*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

2022 දී බංකොලොත් වූයේ මහ බැංකුව ද? රජය ද? රට ද? පරීක්ෂා කරමු

ලිපියේ පසුබිම 

2022 අප්‍රේල් මස 12 දින සිට ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවට නොයෙකුත් විචාරයන් දැකිය හැකිය. එහි නවතම විචාරය වන්නේ, පසුගිය දෙසැම්බර් 12 දින IMF දෙවැනි ණය වාරිකය ඩොලර් මිලියනය 337 ලැබීම නිසා රට බංකොලොත්කමෙන් එළියට එන බව යි.

මෙසේ බංකොලොත් භාවය ලෙස දැක්වෙන්න්, මහ බැංකුව විසින් 2022 අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටුවීම යි. එසේ දැනට ආපසු ගෙවීම පැහැර හැර ඇති ණය වාරික සහ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් පමණ බව දැක්වෙයි.

ව්‍යාපාරයක හෝ ගෘහයක බංකොලොත් භාවය යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ, ණය ආපසු ගෙවීමට නොහැකි වීම යි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වත්මන් බංකොලොත් භාවය ලෙස දැක්වෙන්නේ, රජයට තම විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීම යි. එහෙත්, දේශීය මුදලින් ගෙන ඇති ණය ගෙවීම අඛණ්ඩව සිදු වෙයි.

මේ දක්වා සියළු රජයන් විසින් තම අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අංගයක් ලෙස විදේශ ණය ගැනීම සහ ආපසු ගෙවීම නිසි පරිදි සිදු කොට ඇත. එය හුදෙක් ආණ්ඩුවේ දේශපාලනික නායකයන් විසින් තම හිතු මනාපයට කරන දෙයක් නොවේ. ඒ සඳහා ඉහළ පෙළේ රාජ්‍ය අධිකාරි පද්ධතියක් පවතී. එහි ප්‍රමුඛත්වය මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව යි. එබැවින්, මෙවර රජය විසින් තම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීම හුදෙක් හුදකලා දේශපාලනික තීරණයක් නොවේ. එය පද්ධති අසමත් වීමකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අධිකාරීන් විසින් තම වැරදි සහ අසමත්වීම්වල දොස් පටවන්නේ රටට සහ මහජනතාවට යි. එබැවින්, මෙම බංකොලොත් භාවය ද, ඔවුන් විසින් මහජනතාවට පැටවීම සිදු කොට ඇත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා බංකොලොත් භාවයේ සැබෑ බංකොලොත් කරුවා යනු රජයවත්, රටවත් නොව මහ බැංකුව බවට තාක්ෂණික නිගමනයක් ඉදිරිපත් කිරීම යි.

රාජ්‍ය විදේශ ණය උගුල – මහ බැංකු විදේශ මුදල් සංචිතය සහ ආනයන ආර්ථිකය 

මෙම අවස්ථාවේ සියළු දෙනා විසින් විදේශ ණය ඉලක්කම් සහ ණය බර ගැන පුන පුනා කථාන්දර පැවැත්වීම කෙරේ. එය සෑම රටකම ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ කොටසකි. එබැවින්, ශ්‍රී ලංකා ණය කථාන්දරයේ විශේෂත්වයක් නොමැත. එහෙත්, විදේශ ණය බර හෝ අර්බුදයෙහි මූලය සොයා, ඊට ප්‍රයෝගික තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීමක් සිදු නොවීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා විදේශ ණය අර්බුදයේ සැබෑ ආර්ථික මූලය වන්නේ, ආනයන ආර්ථිකය මූල්‍යකරණය රාජ්‍ය විදේශ ණය මගින් කිරීම යි. එය සිදු වූ ආකාරය කෙටියෙන් මෙසේ ය.

  • 1950 සිට මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරු, මූල්‍ය අධිකාරිය සහ විදේශ සංචිත කළමනාකරු වූයේ මහ බැංකුව යි.
  • මහ බැංකුව විසින් ප්‍රමාණවත් විදේශ මුදල් සංචිතයක් පවත්වා ගැනීමේ මහජන වගකීම වූයේ, විනිමය අනුපාතය ස්ථායිකරණය සහ ගෙවුම් ශේෂ හිඟයන් පියවීම යි. එය ආර්ථිකයේ ස්ථායිතාවයට අත්‍යාවශ්‍ය වගකීමක් විය. ඒ සඳහා පුළුල් පරාසයක මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීමේ ස්වාධීන අධිකාරිය මහ බැංකුව සතු විය.
  • ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරණ ව්‍යුහය අනුව පසුගිය දශක කිහිපය පුරා ආර්ථිකය දැඩි ලෙස ආනයන මත රැඳුන අතර දුර්වල අපනයන පදනම හේතු කොට ආර්ථිකය අඛන්ඩ විදේශ ගෙවුම් හිඟයකට මුහුණ දෙන ලදි. මෙය ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය ලෙස හැඳින්වෙයි.
  • මෙම හිඟය පියවීම කළ යුත්තේ ආර්ථිකයට ලැබෙන විදේශ ප්‍රාග්ධන මුදල් හරහා ය. එය ප්‍රමාණවත් නොවන විට, එම හිඟය පියවීමට අවශ්‍ය විදේශ මුදල් මහ බැංකු විදේශ සංචිතයෙන් එදිනෙදා බැංකු පද්ධතියට සැපයිය යුතුය.
  • තව ද, ආර්ථිකයේ විදේශ තරගකාරිත්වය සඳහා නිෂ්පාදන පිරිවැය, මිල මට්ටම සහ උද්ධමනය ඉලක්ක මට්ටම්වල පාලනය කිරීම සඳහා විනිමය අනුපාතය ආරක්ෂා කිරීම ද අවශ්‍ය වූ අතර එය විදේශ සංචිතයෙන් විදේශ මුදල් බැංකු පද්ධතියට සැපයීම හරහා සිදුවිය.
  • එහෙත්, මහ බැංකුව විසින් ආර්ථිකයේ මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කිරීමටත්, ඒ මගින් විදේශ සංචිතය තර කර ගැනීමටත් හැකි පරිදි දිගු කාලීන සංවර්ධන ඉලක්කයන් මත මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් කළේ නැත.
  • ඒ වෙනුවට මහ බැංකුව විසින් කරන ලැබුවේ, රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් ක්‍රියාකාරී ලෙස රජයට විදේශ ණය රැස් කිරීමත්, එම විදේශ මුදල් මහ බැංකුව මිල දී ගෙන රජයට රුපියල් මුදල් ලබා දීමත් හරහා තම විදේශ සංචිතය පවත්වා ගැනීම යි. රජයට ලැබෙන සියළු නිළ ණය සහ ප්‍රේෂණයන් ද මෙසේ විදේශ සංචිතයට එකතු වෙන ලදි. මෙය විදේශ සංචිත මුදල් ක්‍රීඩාවක් බවට පත් වූයේ, මහ බැංකුව විසින් විදේශ මුදල් වෙළෙඳපොළ හරහා රජයට නිරන්තරයෙන් කෙටි සහ මැදි කාලීන වෙළෙඳපොළ ණය රැස් කිරීමේ ක්‍රමවේදයක් පසුගිය දශක එක හමාරක පමණ කාලය පුරා අනුගමනය කිරීම යි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර යනු ඒ සඳහා යොදා ගත් ප්‍රධාන ණය මෙවලමකි. සංවර්ධන බැඳුම්කර, මහ බැංකු විදේශ මුදල් හුවමාරු, දේශීය රාජ්‍ය සුරැකුම්පත් විදේශීය ආයෝජකයන්ට අළෙවි කිරීම සහ විදේශ බැංකු ණය යනාදිය අනෙක් මෙවලම් ය. ඊට අමතරව, විදේශ සංචිතය පහළ යාමේ නැඹුරුවක් පවතින විට IMF ණය මුදලක් ලබා ගන්නා ලදි. මෙම වසරේ දී ලබා ගත් ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදල එසේ ලබා ගත් 17 වැනි IMF ණය මුදල යි.
  • ඒ අනුව, මහ බැංකුව විසින් කරනු ලැබුවේ, හුදෙක් ගිණුම්කරණ ක්‍රීඩාවකි. එනම්, රාජ්‍ය ණය රැස් කිරීම හරහා විදේශ සංචිතය තර කිරීමත්, රාජ්‍ය ණය සේවාකරණයට සහ විදේශ ගෙවුම් හිඟයට අවශ්‍ය විදේශ මුදල් එම සංචිතයෙන් සැපයීමත්, නව රාජ්‍ය ණය රැස් කිරීම හරහා නැවත විදේශ සංචිතය පිරවීමත් ය. වංචාකාරී පොන්සි මූල්‍ය ආයෝජන ක්‍රමයන් ද මීට සමාන ලෙස ණය හරහා ක්‍රියාත්මක වෙයි.
  • එසේ ගන්නා ලද සෑම ණයකම ඵලදායිතාවය සහ මූල්‍ය බලපෑම ඇගයීමෙන් පසු මහ බැංකු අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ආර්ථිකයේ වර්ධනය, උද්ධමන පාලනය, පොලී අනුපාතයන් පාලනය සහ ස්ථායිතාවය සඳහා මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය වාහකය වූයේ රාජ්‍ය විදේශ ණය යි. එබැවින්, ආර්ථිකය විදේශ ණය උගුලකට හිර වූ අතර එමගින් ආර්ථිකය ව්‍යුහාත්මක අවදානම් රාශියකට මුහුණ දුනි.

ගෝලීය කොරෝනා වසංගතය සහ විදේශ මුදල් අර්බුදය 

ඉහත දැක්වූ රාජ්‍ය විදේශ ණය-මහ බැංකු විදේශ සංචිතය- ආර්ථික මූල්‍යකරණ සහ ස්ථායිතා මොඩලය 2020 මාර්තු මස සිට ගෝලීය කොරෝනා වසංගතය තුළින් හට ගත් සැපයුම් දාමයන් කඩා වැටීම සහ උග්‍ර වෙළෙඳපොළ අස්ථායිතාවයන් හේතු කොට කඩා වැටෙන ලදි. ඊට දේශපාලනික අස්ථායිතාවය ද තෝතැන්නක් විය.

එතෙක් පැවති විදේශ සංචිතයෙන් සහ ඩොලර් බිලියන 4-5 ක පමණ නව නිළ විදේශ ණය ගිවිසුම් කිහිපයක් හරහා විදේශ ණය සේවාකරණය ඇතුළු විදේශ ගෙවීම් කළ ද, සුපුරුදු විදේශ වෙළෙඳපොළ ණය රැස්කිරීම කඩා වැටීම හේතු කොට මහ බැංකු විදේශ සංචිතය දිය වී යන ලදි. 2022 අප්‍රේල් මාසය වන විට ද්‍රවශීල විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කට පමණ පහළ ගිය බව පාර්ලිමේන්තුවට වාර්තා විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ මුදල් අර්බුදය මෙය යි. සමස්ත ආර්ථිකයම රාජ්‍ය විදේශ ණය-මහ බැංකු විදේශ සංචිතය වටා සංකේන්ද්‍රණය වී පැවති බැවින්, විදේශ මුදල් අර්බුදය විසින් සමස්ත ආර්ථිකයම අක්‍රීය කරන ලදි.

විදේශ මුදල් අර්බුදය සහ රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම

මෙම තත්ත්වය තුළ 2022 අපේල් මස 12 දින මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය ඒකාබද්ධව රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත්හිටුවන ලදි. එය සිදු කරන ලද්දේ, එවක ජනාධිපති විසින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් තනතුරු දෙකට අප්‍රේල් මස 7 දින පත් කොට දින හතරකය පසුව ය. එබැවින්, ඔවුන් දෙදෙනා තම තනතුරු භාර ගෙන ඇත්තේ, ආර්ථිකයේ විදේශ මුදල් තත්ත්වය පිළිබඳ ව නොදැන නොවේ. තව ද, ඔවුන් දෙදෙනා ඉහත දැක්වූ විදේශ සංචිත සහ රාජ්‍ය ණය කළමනාකරණය දශකයකට වැඩි කාලයක් මෙහෙයවූ ඉහළ නිලධාරීන් දෙදෙනෙකි.

රාජ්‍ය විදේශ ණය සේවාකරණයේ දී එතෙක් සිදු වූයේ, නියමිත ණය වාරික දිනයේ දී ගෙවිය යුතු විදේශ මුදල් ප්‍රමාණයට අදාළ රුපියල් මුදල් ප්‍රමාණය රජයෙන් ලබා ගෙන, මහ බැංකුවේ විදේශ සංචිතයෙන් ණය ගෙවීම යි. ඊට අවශ්‍ය රුපියල් මුදල් රජය විසින් තම දේශීය ණය ගැනීම් සහ ආදායම් මූලයන් හරහා සපයා ගනු ඇත. දේශීය මුදල් අධිකාරිය රජය බැවින් මුදල් මැවීම හරහා දේශීය මුදලින් ණය ගෙවීමේ හැකියාව ඕනෑම අවස්ථාවක රජයට පවතී. එබැවින්, විදේශ ණය සේවාකරණයට අවශ්‍ය දේශීය මුදල් ප්‍රමාණය මහ බැංකුව වෙත සැපයීමේ ගැටළුවක් රජයට නොවීය. විදේශ ණය ගෙවීම සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී ද, සිදු වනුයේ එම ණය හරහා දේශීය මුදල් මුද්‍රණය කිරීම යි.

එබැවින්, රාජ්‍ය විදේශ ණය සේවාකරණය මුහුණ දුන් අර්බුදය වූයේ, සුපුරුදු පරිදි රජයට අවශ්‍ය විදේශ මුදල් සැපයීමට මහ බැංකුවට නොහැකි වීම යි. ඊට හේතුව, නව විදේශ ණය හිඟය හේතු කොට මහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම යි. එබැවින්, රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමට හේතුව මහ බැංකුවේ විදේශ මුදල් බංකොලොත් භාවය යි. එනම්, මහ බැංකුව විසින් නීතියෙන් කළ යුතු විදේශ මුදල් ගෙවීම් සඳහා අවශ්‍ය විදේශ මුදල් වත්කම් මහ බැංකුව වෙත නොවීම යි.

එහෙත්, තම බංකොලොත් භාවය මහ බැංකුව විසින් තම මාධ්‍යය හරහා රජයට පටවන ලදි. එනම්, රාජ්‍ය විදේශ ණය තිරසාර නොවීමේ ප්‍රතිඵලයක් ලෙස රජය බංකොලොත් වූ බව යි. රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම හේතු කොට විදේශ වෙළෙඳ ගනුදෙනු විශ්වාසය කඩා වැටීමේ අර්බුදයකට බැංකු මුහුණ දුන් බැවින්  ආර්ථිකයට අවශ්‍ය තෙල් සහ ගෑස් ආනයනය කිරීමට නොහැකිවීම  හරහා සමස්ත ආර්ථිකයම අක්‍රීය විය. එබැවින්, මෙය ශ්‍රී ලංකා බංකොලොත් භාවය ලෙස නම් පට බඳින ලදි.

නිගමනය

  • එබැවින්, රාජ්‍ය විදේශීය ණය මේ දක්වා පැහැර හැරීම රාජ්‍ය බංකොලොත් භාවය හෝ ආර්ථික බංකොලොත් භාවයේ ප්‍රතිඵලයක් නොව නොව මහ බැංකුවේ විදේශ මුදල් බංකොලොත් භාවයේ සෘජු ප්‍රතිඵලය යි. මහ බැංකුව එවැනි බංකොලොත් තත්ත්වයට පත්වීම නීති විරෝධී ක්‍රියාවකි.
  • මහ බැංකුව විසින් IMF සමඟ එකතු වී රාජ්‍ය දේශීය ණය ද තිරසාර නොවන බව ප්‍රකාශ කිරීම යනු මහ බැංකු විදේශ බංකොලොත් භාවය රජය පිට පැටවීමේ දෙවන උපක්‍රමය යි. නූතන මූල්‍ය න්‍යායන්ට අනුව කිසිම රජයකට බදු ආදායම හිඟ වීම තුළින් දේශීය ණය පැහැර හැරීමේ තත්ත්වයක් හට ගත නොහැකිය. ඊට හේතුව, රජයන් විසින් නව ණය ගැනීම හරහා ණය ගෙවීම සහ අයවැය හිඟය පියවීම කරන බැවිනි. ස්වෛරිත්ව මුදල් බලය රජයට පවතින බැවින් ඒ සඳහා මුදල් මැවීමේ හැකියාව රජයට පවතී.  පසුගිය කාලයේ දී රජය විසින් 30%-35% පොලී අනුපාතයන්ට ද දේශීය ණය ගත් අතර ඒවා දැනට නියමිත පරිදි ගෙවීම සිදු කෙරේ. එබැවින්, ලෝකයේ කිසිම රටක් දේශීය ණය පැහැර හැරීමක් සිදු කොට නොමැත. එබැවින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාව මහජනයා රැවටීම සඳහා මහ බැංකුව විසින් යොදා ගත් උපක්‍රමය කි. එබැවින්, දේශීය ණය සහ හිඟ අයවැය තිරසාර නොවීම යන මතවාදය හුදෙක් රාජ්‍ය මූල්‍ය හෝ අයවැය ද ව්‍යාපාරික සමාගම් සහ කුටුම්බ අයවැයන්ට සමාන කොට ඉදිරිපත් කරන පදනම් විරහිත මිත්‍යා මතයකි.
  • සමස්තයක් වශයෙන් ගත් විට, වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය ණය අර්බුදය යනු මහ බැංකු විදේශ මුදල් අර්බුදයේ බර මහජනතාවට පැටවීමේ උපක්‍රමයකි. රාජ්‍ය වියදම් කැපීම, බදු ඉහළ දැමීම, පොලී අනුපාතයන් ඉහළ දැමීම, රජයට දෙන මහ බැංකු ණය සීමා කිරීම වැනි හිතෙන හිතෙන පරිදි රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් සහ ආර්ථිකය පාලනය කිරීම මගින් එය මනාව පැහැදිලි ය. මේ සියල්ල කරනු ලබන්නේ, බංකොලොත් භාවයෙන් හෝ ආර්ථික අර්බුදයෙන් මහජනතාව ගොඩ ගැනීමට බව ද ප්‍රකාශ කෙරේ.
  • එබැවින්, අවසානයේ දී මහ බැංකු විදේශ මුදල් අර්බුදය සහ බංකොලොත් භාවය මහජනතාවගේ වැරැද්ද බවට පටවා ඇත. ඒ බව මහ බැංකු අධිපති විසින් මෑත දී ඔහු විසින් කරන ලද ආර්ථික දේශනයක දී ඉදිරි මැතිවරණවල දී වත්මන් IMF ණය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන නායකයන්ට ඡන්දය දෙන ලෙස ඇඟවීමක් සිදු කොට ඇත (එම වීඩියෝව පහත දැක්වෙයි). එසේ නොමැතිව IMF ණය වැඩසටහන කඩාකප්පල් වුව හොත්, තවත් දැරිය නොහැකි ඉදිරි ආර්ථික අර්බුදයක් ගැන ද ඔහු විසින් අනතුරු අඟවා ඇත. මෙම දේශනයේ දී ඔහු විසින් ප්‍රකාශ කරන්නේ, විදේශ මුදල් ඉපැයීම ඇතුළු ආර්ථිකය තිරසාර ලෙස ප්‍රතිසැකසීම මහජනයා විසින් කළ යුතු බව යි. ඒ සඳහා මහ බැංකුව සහ රජය විසින් තම රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ව කිසිම අදහසක් දක්වා නොමැත. මෙහි දී, මහ බැංකුව යනු හුදෙක් මහ බැංකු පොලී අනුපාතය මගින් ආර්ථිකයේ උද්ධමනය පාලනය කරමින් පැත්තකට වී සිටින ආයතනයක් ලෙස හඟවා ඇත. මෙවැනි ආර්ථික විද්‍යා පංති කාමර දේශනාවන් දහස් ගණනක් දිය හැකිය. එහෙත්, සාර්ව ආර්ථික කළමනාකරණ අධිකාරීන්ගේ මහජන වගකීම වන්නේ, පොදුජන හිතසුව පිණිස ආර්ථිකයේ සංවර්ධනය සහ ස්ථායිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම යි.
  • මේ අතර රජය විසින් IMF දෙවැනි ණය වාරිකය ඩොලර් මිලියන 337 සමඟ මේ මස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් 200 සහ ලෝක බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 250 තුළින් 2023 අවසානයේ දී මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇති බවට අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් ප්‍රකාශ කොට ඇත. එබැවින්, මෙය හුදෙක් කඩා වැටී ඇති ඉහත දැක්වූ රාජ්‍ය විදේශ ණය – මහ බැංකු විදේශ සංචිත ආර්ථික උගුල නැවත යාවත්කාලීන කොට, ආර්ථික බංකොලොත් භාවයෙන් මහජනතාව මුදවා ගත් බවට නුදුරු අනාගතයේ දී ප්‍රකාශ කිරීමට කෙරෙන උත්සාහයකි.
  • මෙහි දී, බංකොලොත් භාවය යන්නට ගිණුම්කරණ අර්ථකතනය බැලීමේ දී රජය බංකොලොත් වී ඇති බව පැවසීමට අවශ්‍ය දත්ත නොමැත. එම අර්ථකථනය වන්නේ යම් ව්‍යාපාරික සමාගමකට හෝ ආයතනයකට තම වගකීම් සියල්ල ගෙවීමට ප්‍රමාණවත් වත්කම් නොමැති වීමේ තත්ත්වය යි. මෙය ආයතනයක ශේෂ පත්‍රය ඇසුරින් කෙරෙන අර්ථකථනයකි. ශ්‍රී ලංකා රජයට ශේෂ පත්‍රයක් සකසා නොමැත. ණය වැනි මූල්‍ය වගකීම් ගණනය කිරීමක් පවතී. එහෙත්, රාජ්‍ය වත්කම් වටිනාකම ගණනය කිරීමේ ගිණුම් ක්‍රමවේදයක් නොමැත. අප දන්නා රාජ්‍ය වත්කම් ගණනය කිරීමක් කළ හොත්, එම වත්කම් වටිනාකම රාජ්‍ය ණය වගකීම් වටිනාකමට වඩා ඉතා විශාල විය යුතුය. එබැවින්, රජය බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ කිසිම තර්කානුකුල භාවයක් නොමැත. එහෙත්, යම් යම් අවස්ථාවල ණය සහ වෙනත් ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමේ තාවකාලික ගැටළු ඇති විය හැකිය. එය බංකොලොත් වීම නොව ද්‍රවශීලතා ගැටළුවකි. ඕනෑම රජයක් යම් යම් අවස්ථාවල ද්‍රවශීල ගැටළුවලට මුහුණ දීම ප්‍රයෝගික කරුනකි. එය රජයට මුදල් නොමැති වීමේ ප්‍රතිඵලයක් නොව භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතියේ දුර්වලතාවයකි. එබැවින්, රාජ්‍ය අයවැය සහ ණය පිළිබඳ ගණකාධිකරණ මූලධර්මයන් සහ සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් අතර වෙනස හඳුනා ගැනීම අවශ්‍ය ය. එහෙත්, වත්මන් රජය උත්සාහ කරන්නේ ගණකාධිකරණ මූලධර්මයන් මත ආර්ථිකය කළමනාකරණය කිරීමට ය.

සමස්තයක් වශයෙන් ගත් විට, නූතන ආර්ථික විද්‍යා මූලධර්මයන්ට එරෙහිව වත්මන් රාජ්‍ය ණය නොතිරසර භාවය වටා ගෙතෙන රාජ්‍ය සහ දේශීය මුදල් විරෝධී IMF ආර්ථික කළමනාකරණ මතවාදය ඉදිරියට ගෙන යාම තුළින් ආර්ථිකය දශක කිහිපයක අවපාතයකට හසු වනු ඇත. ඒ බව, විශාල වශයෙන් තරුණ සහ වැඩිහිටි ශ්‍රම හමුදාව රට හැර යාමෙන් පැහැදිලි වෙයි. අතීතයේ දී මෙවැනි මතවාදයන් අනුව රාජ්‍ය ණය සහ අයවැය හිඟය පහළ දැමීමට ගන්නා ලද පටු දේශපාලනික උත්සාහයන් හේතු කොට සංවර්ධිත රටවල් පවා ආර්ථික පසුබැසීම්වලට මුහුණ දී ඇත.

(රාජ්‍ය අයවැය සහ ණය පිළිබඳ වත්මන් මිත්‍යා මතයන් ආවරණය වන ලිපියක් ඉදිරියේ දී පළ කිරීමට බලපොරොත්තු වෙමි.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

මූලාශ්‍රය: Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan