Category: ව්‍යාපාරික

  • විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කෙරේ

    විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කෙරේ

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත.

    මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූ අතර , එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම මීට පෙර සිට ක්‍රියාත්මක වුණි.

    ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිව තිබුණි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

    ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  ජාත්‍යන්තර මාධ්‍ය පවසන ආකාරයට , ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බවයි .

    බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී ඇත. පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති අතර 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොර තෙල් මිල අඩුවූ දීර්ඝතම කාලය එයයි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • රේගු තදබදය පිටුපස සිදුවන්නේ කුමක්ද ?

    රේගු තදබදය පිටුපස සිදුවන්නේ කුමක්ද ?

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා , ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

    “ලංකාවට විදේශයන් රටවලින් එන හැම කන්ටේනර් එකක්ම කාණ්ඩ තුනකට වැටෙනවා. දැඩි අවධානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරනවා. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම වැඩ. දැන් මේ තදබදයට ප්‍රධාන හේතුවක් වෙනවා සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සව ආපු නිවාඩුව. නමුත් තව නිර්මාණය වෙච්ච තත්ත්වයක් පෙනේන්නට තිබෙනවා කියලා මට වාර්තා වුණා. තදබදයක් ඇති වුණ ගමන් මට පිටත තිබෙන යාර්ඩ්වලට යවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා. ඒ පිටතට ගෙනියනවා කියන්නේ ඉතා පහසුවෙන් අයථා ක්‍රියාකිරීමට ඉඩක් ලැබෙනවා. ඒවට නම් ඉඩ දෙන්නේ බෑ. මේ සියල්ලම ගැන අපි හොයාබලනවා. මම මේ වනකොට ජනාධිපතිවරයාගේ නියමයෙන් වාර්තාවක් සකස්කරමින් යනවා, මැයි මාසේ 31 වනදා වාර්තාව භාරදෙනවා. අපි යම්කිසි අලුත් ක්‍රමයක් හොයා ගන්නකොට ඊට වැඩිය අලුත් ක්‍රමයක් හොයා ගන්නවා වැරදි කරන්න. ඒ නිසා අපිට ඒවට ඉඩදෙන්න බැහැ.” 

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්”Sri Lanka Skills Expo 2023

    “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්”
    Sri Lanka Skills Expo 2023

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (12) පෙරවරුවේ එක්විය. .

    “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී මැයි 12,13 සහ 14 දිනවල පෙ.ව 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය සියලුදෙනාට නොමිලයේ නැරඹිය හැකි  අතර , Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරිමට අගනා අවස්ථාවක් වනු ඇති අතර ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයට ද කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර කෘෂිකර්මාන්තයේ දියුණුවට ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැනීම ඇගයීමට ලක් කරමින් ඩ්‍රෝන උපදේශකවරුන් සිව් දෙනෙකු සදහා ලාංඡන පැළඳවීම ද සිදු කෙරිණ.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

    ”මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳ මම පළමුවෙන්ම සියලුදෙනාට ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. මෙවැනි පුහුණු ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට හැකියාව තිබේ දැයි පසුගිය වසර දිහා බැලූ විට හිතන්නවත් නොහැකි තත්ත්වයක් තිබුණේ. මේ රටේ තිබු කලබලකාරි පරිසරයට අමතරව රටේ ආර්ථිකය කඩා වැටිලයි තිබුණේ. අපි නැවත මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙනවා.

    අපට අලුත් අය වැයක් සකස් කරන්න තිබුණා. ඒ වගේම අපේ වියදම් පාලනය කළයුතුව තිබුණා. පසුගිය වසර දහය තුළ මේ රටේ වියදම් දෙස බැලූ විට මට එක කාරණයක් පෙනී ගියා. ඒ අපි අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ නැතිව සමහර රාජ්‍ය ආයතන සදහා මුදල් යොදවා තිබුණා.

    අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයට, විදුලිබල මණ්ඩලයට, ඛනිජ තෙල් සංස්ථාවට යොදවනු ලැබූ මුදල් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන රටවල් සමග අපට තරගකළ හැකි වෙනවා. අපි ඒ එකක්වත් කළේ නැහැ. දැන් අපට ණය ගෙවීමට සිදුව තිබෙනවා. මම උත්සහ කරන්නේ ඉදිරි වසර 10තුළ හැකි ඉක්මණින් මේ ණය ගෙවා අවසන් කිරිමටයි.

    රටට ප්‍රතිලාභයක් නොලැබුණු තවත් වැඩසටහන් ගණනාවක් තිබුණා අපි තවමත් දන්නේ නැහැ ඒ මුදල්වලට මොකද වුණේ කියලා. නමුත් එවැනි වැඩසටහන්වලට අනාගතයේ මුදල් නොදී සිටිමට අප තීරණය කර තිබෙනවා. අපි පළමුව කළයුත්තේ මෙම අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමයි.

    වියදම් අඩු කරනවා කියා අපි අත්‍යාවශ්‍ය වියදම් අඩු කරන්නේ නැහැ. ඉදිරියේ දී අපි සහනාධාර ලබාදීම අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය සහ නිවාස වැනි ජනතාවගේ අත්‍යවශය කටයුතු සඳහා සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට මීට වඩා මුදලක් අපට ඒ සඳහා වෙන් කිරීමට හැකියාව ලැබෙනවා. අපි උත්සාහ කරන්නේ රටේ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය කිරීමටයි.

    ඒවගේම හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. මේ අධ්‍යාපන ක්‍රමයේ වැදගත්ම කාරණය තමයි දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම. අපි ජීවත්වන්නේ දැනුම පදනම් කරගත් සමාජයකයි. සියලුදෙනාට අවශ්‍ය ඒ දැනුම ලබාදීමට හැකි නම් රටේ අනාගත දියුණුව තහවුරු වෙනවා.

    ශ්‍රී ලංකාව කියන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකි රටක්. එම නිසා දැනුම ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතුයි. පාසල් අධ්‍යාපනය ලබා දීමෙන් අනතුරුව රැකියා සඳහා සුදුසුකම් සම්පාදනය කිරීමටත් සැලසුම් අවශ්‍යයි. අද සංවිධාන ගණනාවක් ඒ වැඩකටයුතුවල යෙදී සිටිනවා.

    අදට අවශ්‍ය ලෙස අපේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය වී නැහැ. අපි වසර 10-15ක් පසුපසිනුයි සිටින්නේ. ඒ නිසා අපි දැන් අලුතින් සිතා ඉදිරියට යා යුතුයි. මේ දැනුම ලබාදීම සදහා අවශ්‍ය පුහුණුවීම් කිසිවක් රජයෙන් පමණක් ලබා දිය නොහැකියි. ඒ පුහුණුව හා දැනුම වැඩිවශයෙන් තිබෙන්නේ රජයෙන් පරිභාහිරවයි. එම දැනුම තිබෙන පෞද්ගලික හා විදේශ ආයතන සම්බන්ධකරගෙන අපි වැඩ කළයුතුයි.

    මේ වැඩකටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය එක් අමාත්‍යවරයෙකු යටතට පත් කළා. එතුමාට තිබෙන්නේ මේ සම්පුර්ණ ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කර, අදාළ සැලසුම් සකස් කිරිමටයි. අධ්‍යාපනය සඳහා අපි වෙනම කැබිනට් කමිටුවක් පත් කර තිබෙනවා. එසේනම් අධ්‍යාපනයේ නවීකරණය අපි මෙතැන් සිට ආරම්භ කරනවා. අපි අලුත් ලෝකයකටයි ගමන් කරන්නේ.

    ඉදිරි වසර දහය ඇතුළත අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වේවි. මොකද නොපෙනෙන අනාගතයකට අපි අධ්‍යාපනය සකස් කළ යුතුයි. ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.මේ පිළිබඳ තරුණ පරපුර විධිමත්ව දැනුවත් කරමින්, අනාගතයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ කර හැකියාවෙන් පරිපූර්ණ සමාජයක් ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් 2024 වසරේ සිට ලබාදීමට අපි කටයුතු කරනවා”

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණක්

    මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම්දී තිබෙන අතර , මත්පැන් සහ බීර මිල අලෙවිය මේ වනවිට ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇත.

    එම නිසා නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇත.

    නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දී තිබෙන අතර , ඉදිරි මාස දෙකක කාලය තුළ මත්පැන් සහ බීර අඩුකිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ මත්පැන් මිල අධිකවීම තුළ ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට යොමු වීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ද පැන නැගී ඇති බවත් , එනිසා ඖෂධ සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • ප්‍රේෂණ වල වැඩිවීමක්

    ප්‍රේෂණ වල වැඩිවීමක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 1,867.2ක් බවයි .

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


  • බොරතෙල් මිල පහළට

    බොරතෙල් මිල පහළට

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
    ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (13) සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 17 ක් ලෙසයි.

    අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 යි සත 4 ක් ලෙස දැක්වුණි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • කිරිපිටි මිල ගැන තවම තීරණයක් නෑ

    කිරිපිටි මිල ගැන තවම තීරණයක් නෑ

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසන අතර ,අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවය.

    ආනයනකරුවන් පවසන්නේ ,සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවයි . තවද  වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (12)  ප්‍රකාශ කළේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බවය.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • දේශීය බැංකු මුහුණ දෙන අනතුර සුලුපටු නෑ – මහජන බැංකුවේ සභාපති

    දේශීය බැංකු මුහුණ දෙන අනතුර සුලුපටු නෑ – මහජන බැංකුවේ සභාපති

    දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමටත් පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබා ගෙන තිබෙන මෙරට බැංකු පද්ධතියට බලපෑම් එල්ලවී ඇති බවත්, ඉදිරියේදී ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම ඉතාමත් කල්පනාකාරීව නොකළහොත් දැඩි අනතුරක් සිදුවිය හැකි බවට මහජන බැංකුවේ සභාපතිවරයා අනතුරු අඟවයි.

    ලංකාදීප පුවත්පතට ඔහු ලබා දී තිබූ සාකච්ඡාවකදී පවතින තත්වය පිළිබඳව ගැඹුරින් කරුණු විග්‍රහ කර ඇත. පසුගිය 04 වෙනි දින එම වෙබ් අඩවියේ පළකර තිබූ සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ.

    දේශීය ණය : බැංකු පද්ධතියට බලපායිද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

    වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට හැරවිය හැකි සම්පත්වල අනුපාතය දෙවැන්නය. දැනට පවතින තත්ත්වය අනුව බැංකු පද්ධතිය මේ අනුපාත මනාව පවත්වාගෙන යයි. එසේම බැංකු නියාමන ආයතනය වන මහ බැංකුවේ අවශ්‍යතාව මත අවශ්‍ය තරමට පවතී. මේ තත්ත්වය කිසි හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතු ය. වෙනස් වුවහොත් බැංකු පද්ධතිය සෙලවෙයි.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනත් අනතුරක් හෝ තෙරපුමක් නිසා මේ තත්ත්වය වෙනස් නොවිය යුතුය. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගැන සලකා බැලුවහොත් රටක මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ස්ථාවරත්වය සේම බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම පිළිබඳව එමගින් සලකා බලයි.

    හොඳ හා උසස් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයක් සහිත බැංකුවක් නම් ඉන් අදහස් කරන්නේ ඒ බැංකුවට තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට ඉතා හොඳ හැකියාවක් තිබෙන බවයි. ඕනෑම බැංකුවකට එය ඉතා වැදගත්ය. 

    ද්‍රවශීලතාව හෙවත් එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් අනුපාතය (Liquidity Coverage Ratio) ද ඉතා වැදගත්ය. එමගින් පෙන්නුම් කරන්නේ බැංකුවක ද්‍රවශීල වත්කම් හෙවත් මුදල් බවට පත් කළ හැකි වත්කම් බැංකුවේ කෙටිකාලීන වගකීම් සමග සංසන්දනය කිරීමයි. සරලව කිවහොත් කෙටිකාලීන වගකීම් කොපමණ ඉක්මනින් ගෙවීමට හැකියාව තිබේ ද යන්නය. බැංකුවක පැවැත්මට එය ද ඉතා වැදගත් සාධකයකි.

    ලංකාව ගෙවීමට තිබෙන ණය තිරසාර නොවන බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කරන්නේ එහෙයිනි. එමගින් විශාල ප්‍රගතියක් අත්කරගෙන ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පාර්ශ්ව සමග එක්ව කටයුතු කරයි.

    ඒ සියලු කරුණු මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැන් කතා බහට ලක්වෙයි. එය අප සියලු දෙනාට ඇසීමට අපහසු දෙයකි. ඒ නිසා ජනතාව අතර යම් භීතියක් ද ඇතිවී තිබේ. ඊට හේතුව ඒ ගැන විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රකාශ කිරීමය. එහෙත් වෙනස් කිසිම ගැලවුම් මාර්ගයක් නැති වෙලාවක අප ඒ දෙස බැලිය යුත්තේ ඉතා පරෙස්සමෙනි.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අදහස් කෙරෙන්නේ ණය තිරසාරභාවය සහ ඒ ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීමය. ප්‍රතිව්‍යුහගත කරන්නේ වෙනත් විකල්පයක් නැති නිසාය. ණය ගෙවීම පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒම එහි අරමුණයි.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රම තුනකි. මුහුණත අගය (Face Value) අඩු කිරීම ඉන් එක් ක්‍රමයකි. එය නිතර නොකරෙන දුබල දෙයකි. එහි තේරුම ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් එය ‘‘හෙයා කට්’’ (Hair Cut) නමින් හඳුන්වයි. දෙවැනි ක්‍රමය කල්පිරීම කල් දැමීමය. ඉංග්‍රීසි භාෂාවෙන් මැචුරිටි එක්ස්ටේන් නමින් හඳුන්වන එය ‘‘හෙයා කට්’’ ක්‍රමයට වඩා හොඳය.

    එහිදී වගකීමේ මුළු මුදල හෙවත් ණය මුදල එලෙසම පවතියි. ඒ මුළු ණය මුදල ගෙවන දිනය කල් දමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තෙවැනි ක්‍රමය ‘‘කූපන් ඇජස්මන්ට් (Coupon Adjustment) නමින් හඳුන්වයි. එමගින් කෙරෙන්නේ ශුද්ධ වර්තමාන අගය (Net Present Value – N.P.V.) හෙවත් අදට තිබෙන අගය යටතේ මුළු ණය මුදලෙන් යම් ප්‍රමාණයක් අඩු කිරීමය. එහිදී කල් පිරීමේ දිනය වෙනස් නොකර තබා ගනියි.

    බැංකුවක ප්‍රාග්ධනය වැඩිවීමට රඳවාගත් ලාබ තිබිය යුතුය. අලුත් කොටස් නිකුතුවකින් මුදල් ලබා නොගත්තොත් සාමාන්‍ය ක්‍රමය මත ලාබ රඳවාගත යුතුමය. බැංකුවක ප්‍රාග්ධන සංචිතය වැඩි වන්නේ එමගිනි. ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකුවේ ලාබ අලාබ ගිණුමට යම් බලපෑමක් වුවහොත් එමගින් බැංකුවේ ප්‍රාග්ධන සංචිතයට ද බලපෑමක් ඇති වෙයි. එය බැංකුවක පැවැත්මට හානිදායක තත්ත්වයක් විය හැකිය.

    බැංකු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන මුදල් කෙටිකාලයක දී ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිය දී අප ඉහත කී ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රම තුනෙන් එකකට යටත් වුවහොත් කළ ආයෝජන මුදල් බවට පත්කර ගැනීමට ගතවන කාලය වැඩි වෙයි. බැංකු ජනතාවගෙන් ගන්නා තැන්පතු ආපසු ගෙවන දිනයක් ගනුදෙනුකරුවන් සමග එකඟව සිටියි. යම් ක්‍රමයකින් ඒ දිනය කල් නොයන්නේ නම් බැංකුවල ද්‍රවශීලතාවට යම් බලපෑමක් ඇති වෙයි.

    බැංකු හා මූල්‍යායතන ආයෝජනය කළ මුදල්වලට සේම ඔවුනට තැන්පතුකරුවන් දුන් මුදල්වලට කල් පිරීම අතර ලොකු වෙනසක් නොවිය යුතුය. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට බැංකු ආයෝජනය කළ මුදල් නිසි කලට ලැබිය යුතුය. බැංකුවකට ලැබෙන තැන්පතු මුදල් ලෙස තබා නොගනියි. තැන්පතුව ලැබුණු විගස ඒ මුදල ආයෝජනය කරයි. බැංකු ව්‍යාපාරයේ ස්වභාවය එයයි. ගනුදෙනු කිරීමට අවශ්‍ය තරම් මුදල් නොමැති වුවහොත් බැංකුවල ද්‍රවශීලතාවට ප්‍රශ්න ඇති වෙයි.

    එමගින් බැංකුවල පැවැත්මට බලපෑම් ඇතිවෙයි. එහෙත් සාකච්ඡා මගින් ඇති කර ගන්නා එකඟතා මත ඒ බලපෑම් අවම කරගත හැකිය. වාණිජ බැංකුවක පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වුවහොත් මැදිත්වී කටයුතු කරන්නට මහ බැංකුවට සිදුවෙයි. එසේ කිරීම බැංකුවලට වන බලපෑම අවම කර ගැනීමට සෑහෙන පිටිවහලක් වෙයි.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් බැංකුවල පාඩු පියවා ගැනීමට වැඩි මුදලක් වෙන් කිරීමට බල කෙරෙනු ඇතැයි ද කතාවක් පවතියි. ලංකාවේ බැංකු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල සහ ලංකාවේ බැඳුම්කරවල සේම භාණ්ඩාගාර බිල්පත්වල ද විශාල වශයෙන් ආයෝජනය කරයි. පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මිල අඩු කිරීමේ, වෙන් කිරීමකට යොමු වන්නට සිදුවනු නිසැකය. ඒ වෙන්කිරීම සෑම බැංකුවකටම බලපායි. එය එසේ වන්නේ ඒ ඒ බැංකුවල ආයෝජන ප්‍රමාණය මතය. ස්වෛරී බැඳුම්කර තිබෙන බැංකු තම අලාබය පියවා ගැනීම සඳහා වන වෙන් කිරීම් දැනටමත් කර තිබෙන බව මගේ තක්සේරුවයි.

    එය පසුගිය වසර ගණනාවක් තිස්සේ වන්නට ඇතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ වෙන් කිරීම් කර නැති බැංකුවලට වන බලපෑම වැඩිවෙයි. අලාබය පියවා ගැනීම සඳහා කෙරෙන වෙන් කිරීම් දිගටම කර තිබෙන්නේ නම් ඇති විය හැකි තත්ත්වය සමනය වෙයි. බලපෑම අඩුවෙයි. තමන්ට අලාභයක් වෙතැයි යන උපකල්පනයෙන් ඒ අලාභය සඳහා මුදල් වෙන් කළා නම්, ඒ බැංකුවලට එමගින් ලොකු අස්වැසිල්ලක් අත්වෙයි. යම් බැංකුවක් එසේ අලාබ සඳහා වෙන් කිරීමක් කර නොමැති නම් එතැනදී ඒ බැංකුවට වන බලපෑම වැඩිවෙයි.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවල ගනුදෙනුකරුවන්ට අත්විය හැකි හොඳ නරක ප්‍රතිඵල මොනවාදැයි දැන් බලමු. දැනට පවතින තත්ත්වය සහ මහ බැංකුව කියා තිබෙන හැටියට භාණ්ඩාගාර බිල්පත් සහ ස්ථිර තැන්පතු සම්බන්ධයෙන් කනගාටුදායක හෝ දුක්මුසු තීරණයක් ගෙන නොමැති බව අපේ අවබෝධයයි. සරලව කිවහොත් භාණ්ඩාගාර බිල්පත් හා ස්ථිර තැන්පතුවල ආයෝජනය කළ මුදල් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොවන බව දැනට අප දන්නා සත්‍යයයි. දේශීය ණය ප්‍රතිව්‍යුහතකරණයේදී පළමුව අවධානය යොමු විය හැක්කේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙසටය.

    භාණ්ඩාගාර බිල්පත්වල කර තිබෙන ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු විය හැක්කේ ඉන් අනතුරුවය. එය ද විය හැක්කේ අවශ්‍යතාවක් තිබුණොත් පමණකි. එහිදී ගනුදෙනුකරුවන්ට යම් බලපෑමක් ඇති විය හැකිය. එහෙත් ඒ බලපෑම අවම කිරීමට රජය මැදිහත් වනු නිසැක බව මගේ තක්සේරුවයි. මා විශ්වාස කරන්නේ කල්පිරීමේ දිනය කල්දමන පිළිවෙතට රජය යොමු විය හැකි බවය.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන්ට බලපෑමක් වෙතැයි ද සාකච්ඡාවක් පවතී. ඒ අරමුදල් දෙකම බොහෝ ආයෝජන කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඒ ආයෝජනවලටද යම් බලපෑමක් විය හැකිය. එහෙත් ඒ බලපෑම කෙසේ වනු ඇතිද යන්න දැන්ම පුරෝකතනය  කළ නොහැකිය. මා එසේ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදය තවමත් ප්‍රකාශයට පත්වී නොමැති නිසාය. දැනට එළිදැක්වෙන විවිධ ප්‍රකාශවල සඳහන් වන්නේ ඒ අරමුදල්වල සාමාජිකයන්ට බලපෑමක් නොවන බවය. පසුගියදාක පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී ජනාධිපතිතුමාද ඒ සම්බන්ධයෙන් සහතිකයක් දුන්නා මට මතකය.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පොදුවේ රටේ ආර්ථිකයට විය හැක්කේ මිශ්‍ර බලපෑම්ය. පසුගිය කාලයේ පොලී අනුපාත පැවැතියේ ඉතා ඉහළ මට්ටමකය. ඇතැම් තැන්පතුවලට ලැබුණු පොලී අනුපාතය සියයට 25කි. භාණ්ඩාගාර බිල්පත්වල කළ ආයෝජනවලට ලැබුණු පොලිය සියයට 28 සිට 30ක් තරම් ඉහළය.

    එය ආර්ථිකයට දරා ගත නොහැකි ප්‍රතිශතයකි. ඒ නිසා ඒ පොලී අනුපාත අඩු කළත් සාමාන්‍ය ප්‍රමාණයකට වැඩි ගණනක් අතට ලැබෙයි. කෙසේ වුවත් රටේ ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති වීම නැවැත්විය නොහැකිය. බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවට බලපෑමක් වුණොත් එසේම බැංකු පද්ධතියේ ණය දීමේ හැකියාවට බලපෑමක් ඇති වුවහොත් සහ බැංකු පද්ධතියේ ප්‍රාග්ධනයට යම් බලපෑමක් වුණොත් එමගින් ජනතාවට දිය හැකි ණය සහ සහන සේම පහසුකම් ද යම්තාක් දුරකට අවම වෙයි. සීමාවෙයි.

    එමගින් රටේ ආර්ථිකයට කෙටි කාලීනව යම් බලපෑමක් වීමේ ප්‍රවණතාවක් තිබිය හැකිය. එමගින් උද්ධමනයට සේම මිල ස්ථායිතාවට ද යම් බලපෑමක් විය හැකිය. එය එසේ වන්නේ බැංකුවල ද්‍රවශීලතාව අඩුවුවහොත් වෙළෙඳපොළට ගලා යන මුදල් ප්‍රමාණය අවම වීමෙනි.

    මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

    සාකච්ඡා සටහන ගුණසිංහ හේරත් (ලංකාදීප)

  • නුවරඑළියට කේබල් කාර්

    නුවරඑළියට කේබල් කාර්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් වශයෙන් සංචාරක පැමිණීම අරමුණු කරගනිමින් , සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ  සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු පැවසීය. 

    මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසූ අතර , මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ , ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි .

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??