Tag: ඉන්දියාව

  • මන්නාරම සහ පූනරින් විදුලි ව්‍යාපෘති අවලංගු කර නෑ – අදානි සමූහය

    මන්නාරම සහ පූනරින් විදුලි ව්‍යාපෘති අවලංගු කර නෑ – අදානි සමූහය

    සටහන – රුවන් නෙළුගොල්ල

    අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය පවසයි.

    එම වාර්තා අසත්‍ය සහ නොමග යවනසුළු ඒවා බවයි අදානි සමූහය වෙනුවෙන් එහි ප්‍රකාශකයකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

    ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, 2025 ජනවාරි 2 වන දින නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, එම සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් දැක්වේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘති අවලංගු කර නොමැති බව පවසන අදානි සමූහය ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන එකක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරන බවත් සඳහන් කර ඇත.

  • රට පාලනය කරන්නෙ ජා.ජ.බ. ද ?

    රට පාලනය කරන්නෙ ජා.ජ.බ. ද ?

    ආන්ඩු බිඳවැටෙනවා.. අළුත් ආන්ඩු පත්වෙනවා.. නමුත් මේ දෘෂ්‍යමානයට යටින් මේ කුඩා කොදෙව්ව ඇත්තටම පාලනය කරන්නේ කලාපයේ බලවතුන්ගේ අදෘෂ්‍යමාන හස්තයන් විසින්..

    මහින්ද චීනෙන් ණය අරන් හම්බන්තොට පුරාම අලි කැලෑ මැද්දෙන් හයිවේ හදනකොට, හම්බන්තොට වරායවල් හදනකොට, ගුවන්තොටුපොලවල් හදනකොට අපි හිතුවෙ මහින්දගේ බයි ගතිය නිසා මහින්ද අගනුවර ගමට ගෙනියන්ට හදනව කියලා.. නමුත් එක තැනකදි ගත්ත ණය ගෙවාගන්ට බැරිව හම්බන්තොට වරාය චීනෙට සින්නවෙනකොට තමා අපිටත් වැඩේ තේරෙන්ට ගත්තෙ…

    කලාපීය බල අරගලය තුල තමන් සක්‍රීය කරමින් යන මුහුදු මාර්ගයේ පිහිටි හම්බන්තොට අවට ප්‍රදේශය ස්වකීය තනි අණසකට ගැනීම චීන පාලන තන්ත්‍රයේ අභිප්‍රායයි….

    මහින්දගේ හම්බන්තොට වරායේ සහ ගුවන්තොටුපොලේ සිට අනුරගේ ආන්ඩුව තුල අත්සන් කෙරුන බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදුව දක්වාම දිග හැරෙන්නේ උක්ත චීන පාලන තන්ත්‍රයේ බලදේශපාලන සැලැස්මයි..

    මහින්ද හම්බන්තොට වරාය හැදුවේ නැත්නම්, හම්බන්තොට දැවැන්ත යටිතල පහසුකම් ජාලයක් හැදුවේ නැත්නම් අද හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවකට අවශ්‍ය පසුබිම නෑ.. එබැවින් මේ අති දැවැන්ත ඛනිජ තෙල් පිරිපහදුව යනු මහින්දගේ හම්බන්තොට වරායේම ඊළඟ දිගුවයි.

    බංකොලොත් බව නිසාම ලංකාව දිහා විදේශ ආයෝජකයෝ හැරිලවත් බලන්නෙ නැති පසුබිම තුල මේ ඛනිජ තෙල් පිරිපහදුව ලංකාවේ මහා ජයග්‍රහණයක් විදියට කෙනෙකුට පේන්න පුලුවන් … හැබැයි බංකොලොත් වෙන්ට බලපාපු ස්ටක් වෙච්ච ණය වලින් වැඩි හරියක් ඉහළ පොලියකට වරායවල්, ගුවන්තොටුපොලවල් හදන්ට ගත්ත චීන ණය.. ඊළඟට රට බංකොලොත් වෙලා ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්ට කතාකලාම ඒකට ලෝකයම කැමති වෙද්දි ඒකට පස්ස ගහපු එකම එකත් චීනා..

    ලංකාව ණය කරෙත් චීන්නු, ඊළඟට තෙල් පිරිපහදුවලට භූමිය ඩැහැගෙන පිහිට වෙන්න එන්නෙත් චීන්නු.. (රටරටවල මහ ඇත්තන්ගේ පතල මහා කරුණාව)

    ඇත්තටම මේ චීන ඛනිජ තෙල් පිරිපහදුව චීන බලදේශපාලනය සිතියමේම කොටසක් මිසක් ඒකෙන් අපට ලැබෙන මගුලකුත් නෑ..

    ඒ පිරිපහදුව අපිට අයිති නෑ.. ඒක අයිති චීනෙට.. මේ පිරිපහදුව හදන්ට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය , පුහුණු ශ්‍රමය ඔක්කොම ගේන්නෙත් චීනෙන්, ඒනිසා මේ බිලියන 3.7 න් ලොකු හරියක් ලංකා භූමියට එන්නෙවත් නෑ..
    මෙහෙට හම්බවෙන්නේ වැටමායිම් සකස් කිරීම කානු පද්ධති සකස් කිරීම වගේ උප කොන්ත්‍රාත් පාන් කුඩු කෑලි විතරයි ..

    තව ඕන නම් කාලයක් යනකොට අපිට මහ විශාල ඛනිජ තෙල් පිරිපහදුවෙන් වියෝජනය වන විෂ වායුවෙන් හා අපද්‍රව්‍ය වලින් සදහටම දූෂණය වෙච්ච පරිසරයක් හම්බවෙයි..

    මේ බිලියන ගානක ව්‍යාපෘතිය ෂී ජින්පින් පාලන තන්ත්‍රයේ ජයග්‍රහණයක් මිසක් ලංකාවේ ජයග්‍රහණයක් නෙමේ ….

    ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

  • ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

    ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

    සටහන – රුවන් නෙළුගොල්ල

    මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (ජනවාරි 16) පැවැත්වී තිබේ.

    මෙහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.

    ළඟම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටි අතර අප රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ද ඉන්දීය මහකොමසාරිස්වරයා⁣ගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.

  • ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳව සජිත් ශෝකය පළ කරයි

    ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳව සජිත් ශෝකය පළ කරයි

    සටහන – රුවන් නෙළුගොල්ල

    ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එතුමා විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාව පරිවර්තනීය වෙනසකට ලක් කරනු ලැබූ අතර එම ප්‍රතිසංස්කරණ සමස්ත කලාපයේම දියුණුවට හේතු වූ බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ශෝක පණිවිඩය පහතින් දැක්වේ.

  • සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි!

    සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි!

    කොළඹ LNW:ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.

    ඒ අනුව වසර 72 ක් පුරාවට පවත්වා ගෙන ආ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වාර්ෂික ප්‍රදර්ශනය මුල්කරගත් සාංචි මහාබෝධි මහෝත්සවය මේ වසරේ සිට ඉන්දියාවේ ජාතික උත්සවයක් ලෙස සැලකේ.

    එය පසුගියදා (නොවැ 30 දෙසැ.01) ඉන්දීය,ශ්‍රි ලංකා හා වෙනත් විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

    ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම දෙදින පැවති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ සුභාශිංෂණ රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු (Kiran Rijiju) මැතිතුමා සමග ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා අමාත්‍ය ප්‍රහ්ලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) මැතිතුමා සහභාගි වූහ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා සාංචි මහා බෝධි මහෝත්සවය වෙනුවෙන් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් වෙත එවන ලද සුභාශිංසන පණිවිඩයේ “සාංචි මහාබෝධි මහෝත්සවය අපගේ ශිෂ්ටාචාර මූලයන් සහ විචිත්‍රවත් සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන අතර, බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයින් දෙදෙනෙකු වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහාමොගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට සමස්ත ලෝක බෞද්ධ බැතිමත් වන්දනාකරුවන්ට ඉඩ සැලසීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන,සාංචි මහාබෝධි මහෝත්සවය සංවිධානය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කර ප්‍රචලිත කිරීමට මහාබෝධි සංගමය දරන උත්සාහය අපගේ සංස්කෘතිය හා සාරධර්ම තරුණයන් අතරට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දක්වයි.

    එසේම භාග්‍යවත් බුදුන් වහන්සේගේ සදාකාලික ඉගැන්වීම් බොහෝ ජාතීන් සහ සමාජයන් වෙනත් අය සමඟ සම්බන්ධ කරයි. විවිධ ජාතීන්ට අයත් මිනිසුන් එක්රැස් කරන සාංචි උත්සවය ඊට ප්‍රබල උදාහරණයකි. සාංචි මහාබෝධි මහෝත්සවය සාර්ථකවීමට මහාබෝධි සංගමයට මාගේ සුභාශිංසන පිරිනමමි. මෙවැනි සිදුවීම් අපගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීමට සහ අනාගත පරම්පරාවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මට විශ්වාසයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

    තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද ජපාන බෞද්ධයින් භික්ෂු භික්ෂුනියන් ද ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

    ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් සාංචි පුදබිමේ ප්‍රථම වරට කැණීම් කරන ලදී ඉන්පසු 1912 දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මෙම නටබුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.

    එම කැණීම්වලින් පසු එංගලන්තයට රැගෙන ගොස් තිබූ මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කිරිමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝ බව සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

    මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස,සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි, මහනුවර වත්තේගම මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියට්නාමයේ බෝධිචිත්තා තෙරණින් වහන්සේ,ඉන්දීය මධ්‍යම රජයේ පංචායත් සභා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප්‍රහලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) , තායිලන්තයේ ප්‍රමුඛතම බෞද්ධ නායකයෙකු වන ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong), මධ්‍ය ප්‍රදේශ් විදාන් සභා (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) මන්ත්‍රී ආචාර්ය ප්‍රභූරාම් චවුද්‍රි (Dr.Prabhuram Chaudhary) රයිසන් දිසාපති අරවින්ද කුමාර් ඩුබේ (Aravind Kumar Dubey – Collector & District Magistrate – Raisan District) යන අය සහභාගී වූහ.

    සාංචි මහාබෝධි මහෝත්සයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ජපානයේ සුප්‍රකට ගායිකා මයි යු(My U),ශ්‍රී ලංකාවේ තුෂාර හෙට්ටිආරච්චි,ඉන්දියාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි බෞද්ධ කලාකරුවන් ඇතුළු සංස්කෘතික කණ්ඩායම් ද එක් වූහ.

    එසේම ඉන්දියාවේ ඔරිස්සා,ආන්ද්‍රා, තෙලංගානා, ලඩාක්, උත්තර් සහ උත්තරාකාන්ඩ්, ඇසෑම්,කේරළ, හිමාචාල්, තමිල්නාඩු, මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත රැසක බෞද්ධ බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙම දෙදින මෙවර මහාබෝධි මහෝත්සවයට සහභාගී වූ බව චේතිගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවසූහ.

    චේතියගිරි විහාරයේ භූ ගර්භයේ සුගන්ධ කුටියේ තැන්පත් කර තබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා නොවැම්බර් (30)තිස්වෙනි දින එම කුටියෙන් ඉහළ මාලයට වැඩමවා, විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පසු ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබූයේ මීට වසර හැත්ත දෙකකට පෙර ඉන්දියාවේ අග්‍රාමාත්‍ය දිවංගත ශ්‍රීමත් ජවහල්ලාල නේරු තුමන්ගේ ඉල්ලීම පෙරදැරිව බව බානගල උපතිස්ස නාහිමියෝ පැවසූහ.දෙසැම්බර් පළමුවෙනි (01) දින පස්වරුවේ ධාතූන් වහන්සේලා නැවත බෝ ගර්භ සුගන්ධ කුටියේ තැන්පත් කෙරිණ.

    මෙම උත්සවයට පැමිණෙන ඉන්දීය භික්‍ෂූන් වහන්සේලාට විශේෂ දානමය පින්කම් මහා බෝධි වන්දනා නිකේතන් පරිශ්‍රයේ පැවැති අතර,පැමිණි බැතිමතුන් සඳහා දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි.පැමිණෙන මහජනයාට අවශ්‍ය සනීපාරක්ෂක හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් මධ්‍ය ප්‍රදේශ් රජය සම්පාදනය කර තිබුණි.

  • ජනපතිගේ ඉන්දීය සංචාරය සාර්ථකයි!

    ජනපතිගේ ඉන්දීය සංචාරය සාර්ථකයි!

    රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

    අද (16) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව  සිදුවීමට නියමිත බව සඳහන් වේ. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (15)ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    ඊයේ (15) පස්වරුවේ , ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් හමුවී ඇත .

    .

    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා පැවැති බවයි.

    ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද, එහිදී සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්  මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැති බවත් , ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා  සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බව එහිදී ආචාර්ය එස්.ජයිශංකර් මහතා  කියා සිටි බවත්, ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය  වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවත්, ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේය.

    ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැ දැක කලාපීය ආරක්ෂාව පිළිබඳ  සාකච්ඡා කර ඇති අතර , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටි බව තොරතුරු සඳහන් වේ.

  • ජනපති අනුරගේ ඉන්දියා සංචාරය ගැන නිවේදනයක්

    ජනපති අනුරගේ ඉන්දියා සංචාරය ගැන නිවේදනයක්

    සටහන – රුවන් නෙළුගොල්ල

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

    ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ය.

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව නිරත වන පළමු විදෙස් සංචාරය මෙය වේ.

    ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපතිනිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

  • ජනපති අනුර 15 වෙනිදා ඉන්දියාවට !

    ජනපති අනුර 15 වෙනිදා ඉන්දියාවට !

    සටහන – රුවන් නෙළුගොල්ල

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 වනදා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

    ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුකෙරෙන මෙම නිල සංචාරය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදෙස් සංචාරය ද වෙයි.

    මෙම සංචාරයේදී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිතව ඇත.

  • ඉන්දියාවේ දේශනයකට ගිය හිටපු ජනපති රනිල්!

    ඉන්දියාවේ දේශනයකට ගිය හිටපු ජනපති රනිල්!

    රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

    ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙසුමක් පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව සඳහන් වේ.

    මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

  • ජනපති අනුර පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට

    ජනපති අනුර පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට

    සටහන – රුවන් නෙළුගොල්ල

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන දෙසැම්බර් මාසයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට සූදානමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    දෙසැම්බර් මාසයේ මැද භාගයේදී යෙදෙන මෙම සංචාරයේදී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 18) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.