*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පමා වී වුවත් වියයුත්ත වෙමින් පවතී ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පසුගිය 03 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

ඇතැමුන් මෙය ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැල්ලක් පුපුරායාමක්, ආණ්ඩුවේ අවසානයෙහි ආරම්භයක්, ආණ්ඩුව බරපතළ ලෙස දුර්වලවීමක් යනාදී වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ දැරුව ද අප නම් මෙය දකින්නේ පමා වී නමුත් විය යුත්ත සිදුවීමක් වශයෙනි. විශේෂයෙන්ම ආණ්ඩුවේ පසුගිය වසර දෙකහමාරකට ආසන්න කාලයට සාපේක්ෂව ඉතාමත්ම ධනාත්මක ගමනක ආරම්භයක් වශයෙනි.

ඒ ඇයි ?

යහපාලන ආණ්ඩුව පෙරළාදමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 69 ලක්ෂයක ජනවරමකිනි. දෙවැනි තැනට පත්වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වූයේය. ඊළඟට 2020 වසරේ පැවති මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට සමත් වූ අතර පසුව එක්වූ තවත් මන්ත්‍රීවරුන් සමග එය තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් තහවුරු කර ගත්තේය.

එවැනි සුවිශාල පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුව සතුව තිබුණු නමුත් ආරම්භක පියවරේ සිටම ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටියේ තමන් සතුව දේශපාලන ස්ථාවරභාවයක් නොමැති තත්වයකි. ජනාධිපතිවරයාගේ තීරණාත්මක ආරම්භක පියවර වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙර ම ආණ්ඩුව දැවැන්ත බෙදීමක් ප්‍රදර්ශනය කළේය. ඒ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පිටුබලය තුළිනි.

කොළඹ වරායෙහි නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය සහ යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ ප්‍රශ්නයත් මතුවූයේ ඉහත කී පාර්ශ්වවල මැදිහත් වීමෙනි.

ආර්ථිකය සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්වයන් පවතිද්දී, අලුතින් පැමිණි ආණ්ඩුවෙහි ප්‍රධාන අභිප්‍රාය වූයේ හැකිතාක් විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට ඒ සඳහා යොදාගත හැකි හොඳම තුරුම්පුව වූයේ අතිවිශාල ජනබලයක් සහ ජනප්‍රියත්වයක් සහිත සිය ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවෙහි පවතින දේශපාලන ස්ථාවරභාවයයි. ඇත්තෙන්ම යහපාලන ආණ්ඩුවට මෙවැනි දේශපාලන ස්ථාවරභාවයක් නොතිබුණු අතර එජාපයත් – ශ්‍රීලනිපයත් දෙපැත්තට අදිමින් සිටි එම ආණ්ඩු සමයෙහි කිසිදු සුවිශේෂී ආයෝජනයක් මෙරටට ලබාගැනීමට හැකි වුණේ ද නැත. ඊට සාපේක්ෂව වත්මන් ආණ්ඩුවට තමන්ගේ දේශපාලන ස්ථාවරභාවය ජාත්‍යන්තර ආයෝජකයින් ඉදිරියේ හොඳින් අලෙවි කරගැනීමට අවස්ථාව තිබුණු නමුත් “පුදනකොටම කාපි යකා” කීවාක් සේ විමල්ලා, ගම්මන්පිලලා කළේ ඒ ඉඩහසර ඇහිරීමය.

වරායක ජැටියක් තවත් රටවල් දෙකක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට එරෙහිව ආණ්ඩුවේම ඇමතිවරුන් ඇතුළු පිරිසක් පාරට බැස යකා නටන රටකට, එක් විදුලි බලාගාරයක් පිළිබඳව තවත් රටක් සමග ගිවිසුමකට එළඹෙන්නට යාමේදී ඊට එරෙහිව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යවන රටකට ආයෝජකයින් නොපැමිණීම අරුමයක් නොවේ. ඇත්තෙන්ම අරුමයක් වන්නට තිබුණේ එවන් රටකට තමන් බලාපොරොත්තු වූ මට්ටමින් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට හැකි වුණා නම් ය.

අවම වශයෙන් දැන් ඒ කරුමය අවසන් වී තිබේ. එම ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව විමල්ලා, ගම්මන්පිලලා ඩෙඟා නැටුවේ තමන් සතුව තිබුණු ප්‍රබල අමාත්‍ය ධුරවල බලයත් රාජ්‍ය බලයත් සෘජුවම අවභාවිතා කරමිනි.

69 ලක්ෂයක ජනවරමක් ලබාගැනීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට වඩා, 69 ලක්ෂයක් ජනතාව සිය ඡන්දයෙන් පත්කර දුන් ආණ්ඩුව රැකගැනීමට වඩා, 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව වූ ආර්ථික සෞභාග්‍ය උදාකිරීමට මග කැපීමට වඩා විමල්ලාට, ගම්මන්පිලලාට වුවමනා වූයේ තමන් පොරවල් බව පෙන්වීමට ය. ආණ්ඩුවේ පැවැත්ම පවා දෙවැනි තැනට දමා ඔවුන් උත්සාහ කළේ තමන්ගේ පොරත්වය තහවුරු කරගැනීමට ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට වඩා ඔවුන්ට වුවමනා වූයේ තමතමන්ගේ අනාගත පුද්ගලික බල දේශපාලනික අරමුණු වෙනුවෙන් රට තුළ අවුල් ඇති කිරීමට ය.

මේ ආණ්ඩුව වේවා, කවර හෝ වෙනත් ආණ්ඩුවක් වේවා මෙවැනි තත්වයක් යටතේ වැඩිකල් පවත්වාගෙන යෑමට නොහැක. මන්දයත් සතුරා පහරදෙන්නේ පිටත සිට නොව කඳවුර ඇතුළේම සිට බැවිනි.

ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන වූයේ සිරීපාද කන්ද නැගීම නම් විමල්ලා එහිදී හැසිරුණේ බරවා කකුලක් ලෙසට ය. ඒ අනුව එකී බරවා කකුලෙන් නිදහස් වීමට ලැබීම යනු ආණ්ඩුව කිසිසේත්ම දුර්වල කරන්නක් නොවේ.

මේ නිශ්චිත මොහොත යනු ආණ්ඩුව ජනතාව අතර එතරම් ජනප්‍රියත්වයක් උසුළන මොහොතක් නොවන බව ඇත්තකි. රටේ උද්ගතව ඇති ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව සිටින්නේ නොපහන් සිතිනි. එහෙත් එවන් තත්වයක් මධ්‍යයේ හෝ මෙතෙක් ආණ්ඩුවට නොතිබුණු දේශපාලනික ස්ථාවරභාවය දැන් හෝ ඇති කරගැනීමට සමත්වීම යනු සුබවාදී තත්වයකි.

ආණ්ඩුව ගතවූ වසර දෙකහමාරකට ආසන්න කාලය තුළ වැරදුණු තැන් සහ මඟහැරුණු තැන් හදාගෙන නව ගමනක් ආරම්භ කිරීමට සූදානම් නම් තවමත් ඊට කිසිසේත්ම ප්‍රමාද නොමැති බව අපේ හැඟීමයි. දැන් ඇත්තේ පසුපසට අදින්නන්ගෙන් නිදහස් වීමෙන් ලැබුණු නව ජවයත් සමග වේගයෙන් ඉදිරියට යාම ය. එය නිසි ආකාරයෙන් ඉටු කරන්නේ නම් ජනප්‍රියත්වය යළි උපයා ගැනීම සුළු දෙයක් වනු ඇත.

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan