චණ්ඩියෙක් යනු ක්ෂිතියක්ද ? – මහේෂ් හපුගොඩ

Date:

විජය කුමාරණතුංග, ගාමිණි ෆොන්සේකා, ජීවන් කුමාරණතුංග, උතුවන්කන්දේ සරදියෙල්, රොබින් හුඩ්, මෙල් ගිබ්සන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් යන ඕනෑම කෙනෙක් ගත්තොත් එක් අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවක චන්ඩියෙක්ගේ භූමිකාව රඟපාල තියනවා. තවත් සුවිශේෂ කළොත් එයාල ‘පුරුෂ චන්ඩි’ කියල කියන්නත් පුළුවන්. ඒ ගොඩක් අවස්ථාවල එයාල ජීවිතය වෙනුවට මරණය තෝරා ගන්නවා. හෝ ඒ මරණයේ දිශාව තෝරා ගන්නවා. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ඔවුන් උත්කෘෂ්ට සංකේතනයක් (sublime existence) ලබා ගන්නේ ඒ නිසා. චන්ඩිකම ගොඩක් වෙලාවට මරණය එක්ක බැඳිලා තියන දෙයක්. යම් ‘සමුරායිකරණයක්’ ඒ තුළ තියනවා (දැනට මේ ගැන ලියමින් යනවා).

මේ අනුව චන්ඩිකම කියන්නේ සම්පුර්ණයෙන් ජන සමාජයකින් ඉවත් කළ හැකි දෙයක් නෙවෙයි. ඕනෑම සමාජයක මේ මරණයට බය නැති මිනිස්සු, ජීවිතය යම් අරමුණක් වෙනුවෙන් කැප කරන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙච්ච, ජීවිතයට වඩා වෙනත් අරමුණක් වැදගත් කියල හිතපු අය ඒ සමාජයේ යම් වීරත්වයක් ලබා තිබෙනවා. ඒ වීරත්වය ප්‍රාථමික ආකාරයකින් නම් දේවත්වයක් දක්වා පවා ගමන් කරලා තියනවා.

ලංකාවේ සමාජය ඇතුලෙත් මේ වගේ වීරයෝ ඉන්නවා. ඉඳල තියනවා. ශිෂ්ට බව ඉක්මවා ගිය යම් චන්ඩි බවක් ඒ අය ඇතුලෙත් දකින්න පුළුවන්. එයාල පුර්ණ වශයෙන් සුදු චරිත නෙවෙයි. වැදගත් දෙයක් ඒක. එයාල සම්පුර්ණයෙන් සුදු චරිත වුණොත් මම හිතන්නේ අර චන්ඩි ගතිය නැති වෙලා යනවා.

මේ අනුව චන්ඩි ගතිය කියන්නේ මට ක්ෂිතියක් නෙවෙයි. මනුෂ්‍ය පැවැත්මේ එක පැතිකඩක්. තරණය කළ යුතු දෙයක්. ජවයක්. මනමේ කුමරිය උණත් අර ජව සම්පන්න වැදි රජුට ආශා කරන්න ඇති. ඒක මරු….

මනමේ කුමරිය, කුමරා සහ වැදි රජු යන හැමෝම යම් නිශ්චිත නිමේෂයක පැවැත්මේ එක්තරා අහඹු කොරිඩෝවක ගමන් කරපු තුන් දෙනෙක් (passage of contingency).

ක්ලින්ට් ඊස්ට්වුඩ් මුලින් කරපු ෆිල්ම් නෙවෙයි පස්සේ කළේ. ඔහු ඒ කොරිඩෝව ඇතුලේ ගමන් කරපු කෙනෙක්. මිනිස්සු කාලය එක්ක ලිබිඩෝව සකස් කර ගන්නවා.

මිනිසා හැමවිටම පැවැත්ම ඇතුලේ අරගලයක ඉන්නේ. ඔහු හැම මොහොතකම රූපාන්තරණය වෙනවා. ඉස්කෝලේ යන කාලේ ‘පිටස්තරයා’ නවකතාව කියවපු විදියට නෙවෙයි දැන් මම ඒක කියවන්නේ. අත්දැකීම් සහ අවබෝධය එක්ක ලෝක දැක්ම වෙනස් වෙනවා. ඒ සඳහා ඉඩක් හැම සමාජයකම තියෙන්නේ ඕනි.

අනිත් එක යම් යම් අර්බුද වලට (ජිවිතයේ සහ පොදු සමාජයේ) මුහුණ දීමත් එක්කත් ජීවන ලෝකය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිස් පරිවර්තනයන් සිදු වෙන්නේ තනි පුද්ගල අවබෝදය එක්ක. අත්දැකීම බාහිර සමාජයෙන් ආව උණත් වෙනස් විය යුතු පිළිවෙල ගැන නැවත හැරී බලන්නේ මිනිසා තනි පුද්ගලයෙක් හැටියට. යුක්‍රේන ජනාධිපතිගේ උදාහරණය මම ගත්තේ යම් පුද්ගල විපරිණාමයක් පෙන්නන්න. අර්බුදය ඇතුලේ ඔහු ලෝකයේ කතා බහට ලක්වෙන ආකාරය පෙන්වන්න. ඔහු කුසලතා වර්ධනය කර ගන්නා ආකාරය පෙන්වන්න. අපේ මිනිස්සු අර්බුද ඇතුලේ තව තව ගර්හිත වෙන එක පෙන්නන්න.

මම යමක් ලියන්නේ සාමුහික කතා බහක් ඇතුලේ නෙවෙයි. තනි පුද්ගලයෙක් හැටියට. මොකක් ලියන්න ඕනිද මොකක් පරිවර්තනය කරන්න ඕනිද කියල තීරණය කරන්නෙත් එහෙමයි.

මම ලියන කියන දේවල් අනිවාර්ය වශයෙන් මාක්ස්වාදී හෝ මනෝවිශ්ලේෂණ හෝ වෙනයම් න්‍යායක් එක්ක සමපාත වෙන්න ඕනි කියල මම හිතන්නේ නැහැ. ලෝකය දිහා ගොඩක් ලෙන්සස් පාවිච්චි කරලා බලන්න පුළුවන්. හැම ලෙන්ස් එකක්ම එක් එක් තැනදී වෙනස් වටිනාකම් සහිත වෙන්න පුළුවන්.

ඒ වගේම සමාජයක් කොතැනට යා යුතුද කියන එක ගැන මට අදහසක් නැතුවත් නෙවෙයි. ෆේස්‌බුක් එක හොඳම තැන නොවන බව නොදන්නවත් නෙවෙයි. ඒත් මම දැනට තෝරාගෙන තියෙන මාවත ඒක.

සමස්තයක් ඇතුලේ යුක්‍රේනය රුසියාවෙන් වෙන් වෙනවටත් තායිවානය චීනයෙන් වෙන් වෙනවාටත් මම කැමතියි. ඒ අනුව තමයි යුක්රේන ජනාධිපති ගැන පළවෙලා තිබ්බ අර ළිපිය මම සරළ කරලා දැම්මේ.

ඒ නව නිදහස් රටවල් වඩාත් පශ්චාත් පුනරුද යුරෝපිය වටිනාකම් එක්ක ගමන් කරනවාටත් මම කැමතියි. බෞද්ධයෙකුට ඒ වටිනාකම් එක්ක ගමන් කරන්න තවත් ලේසියි.
මාව කියවන සියළු පාඨක ප්‍රජාවට ස්තුති. මාව උපුටන සියලු වෙබ් සහෝදර සහෝදරියන් ට ස්තුති. රික්වෙස්ට් ගොඩක් පෙළ ගැහිලා තිබ්බත් ඒවා ඔක්කොම ගන්න විදියක් නැහැ. දැනට ඔයාල ෆලෝ ඔප්ෂන් එකේ ඉන්න.

සුබ දවසක් !

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...