාවෙ කෙල්ලො ඉස්සරහ දන නමනවා බලන්න.ජ්‍යෙෂ්ඨයින් පසෙකට කරලා මේ වැඩේ කරන්න එවකට වොලිබෝල් පරිපාලනය අරගෙන තිබුණ තීරණය නිසා විශාල කළබැගෑනි ඇති වෙලා තිබුණා.හැබැයි අවුරුදු 20 මුල හරිය සාමාන්‍ය වෙච්චි වයස් කාණ්ඩයක කෙල්ලො ටික රේණුකා අබේගුණවර්ධන යාපාගේ නායකත්වයෙන් පෙළ ගැහිලා හිටියෙ පුදුම විශ්වාසයකින්.එතැන පාසල් යන වයසේ උදේනි ප්‍රියදර්ශණිලා වගෙ කෙල්ලොත් හිටියා.පුහුණුකරු හැටියට වැඩ කරපු කේ.ඒ.කේ විජේපාල සහ සහය පුහුණුකරු හැටියට හිටිය අයි. විජේසිංහත් කෙල්ලො ටිකටම හරි ගියා.වැඩේ එයාලට ඕනි විදිහට කරගෙන යන්න දීලා තිබුණේ නමේ ඉඳළම විජය වෙච්චි නිසා වෙන්න පුළුවන්.
පිට්ටනියට යන්න බැරි වෙච්චි ලක්ෂ ගාණක් රූපවාහිනියෙන් මේ අත්දැකීම රතු-සුදු හැටියට සහ කළු සුදු හැටියට වින්ද.ඒ අතේ තිබුණ වත්කම එක්ක වගේම හිතේ තිබුණ ආසාවන්ටත් අනුවයි.ජයන්ති විශ්වනාදන්,සැලෝමි ෂේවියර් සහ සුදා සිං වගේ ඉන්දීය වොලිබෝල් ඉතිහාසයේ මතක සටහන් වෙච්චි නම්.ඒත් දකුණු ආසියානු තරගාවලියේ ඉතිහාසයට කාන්තා වොලිබෝල් එකතු වුණ පළමු අවස්ථාවේ ඉන්දියාවේ කාන්තා වොලිබෝල් පෞරුෂය බිමට දාන්න රේණුකා අබේවර්ධන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට හැකි වෙනවා.තවමත් එපමණයි.ඉන්දියාව දුර ගමණක් යද්දි අද ශ්‍රී ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙ පළමු කාන්තා රන් පදක්කමේ ඉදලා ලෝකඩ පදක්කමක් දක්වා පහළට ඇවිත් තියෙනවා.
මේ සටහනට ඉස්සෙල්ලා එදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කරන අයුරු ජාතික රූපවාහිණියෙ විකාශයන් සහ එයින් උපුටා ගැනීම් සමඟ යුටියුබ් හරහා නැරඹු වීට දැණුන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සෑම අවස්ථාවකම කාන්තා කණ්ඩායම් ගොඩ නඟද්දි මේ තරගය නැරඹීමට දිය යුතු බව.ඒත් කණගාටුවට කරුණ ඔවුන් දෙස ඒ වටිනාකම දෙන විදිහට තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් බලන්නවත් අකමැතිව සිටීම.
එදා ඒ ඓතිහාසික අවස්ථාව නියෝජනය කරපු ක්‍රීඩිකාවන්ගේ නම් පෙළ වර්ථමානයේ තත්ත්වයත් එක්කම සටහන් කිරිම වටිනවා.ගමනා ගමන මණ්ඩලයේ හිටපු රේණුකා අබේවර්ධන යාපා අද විශ්‍රාමිකයි.චින්තා දිල්රුක්ෂිත් ඇයත් සමඟම ගමනා ගමන මණ්ඩලයේ සේවයේ සිට විශ්‍රාමිකව සිටිනවා.කේ.එම්.ඉන්ද්‍රාණි සෙලින්කෝ හී සේවයේ නියුතු වෙනවා.එච්.ඒ.ස්වර්ණා ගුවන් හමුදාවට සම්බන්ධව සිට අද විශ්‍රාමිකව සිටිනවා.
එම කණ්ඩායමේ සිටි සෙසු සියල්ලන්ම ගුරු සේවයට සම්බන්ධයි.ඒ අනුව සන්ධ්‍යා සඳලේඛා,ඩබ්.පී.ශ්‍රියාණි,ඉනේශා චිරන්තනී,දීපිකා කුමාරි අබේසිංහ,උදේනි ප්‍රියදර්ශණි සහ ජයන්ති කරුණාරත්න අදටත් ගුරු සේවයට සම්බන්ධව සිටිනවා.ඩිලානි වසන්ති සහ රෝහිණි චන්ද්‍රිකා ගුරු සේවයේ සිට විශ්‍රාමිකව සිටිනවා.වර්ථමානයේ ඔවුන්ගේ පෙණුම සහිත පිංතූරයක් මීට ඇතුළත් කරන්නේම මගකොටදී දැක්කත් ඔවුන්ට රටකට ලබා දුන් ජයග්‍රහණය ගැන ඔබට සිනහවකින් හෝ සංග්‍රහ කිරීමේ කෘතවේදීත්වය ඉටු කරන්නයි.
එදා වට 3- 1 ලෙස ඒ ඓතිහාසික ජය සටහන් කරපු මොහොතේ සජීවී විස්තර විචාරයේ හිටිය සමන් අතාවුදහෙට්ටි ඒ දක්වා ශ්‍රී ලංකා වොලිබෝලය වෙනුවෙන් ලේ,කඳුළු, දහඩිය හෙළු සියල්ලටම ගෞරවය පුද කරනවා.සිහිපත් කරනවා.දශක තුනකට පසුව අපට ඒ කෘතවේදි සිහිකිරීම සහ සැළකීම කරන්නට ගෙවුණු කාලය පිළිබඳ වගකිමෙන් බැහැරව අප ඔවුන්ගෙන් ඈත්ව සිටිනවා.ක්‍රීඩා අමාත්‍යවරයා ඒ අදාල නැති කාලයේ කතාව මතම සිට ඔවුන්ට පමණක් නොවේ මේ ආකාරයට රටට වටිනාකම් ගෙනා සැළකීම් නොලබපු රත්තරන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලට කොළඹට ආසන්නයෙන් අඩු මිලකට නිවාස ලබා දීමේ යෝජනාවක් නිවාස සංවර්ධන අධිකාරියට කරන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරියට පවසා තිබෙනවා.ඒ වගෙම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ වොලිබෝල් පරිපාලනයටත් මේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන ලෙස දන්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූ බවයි.
වොලිබෝලයට තමන්ට ලැබුණු ඓතිහාසික රන් පදක්කම ගැන අමාත්‍යවරයාට මතක් කරන්න වීම වගේම මේ රන් පදක්කම කාලයට අදාළ වීමත් කණගාටුදායකයි.කොළ කැබලිවල නිරන්තරයෙන් 91 දකුණු ආසියාතික වොලිබෝල් සූරියෝ සිට සටහන්ව තිබෙන,රූපවාහිනි රූපවල,ගුවන්විදුලි හඬවල්වල ඒ ආකාරයෙන්ම සූරත්වය ගැන ප්‍රකාශ සටහන් ඒ ඉතිහාසය අමරණියයි.ඊට හිමි විය යුතු ගෞරවයද ඒ ආකාරයෙන්ම විය යුතුයි.
පුළුවන්නම් අපේ කාලයේ නොවන බව කියා මේ ක්‍රීඩිකාවන්ගේ රත්තරන්වල අගය බාල කරන හැමෝටම කරන්න දෙයක් තියෙනවා.මේ සටහනේ උඩත් දිනය සටහන්.එදා පැවති දකුණු ආසියාතික තරගාවලියේ පළමු කාන්තා වොලිබෝල් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිවන අවස්ථාව නැරඹෙන්න.ඔබේ හදවත කොච්චර බර වෙයිද – ඇස් තෙත් වෙයිද කියන කාරණය ඔබේ ලාංකේයත්වය සාපේක්ෂව සිඳුවෙනු ඇති.ඔබ එදා නූපන් අයෙක් වුණත් එතැනට මනසින් ගමන් කරනවා ඇති.
සමන් අතාවුදහෙට්ටි ඒ මොහොතේ කියපු වචනවලට අනුව, වොලිබෝලයට දර දිය ඇඳපු ඒ මොහොත වන විට ජීවත්ව නොසිටි අයටත් ඒ ගෞරවය අයිතියි.මේ ක්‍රීඩිකාවන් දක්වපු දක්ෂතාවයේ ගෞරවයත් හැමදාම රටටම අයිතියි.අද ක්‍රීඩාවේ වොලිබෝලයේ ඉන්න හැමෝටමත් අයිතියි.ඒ අයිතිය දිනා දෙන්න දහදිය හෙළපු මහන්සි වුණු,කැපවුණු අයට හැමදාම අයිති ඒ ගෞරවය වෙනුවෙන් තමන්ගේ හදවතට දැනෙන වගකීම “අදාළ නොවේ” නොකියා,හරි ජයග්‍රාහී තැනක පතිත කරන්නට කාලය ප්‍රශ්නයක් කරගන්නේ කුමටද?ඒ ජයග්‍රහණට සදාකාලිකයි.හැමදාම හැම දකුණු ආසියානු රටකටම කියන්න වෙන්නෙ දකුණු ආසියානු තරගාවලියේ පළමු කාන්තා රන් පදක්කම දිනා ඇත්තේ ශ්‍රී ලංකාව බවමයි.
RM