තමන්ගේ නම වෙනුවට වෙනත් නමක් පාවිච්චි කළ නවය වසරේ කොල්ලෙක් ඉස්කෝලේ පොත්වල පවා ඒ නම ලියාගෙන හිටියේ හෙන ආඩම්බරෙන්. මූට කොහොමත් ටිකක් පිස්සු ඇතැයි තේරුණු නිසා හෝ කොල්ලා පන්තියේ පොඩ්ඩක් බැබළුණු නිසා හෝ ගුරුවරුත් ඔය ජාතියේ වැඩ ඒ තරම් මායිම් කරේ නැහැ. සමහර ගුරුවරුන්ට ඒ වැඩේ මීටර් වුණෙත් නැහැ. ඒ කොහොම වුණත්, තැපැල් අයිඩින්ටියට ඒ නමින් අත්සන් කරලා තිබෙන බව මහා අපරාධයක් හෙළිකරන්නා සේ අම්මාට කේලම කිව්වේ කොල්ලාගේ මල්ලී.
ගිනිකන්ද පිපිරුවා. තොපිට දෙමව්පියන් දාපු නම් හොඳ නැති වුණාදැ
යි බැණ වදිමින් අම්මා හනස්සකුත් රැගෙන යක්ෂාවේශයෙන් පසුපස පන්නන විට හනසු පහර කාගෙනම ඉදිරියට දිව ගිය විමුක්ති රණසිංහ
නතර වුණේ උසට උසේ තිබ්බ පේර ගහේ දල්ලේ. අම්මාගේ පැන්නීම පේර ගස මුලින් අවසන් වුවත් තවත් විනාඩි දහයක් දොළහක් යන තුරු, ගුරුත්වාකර්ෂණ නියමයන් දෙදරවාගෙන පොළවේ සිට අහසට බැනුම් වරුසාව ඇද හැලුණා මතකයි. අන්තිමේදී ආරුඪ නාමයෙන් ගහට නැග්ග කොල්ලා සැබෑ නමින් යළි බිමට බැස්සා.
එහෙව් නමක් හැදෙන්නත් එවකටත් බෝවී තිබුණු දේශපාලන උණ බලපාන්න ඇති. ජනතා විමුක්තිය, දේශප්‍රේමී ජනතාව, කීර්ති විජයබාහු ආදී නාම හා සංකල්ප අර කොල්ලාගේ මනසට බලපාන්න ඇති. කීර්ති විජේබාහු යනුවෙන් හැඳින්වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු බව කොල්ලා දැනගත්තේ තවත් ටික කාලෙකට පස්සේ. ආරූඪ නම්වලින් ලේඛනයේ යෙදීම හරිම අරුමැසි දෙයක් විදිහට ඒ කාලෙ පෙනුණා. ඒක එක්තරා ආකාරයක ගරිල්ලා පහරදීමක්. ෆේක් එකවුන්ට් බහුල වත්මන් ෆේස්බුක් යුගයේ නම් සන්දර්භය වෙනස්. එදා මෙදා යනු දෙකක්.
පසුගිය සතියේ සුනිල් අයියා ගැන ලියූ සටහනේ විමලසිරි ගම්ලත් ගැන සඳහන කියැවූ කෙනෙක්, ආරූඪ නාමවලින් ලියූ පත්තරකාරයන් ගැන ලිව්වොත් හොඳ නැද්දැයි ඇසුවා. හොඳයි නේන්නම්. මේ පූර්විකාව ඒකට නොවැ. ලියුම්කරු වැඩියෙන්ම ආදරය කළ සහ කරන පත්තරය තමයි හිරු. විමලසිරි ගම්ලත් නමින් හිරුට ලිව්වේ විමල් වීරවංශ. විභූති වීදිය බණ්ඩාර, උදය කීර්ති පෙරේරා නමින් ලිව්වෙත් ඔහුම තමයි. උදය යනු මියගිය සටන් සගයෙක්ගේ නම බව සැලයි. විමලුත් තාම ඒ නම්වලට ආස ඇති.
එවකට ගම්ලත්ගේ සමීපතම මිත්‍රයා රෝහිත භාෂණ අබේවර්ධන. නවීන් රත්නායකගේ රචනයන් භාෂණ ශෛලියට කිට්ටුයි.තවත් හිරු තරුවක් වූ සිසිර යාපාටත් ආරූඪ නාමයක් හෙවත් පත්තර කලාවේ සිංහලෙන්ම කිව්වොත්, පෙන් නේම්
එකක් තිබ්බා. ඒ තමයි එස්.කහටවිල. මේ පෙන් නේම් පුරාවෘත්තය ලිවිය යුතුයි යන අදහස හිත ඇතුළේ ලියලමින් තියෙද්දී උපුල් ශාන්ත සන්නස්ගල, බන්දුල පද්මකුමාර උපහාර සාකච්ඡාවක් යූ ටියුබයට මුදාහැර තිබුණා. ඉතා ලස්සන පෙන් නේම් කීපයක් එයිනුත් හෙළිදරව් වුණා.
ලිහිණි රඹුක්වැල්ල සහ ප්‍රතිභා මඩුගල්ල නම්වලින් ලියා ඇත්තේ වෙනින් කවුරුත් නෙමෙයි සන්නස්ගල. ඒ කාලයේ අපේ නෑදෑ අක්කලා වහවැටී සිටි කුමරි පත්තරේ දේවින්ද දසනායක තමයි ධර්මරත්න පෙරේරා. ඒ විතරක්යැ. එවකට කුමරියන් ආලයෙන් මුසපත් කළ චාමර මුතුනායක කවුද ? ඒ කුමාර සිරිවර්ධන. සන්නා එහි කී පරිදිම දේවින්ද දසනායකලා චාමර මුතුනායකලා අපේ ඔළුවල මැවී තිබුණේ හින්දි නළුවන් වගේ. අපේ ඔළුවලත් එහෙම මැවුනා නම් අපේ අක්කලාගේ ඔළුවල කොහොම මැවෙන්න ඇද්ද ?
ඉස්සර ඉරිදා දිවයිනේ කරුණාදාස සූරියආරච්චි, කසුරි
ලෙසින්, සිය නමේ අකුරු එකතු කර හදාගත් කෙටි නම නමටත් වඩා ජනප්‍රිය වුණා. ඊට පෙර පරපුරේ ගුණදාස ලියනගේ ගුලි
වීම වගේම සිරිල් බී පෙරේරා සිබීරා
වීම කසුරිට කසුරි වෙන්න බලපාන්න ඇති. දිවයිනේ එහෙම කෙටි නම් කීපයක්ම තිබ්බා. ගාමිණී සුමනසේකර සුගාර
වුණා. චන්ද්‍රසිරි දොඩන්ගොඩ චන්දො
වුණා. ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයමින් ලංකාදීපයේ ශාන්ත කුමාර විතාන ශකුවි
බවට පත්වූ හැටි සිත් ඇදගන්නා සුළුයි. ඒවා මේවා දුටු පත්තර ලෝලී පාසල් දරුවෙක් විසිකු
වුණා. චින්න චින්න ආසෛ !
ඇත්තේ බී ඒ සිරිවර්ධන රත්නසිරි නමින් ලියල තියෙනව බලධාරියා ප්‍රවෘත්ති කපන කාලෙක. ඇත්තේ පළමු කර්තෘ රත්නවීරගේ නමෙන් රත්න කොටසත් තමන්ගේ නමෙන් සිරි කොටසත් අරගෙන තමයි රත්නසිරි හැදිලා තියෙන්නේ. ඒ ඇත්ත
ටම සිරිලාල් කොඩිකාර රංචාගොඩ ළමයා
නමින් ගිනි විසිවෙන උපහාසයකින් පැදියක් ලිව්ව ඒ ඉතිහාසය ඇත්තටම ලස්සනයි. මේ ආරූඪ නාම හරි පුදුම සහගතයි. අසඩක් නමින් අසෝක ඩයස් ලිව්ව දිනපොත කියවන්නම විද්‍යා පුවත්පතක් වෙච්ච විදුසර ගත්ත ආට් කොමස් කරපු ළමයි ඕන තරම් ඉන්නවා.
ප්‍රේමදාස ආණ්ඩුව කාලයේ මුළු රටම ප්‍රේමදාසට එරෙහිව ලියන විට ප්‍රේමදාසට පක්ෂව දේශපාලන විග්‍රහයක් සිළුමිණේ ලිව්වා අනුරුද්ධ තිලකසිරි කියා ලේඛකයෙක්. ඒ දයාන් ජයතිලක බව බොහෝ අය අනුමාන කෙරුවා. වික්ටර් අයිවන් රාවයේ දේශපාලන විග්‍රහය ලිව්වේ කෞටිල්‍ය
නමින්. ජේ ආර්ට ප්‍රේමදාසට දේශපාලනිකව විරුද්ධ වුණු දයාසේන ගුණසිංහ රයිගම් රාළ,` උකුස්සා, භූතරිපෝටර්, ලුනටික්කා, හෙනහුරා, සංගුරා, මාර පුත්තරයා ආදී නම් ගණනාවකින් තීරු ලිපි ලිව්වා. තීරු ලිපි ලියූ නම් ගැන දිගට කතාකරන්න ගියොත් මේ තීරුවෙ තීරු ගතිය නැති වෙන්න පුළුවන්.
ඒත් ඉතින් මානිගේ තීරුව ලිව්වේ සුන්දර නිහතමානී ද මැල් බවත් බණ්ඩාගේ වාක්කිය ලිව්වේ තිඹිරියාගම බණ්ඩාර බවත් නොලියා කොහොමද මෙතැන? එකම නමකින් ලේඛකයන් කීප දෙනෙක් ලියූ අවස්ථාත් නැතුවා නෙමෙයි. ගාමිණී සුමනසේකර, ගයිරික පේරුසිංහ, ශාන් විජේතුංග යන ලේඛකයන් තිදෙනා එක් එක් කාලවල නාගසේන
නමින් දේශපාලන කොලමක් දිවයිනට ලියා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විවිධ පක්ෂවල මධ්‍යම කාරක සභිකයන් ලංකාවේ
විවිධ පුවත්පත්වලට විවිධ නම්වලින් දේශපාලන විග්‍රහයන් ලියා තිබෙන බවත් ඔබ දැනගත යුතුයි.
ලියුම්කරු පත්තර රස්සාවට එන්නේ ලංකා පත්තරෙන්. ඊට අතදෙන පළමු කර්තෘ එස්. සිවකුමාර්. සිවාගෙන් පස්සේ කර්තෘ වෙන්නේ චන්දන සිරිමල්වත්ත. සිරිමල්වත්ත ලියනවා සංජීව සමරසිංහ කියන පෙන් නේම් එකෙන්. ඒ නමින් ඇත්ත කෙනෙක් ඉඳල පොඩි පටලවිල්ලකුත් වුණාලු. පෙන් නේම්වලින් ලියනකොට ඒ වගේ නොහිත ප්‍රශ්නත් එන්න පුළුවන්. සඳුන් ශ්‍රීමාල් කියන්නෙත් චන්දන සිරිමල්වත්තගෙ ජනරළ පත්තරේට පාවිච්චි කරපු පෙන් නේම් එකක්. හිරු පත්තරේ හිටපු මැනුවෙල් ජයසේකර විදෙස් පිටුවක් කෙරුවා ජනරළට ජය ශ්‍රී මනුවර්ණ නමින්.
ප්‍රියන්ත ලියනගේ ලිව්වා වජිර පිටිගල කියල නමකින්. ඔය අන්තිමට කිව්ව ආරූඪ නම් තුන ලියුම්කරුගේ පත්තර ජීවිතයේ නාම නිර්මාණ හැටියටත් මතක ගොඩේ හංගල තියන්න පුළුවන්. ලංකා පත්තරේ හිටපු ප්‍රියදර්ශන දයාරත්නට නම් ගොඩක් තිබ්බා. ලංකා මාරසිංහ, ඉන්ද්‍රසිරි ජයසුන්දර, ගයාන් රූපසිංහ, කන්දයියා සුගීස්වරන් වගේම ලලිත්.පී.දයාරත්න කියන්නෙත් ඔහුම තමයි. සුබාෂ් ජයවර්ධන සුජය හා භාෂණ වීරතුංග නමින් ලියනකොට අසංක සායක්කාර අසාර නමින් ලංකා පත්තරය හැඩ කෙරුවා. සත්හඬ කන්තෝරුවේදී මුණගැහිච්ච කසුන් සමරතුංගට තිබ්බා ඉෂික ජයවර්ධන කියල පෙන් නේම් එකක්.
ආරක්ෂාව, ආස්වාදය, ඒකාකාරීත්වයෙන් මිදීම වගේම ආර්ථික හේතුත් ලංකාවෙ පෙන් නේම්වලට බලපාපු හේතු හැටියට ප්‍රකාශ වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා විවිධ ලේඛකයන් පෙන් නේම් පාවිච්චි කරලා තියෙනව. මාක් ට්වේන් කියන්නේ සැමුවෙල් ක්ලෙමන්ස්ගේ පෙන් නේම් එක කියල කියාදුන්නේ සඳුන් ශ්‍රීමාල්. මැක්සිම් ගෝර්කි කියන්නේ ඇලෙක්සෙයි මක්සිමොවික් පෙශ්කොව් කියල මතක් කළෙත් සඳුන්ම තමයි. චන්දිම ටයිරසී බණ්ඩාර, එස්. කහටවිල, කන්දයියා සුගීස්වරන්, වජිර පිටිගල, ඉෂික ජයවර්ධන යන උදවියත් මේ තොරතුරු හොයාගන්න නිසල් ජයතිලකට උදව් කළ බව ලියා තබන්න ඕනේ.
ඉතින් අන්තිමට හිතෙන දේ වූකලී, ආරූඪ නමක් හෙවත් පෙන් නේම් එකක් යනු ලේඛකයකුගේ හැංගි මුත්තන් කිරීමේ පුංචි ආශාවක පින්තූර පෙන්වන කන්නාඩියද ?
විමල් කැටිපෙආරච්චි