කියුබානු ඉතිහාසය හැදෑරීමේදී එදා සිට අද දක්වා එහි ඓතිහාසික චලනය සැලකීමේදී කියුබාව තුල ඇතිවූ ප්‍රධානතම අරගල 4 සැලකිල්ලට ගෙන ඒවායේ අද දක්වා විකාශනය සලකා බලමු.
කියුබාවේ පැරණිතම පුරාවිද්‍යාත්මක කැනීම් දක්වන “Levisa”උපුටා දක්වන ආකාරයට, එහි මුල්ම මිනිස් වාසය ගැන තොරතුරු ක්‍රිස්තුස් වහන්සේගේ උපතටත් සහශ්‍රක 4ක් ඈතට විහිදී යයි.එනම් අදසිට බැලූකල වසර 6000ක් පමණ ඈතට විහිදී යයි. එසේම ලිඛිත කරුණු ඉදිරිපත්කෙරෙන ආකාරයට කියුබාවට පයගැසූ ප්‍රථම යුරෝපීය ජාතිකයා ලෙස පිලිගැණෙන ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොළොම්බස් ඔහුගේ මුල්ම මුහුදු ගමන් වලදී වර්ෂ 1492 දී කියුබාවට පයතැබූබව වාර්තාවේ.
කොළොම්බස් කියුබාවට පැමිණි කාලයේදී ස්පාඤ්ඤය සහ පෘතුගාලය දේශගවේෂන මුවාවෙන් විවිධ රටවල රන්, රිදී, මුතු, මැණික් මෙන්ම කුළුබඩු දඩයමේ යෙදුනු බව අප දනිමු.එමකාල වකවානුවේ කියුබාවේ ස්වදේශිකයින් ලෙස වැඩිපුරම පදිංචිව සිට ඇත්තේ “ටයිනෝ” (Tino) නැමැති ස්වදේශික ජාතිය වන අතර,අදත් කියුබානු ජාතිකයින් වැඩිදෙනා මෙම “ටයිනෝ”නැමැති ස්වදේශික ජනයාගෙන් පැවතඑනබව පිළිගනු ලබයි.(මෙම ටයිනෝ ජාතිකයන් Ciboney ජාතිකයින් අභිබවා නැගීසිටි අයබව සලකනු ලැබේ. මෙම Ciboney ජාතිකයින් යනු කැරිබියන් ඉන්දියානු ජාතික කොටසක් ලෙස පිළිගැනේ.තවද මෙම Ciboney ජාතිකයින් ලෙන් සහ ගුහා වල කුඩා කංඩායම් ලෙස ජීවත්වූ අයයි).
කොළොම්බස් පැමිණීමෙන් පසු ඔහු තැබූ සටහන් වල දක්වා තිබුනේ “එය ලොව වඩාත් අලංකාර දිවයින බවයි”. කෙසේනමුත් කොළොම්බස්ගේ පැමිණීමෙන් පසුව කියුබාවට වැඩිකාලයක් නිදහසේ කාලය ගතකිරීමට ස්පාඤ්ඤයෙන් ඉඩ නොලැබුනු අතර රත්‍රන් සහ අනෙකුත් වටිනා දේවල් සොයා ස්පාඤ්ඤ සොල්දාදුවන් සහ ආගමික මිෂනාරීන් පුරවාගත් නැව් කියුබාව කරා පැමිණෙන්නට විය. වර්ෂ 1511 වනවිට ස්පාඤ්ඤයේ අතිශය අමානුෂික භීෂණය සහ වහල්භාවය හමුවේ කියුබාවේ ටයිනෝ ජාතිකයින් බොහෝදෙනෙක් මරුමුවට පත්වුනු අතර, තවත් බොහෝදෙනෙක් ස්පාඤ්ඤවරුන්ගේ කෲර මර්ධනය ඉවසාගත නොහැකිව වසකෑමෙන් හෝ ගෙලවැළලාගෙන සියදිවි හානිකරගන්නට විය.මේ දෙආකාරයෙන්ම බේරී ලෙන් සහ ගුහාවල සැඟවීසිටි ටයිනෝ වරුන්, ස්පඥ්ඥ වරුන්ගෙන් බෝවුනු වසූරිය (SmallPox),ක්ෂයරෝගය,සහ Flu වැනි ආගන්තුක රෝග නිසා මරුමුවට පත්විය. කියුබාවට පමණක් නොව, ආක්‍රමණිකයින් ලෙස ස්පාඤ්ඤවරු පැමිණි ලතින් ඇමරිකාවේ බොහෝ රටවල ස්වදේශිකයින් බහුතරයක් වඳවී ගියේ (Extirpation) මෙම රෝග බෝවීමෙනි.
වර්ෂ 1500න් පසු ස්පාඤ්ඤවරු ලතින් ඇමරිකාව පුරාම තම ආක්‍රමික බලපෑම යටතේ රත්‍රන්,රිදී සහ සීනි යනාදිය ලබාගැනීමට ස්වදේශිකයින් පමණක් නොව, අප්‍රිකාවෙන් අල්ලාගෙන එනලද ජනයා වහලුන් ලෙස ඒවායේ සේවයේ යෙදවීය.ඉන් අනතුරුව කියුබාවේ “හවානා”වරාය වසර 50ක් තිස්සේ බලකොටුවක් ලෙස විශාල බැම්මක් ඉඳිකරමින් කොළොම්බියා,පුවටෝරිකෝ (Puerto Rico) සහ පැනමා වැනි වෙළඳ මධ්‍යස්ථාන වලසිට හවානා වලට නැව් ගමනාගමනය සම්බන්ධ කරමින් ” හවානා” වරාය ප්‍රධානපෙලේ වරායක් බවට පත්කරගන්නා ලදී. ක්‍රමක්‍රමයෙන් කියුබාවේ හවානා සහ සන්තියාගෝ නගර විවිධ දේශාඨනයේ යෙදෙන නාවිකයින්ගේද, වැවිලි සහ වෙනත් භාන්ඩ අපනයනය කිරීමට පැමිණෙන වෙළඳුන්ගේද ප්‍රධානපෙලේ නවාතැන්පලක් බවට පත්වීමෙන්ද, හවානා වල ඉහලම වයින් මත්පැන් ගණිකා නිවාස මෙන්ම ඉහලපෙලේ ධනවතුනට නවාතැන් ගැනීමට ඉවහල් වන මන්දිරවල්ද ඉදිවීමෙන් “හවානා”නගරය,ලතින් ඇමරිකානු කළාපයතුල ප්‍රධානපෙලේ නගරයක් බවට පත්වන්නට විය.කොළොම්බස් පළමුවරට කියුබාවට පැමිණෙන සමයේදී යුරෝපයේ වඩාත්ම මිළ අධික පාරිභෝජන භාන්ඩයක් බවට පත්ව තිබුනේ සීනිය.කුළුබඩුවලට අමතරව සීනි සඳහා පැවති ඉතා අධික ඉල්ලුම ඉතා හොඳින් අවබෝධ කොටගෙන සිටිබැවින් ඔහුගේ දෙවන මුහුදු ගමනේදී ඔහු කැනරි දූපත් (Canary Island) වලින් ලබාගත් පළමුවෙනි උක්ගස (Sugar- Cane) අදකාලයේ ඩොමිනිකන් රිපබ්ලික් යනුවෙන් හඳුන්වන ලබන දූපතේ පැළකරනු ලැබීය.අනතුරුව කාලයක් ගතවනවිට කියුබාව තුලද උක්වගාව පැතිරෙන්නට විය.කියුබාවේ තිබූ මැහෝගනී සහ සෙයිබ මහා වනාන්තර ක්‍රම ක්‍රමයෙන් අතුරු දහන් වෙමින් උක්වගාව ප්‍රදේශ පුරා පැතිරෙන්නට විය.මේසඳහා වහලුන් ලෙස අප්‍රිකානු ජනතාව බලහත්කාරයෙන් නැව් පිටින් ගෙනෙන ලදී.මෙහිදී වහල් ජනයා විවිධ අයුරින් කැරළි ගැසූ අතර එකී කැරළිවලින් පසුව වහල් ජනයාට සිදුවූයේ තම ස්වාමිවරුන්ගෙන් සහ මුරබල්ලන්ගෙන් මිදීම සඳහා කඳුකර ප්‍රදේශවලට පැනගොස් රහසේ කුඩා කන්ඩායම්ලෙස ජීවත්වීමටයි.නැතහොත් ඔවුන් සොයාඑන පීඩකයින්ගෙන් මිදීම සඳහා සියදිවි හානිකරගැනීමටයි.මෙසේ සියදිවි හානිකරගැනීමෙන් මෙම වහල් ප්‍රජාවන් තමන් නැවත තමන්ගේ නිජභූමියවූ අප්‍රිකාව තුල නැවත ඉපදෙන බවට විශ්වාසයක්ද පැවතිනි.මෙසේ පලාගොස් සැඟවෙන වහළුන් අල්වා ඔවුන්ගේ හිස් ගසාදමා ඒවා උල්වල අමුනා ඉතිරි වහල් ජනයාට ප්‍රදර්ශනය කිරීම එදා කියුබාවේ වහල් ස්වාමිත්වය අනුගමනය කල අතිශය කෲර ක්‍රමවේදවලින් එකකි.
කෙසේනමුත් කියුබාව ඇතුළු ලතින් ඇමරිකාව තුල තම බල අධිකාරිය තනිවම පවත්වාගෙන යාමට ස්පාඤ්ඤ වරුනට අභියෝග කරමින් 1762 දී බ්‍රිතාන්‍ය විසින් හවානා නගරය වෙත ප්‍රහාරයක් එල්ලකොට හවානා නගරය අත්පත් කරගන්නා ලදී.මෙහිදී ස්පාඤ්ඤයට කියුබාව කෙරෙහි තිබූ තම කෑදරකම කොතෙක්ද යත්, ඔවුන් ෆ්ලොරිඩාව බ්‍රිතාන්‍යයන් වෙත පවරා නැවත කියුබාව ඊට හුවමාරු කරගන්නා ලදී.එහෙත් බ්‍රිතාන්‍යය සමග එකඟවූ පරිදි එතැන් පටන් කියුබාව සෙසු රටවල් සමඟ වෙළඳ ගනුදෙණු සඳහාද විවෘතව තබන ලදී.මේ කාලවකවානුවේදී හයිටි කැරළිකරුවන් එහි උක් වගාවන් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන්ද,දිනෙන් දින ඉල්ලුම වැඩිවීමෙන්ද කියුබාවේ සීනි වෙළඳාමට ඉතා වාසිදායක තත්වයක් උදාවිය.එනිසාම දිනෙන් දින උක්වගාව සඳහා වැඩකිරීමට වහලුන් වැඩිප්‍රමාණයක් අවශ්‍ය විය.1774 දී 40,000 ක් වූ වහල් ජනයා වර්ෂ 1840 වනවිට 470,000ක් දක්වා ඉහලගිය අතර සීනි හඳුන්වන්නට වූ අන්වර්ථ නාමය වූයේ “සුදු රත්‍රන්”(White Gold) ලෙසය.හවානා වල පදිංචිව සිටි උක්වගාවල හිමිකරුවන් අතිශය ධනවත් වීමෙන් ඔවුන්ගේ හවානා නිවෙස් ඉතා සුඛෝපභෝගී අයුරින් නිමවා ඒවා මංදිර බවට පත්කරමින් ඒවාට වටිනා පර්සියන් කාපට්,ඉතාලි පේන්ටින්,ප්‍රංශ විදුලි උපකරණවලින් සමන්විත කරමින්,එහි පාරවල් පවා ඇමරිකාවෙන් ආනයනය කල ගැනයිඩ් වලින් සමන්විත කරන ලදී.මේ කාලය වනවිට කියුබාව ලෝකයේ ඉතා මිල අධික සුඛෝපභෝගී නගරයක් බවට පත්වූ අතර වර්ෂ 1837 දී ලතින් ඇමරිකාව තුල ඉදිකළ පළමු රේල් පාර කියුබාව තුලදී ඉදිවිය.මෙම රේල්පාර කියුබාවේ උක්වගා ප්‍රදේශවල සිට හවානා දක්වා ඉදිවුනු අතර මෙම රේල් පාර ඉදිකිරීමේදී එහි සෑම කිලෝමීටරයක් සෑදීමටම වහලුන් 13 දෙනෙකු ජීවිතවලින් වන්දි ගෙවූබව කියවේ.
මෙසේ කියුබාවතුල පැවති ස්පාඤ්ඤවරුන්ගේ “විනෝදය” 1857 වැනි කාලවලින් පසුව ක්‍රමයෙන් වියකී යන්නට විය. සීනි වෙළඳපොල සීග්‍රයෙන් පහල ගිය අතර කියුබාවේ පැවති ආර්ථික සාරසුභාව අතුරුදහන් වීම ඇරඹෙමින් තිබිනි. ක්‍රමයෙන් 1868 කාලය එළබෙද්දී කියුබානුවන්ට ස්පාඤ්ඤය යටත් විජිතයෙන් මිදීමේ අවශ්‍යතාවය මතුවෙමින් තිබිනි. ඒ වනවිට ලෝකය පුරා පැනනැගෙමින් තිබූ යටත් විජිතකරණයට එරෙහිව නැගීසිටීමේ අවශ්‍යතාවය ලතින් ඇමරිකාව පුරාද ඇතිවෙමින් තිබීම විෂේශයෙන් වෙනිසියුලාවේ ඉපිද ලතින් ඇමරිකාව පුරා ස්පාඤ්ඤය යටත්විජිතකරණයෙන් ලතින් ඇමරිකාව මුදවාගැනීමේ සිමොන් බොලිවර්ගේ ජාතික විමුක්ති අරගලයේ ආශ්වාදයන්ද ඊට බොහෝසෙයින් හේතුවිය.
මෙහිදී ප්‍රථම වරට කියුබාවේදී ඇතිවූ ජාතික විමුක්ති අරගලයට පසුබිම සකස්වෙමින් තිබියදී කියුබාවේ Manzanillo පළාතේ උක්වගා හිමිකරුවෙකු වුනු කාලෝස් මනුවෙල් (Carlos Manuel de Cespedes) සිය වගාවන්වල සේවයට රැගෙනගොස් තිබූ වහලුන් සියළුම දෙනා නිදහස් කරමින් ප්‍රථමවරට කියුබාවේ “නිදහස” ප්‍රකාශයට පත්කරමින් 1868 සිට 1878 දක්වාවූ දසවසරක සිවිල් යුද්ධය ආරම්භ කරනලදී.ආරම්භයේදී කාර්ලෝස් මනුවෙල්ට මේ කියුබානු නිදහස් සටනට මුලපිරීම සඳහා සිටියේ ඔහුවටා සිටියේ 150 කට නොවැඩි පිරිසක් පමණකි.එහෙත් ඔහු ස්පාඤ්ඤ හමුදාවට එරෙහිව මුහුනදුන් පලමුවෙනි සටනේදීම විශාල පරාජයකට මුහුණදීමට සිදුවී එම සටනේදී ඔහුට ඉතිරිවූයේ භටයන් 12 දෙනෙකු පමණි.එම 12 දෙනා අමතමින් ඔහු පැවසූවේ කියුබාවේ නිදහස් සටන ඇරඹීමට අප 12 දෙනා ප්‍රමාණවත් බවයි.ඉන් පසු ඉතා කෙටිකලක් ඇතුලත භටයන් 12,000 කින් යුත් හමුදාවක් ගොඩනැගීමට ඔහු සමත්විය.1869 දී අප්‍රේල්වලදී හඳුන්වාදුන් ව්‍යවස්ථවක් මගින් (Grito de Yara) කියුබාවේ සියළු වහල්භාවයට පත්වසිටි කියුබානුවන් එම වහල්භාවයෙන් නිදහස් කරමින් එකී අරගල හමුදාව මගින් පිහිටුවාගත් ආන්ඩුවක් මගින් කාර්ලෝස් මනුවෙල් කියුබාවේ ජනාධිපතිවරයා ලෙස පත්කරගන්නා ලදී.දැඩි භීතියටත්, කෝපයටත් පත්වුනු ස්පාඤ්ඤ බලධාරීන් කෙසේහෝ කාර්ලෝස් මනුවෙල් මේ නිදහස් සටනින් ඉවත් කිරීමට හැකිසෑම උත්සාහයක්ම දැරීය.වරක් ස්පාඤ්ඤ හමුදාව කාර්ලෝස්ගේ දෙවන පුත්‍රයා වන ඔස්කාර් (Oscar) ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඔහුට ජීවිත දානය දීමටනම් කාර්ලෝස්ට ඔහු පිහිටවූ හමුදාව විසිරුවා හැර ඔහුගේ ප්‍රකාශිත ජනාධිපති ධූරයෙන් ඉවත්වනලෙස ස්පාඤ්ඤය හමුදාව දැනුම්දුන්නේය.
එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් කාර්ලෝස් මනුවෙල් ස්පාඤ්ඤ හමුදාවට දැනුම් දුන්නේ, තම පුත්‍රයා වන්නේ ඔස්කාර් පමණක් නොව, මේ නිදහස් සටනේ මරුවැළඳගත් දසදහස් ගණනින්වූ සියළුම කියුබානුවන් තමන්ගේ පුත්‍රයින් වනබවයි. ඊට පිළිතුරු ලෙස ස්පාඤ්ඤය හමුදාව කාර්ලෝස්ගෙ පුත්‍රයා වෙඩිතබා මරාදැමීය.
කියුබාවේ ඉතාම ධනවත් පවුලක ඉපදී, නීතිඥයෙක් වීමට වැඩිදුර ඉගෙනීමට ස්පාඤ්ඤයට ගොස් එහිදී අසාධාරණයට එරෙහිව ස්පාඤ්ඤ අධිකාරයට එරෙහිවීම නිසා ප්‍රංශයට පිටුවහල් කොට නැවත පසුකාලයේ කියුබාවට පැමිණ කියුබාව ස්පාඤ්ඤයේ වහල් භාවයෙන් නිදහස් කරගැනීමේ පළමුවෙනි ජාතික විමුක්ති අරගලයට නායකත්වයදී අවුරුදු දහයක් නිදහස් සටනට උරදී 1878 දී ස්පාඤ්ඤ හමුදාව අතින් සියෙරා මයෙස්ට්‍රාහිදී මරුවැළඳගත් කාර්ලෝස් මනුවෙල් කියුබාවේ නිදහස් සටනේ පියා බවට අවිවාදිතය. එහෙත් කැස්ත්‍රෝ පාලනය විසින් සලකන්නේ කියුබාවේ නිදහස් සටනේ පියා ලෙස ජොසේ මාර්ට් (Jose Marti) වේ.මේසඳහා බලපෑ හේතූන් මොනවාදැයි ඊලඟ කොටසින් සාකච්චා කිරීමට අදහස් කරන අතර කෙසේ නමුත් අදියර 4 ක් ලෙසට ජාතික විමුක්ති සටන් හතරක් ලෙසින් එනම් පළමුවැන්න කාර්ලෝස් මනුවෙල් යටතේද (1868-1878), දෙවැනි අරගලය කැලික්ස්ටො ගර්සියා (Calixto Garcia) යටතේද (1879-1880), තුන්වන අරගලය ජොසේ මාර්ට් (Jose Marti) යටතේද (1891-1895), අවසාන අරගලය ෆිදෙල් කැස්ත්‍රෝ යටතේද (1959 සිට) කියුබාවේ ක්‍රියාත්මක විය.
(මීලඟ ලිපියෙන් කැලික්ස්ටෝ සහ ජොසේ මාර්ට්ගේ අරගල සලකා බලමු).
~ රංජන සේනානායක
[email protected]
RN