උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය

Date:

පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා. ඒ දෙන්නම ජාත්‍යන්තර සම්මාන දිනපු, ඉතාමත් දක්ෂ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්.

ඒත් ඒ දෙන්නම මුහුණ දුන්න අතිශය බරපතල ප්‍රශ්නයක් තිබුණ.

ඇත්ත ලියන්න බැරිවීම.

වෙනිසියුලාවෙ සාගර දූෂණය, පරිසරය සම්බන්ධ ගැටලු, ඉන්දියාවෙ කෝටිපති පවුලක් සම්බන්ධ සත්ව ජාවාරමක් වගේ ගොඩක් බරපතල ගැටලු ගැන අපි විවෘතව කතා කළා. ඒත් ඒ ගැන තමන්ගෙ ගවේෂණ ප්‍රසිද්ධ කළොත් වැඩි දවසක් ජීවත්වෙන්න ලැබෙන එකක් නැහැ කියල ඔවුන් මාත් එක්ක කිවුව. එක මාධ්‍යවේදිනියකගෙ boyfriend ඉන්නෙ පෘතුගාලයෙ. ඉතින් ඇයි රටින් පිට ගිහින් ඒව ප්‍රසිද්ධ නොකරන්නෙ කියල මම ඇහුව. “සරෝජ්, මගෙ තාත්ත ව්‍යාපාරිකයෙක්. මගෙ අම්ම, තාත්ත සහෝදරයො ඉන්නෙ වෙනිසියුලාවෙ. මම රට ගිහින් මේව ලිවුවොත් එයාලට මොනව වෙයිද?,” ඉසබෙලා* (සැබෑ නම නොවේ) මගෙන් ඇහුව.

අදත් මම ඉසබෙලාට msg එකක් දැම්ම සිග්නල් එකේ. අපිට කරදරයක් නෑ කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කතා කරන්න ඇය තවමත් බයයි.

කොටින්ම ඒ මාධ්‍යවේදිනියො දෙන්න සාගර සමුළුවට නීස් නගරයට ආවෙත් ආයෙත් රටට යන්නවත් ලැබේවිද දන්නෙ නැති සැකයකින්. එහෙම නැත්නම් airport එකේදි arrest කරාවිද කියල ඔවුන් ලොකු බයකින් හිටිය.

වෙනිසියුලාවෙ නිකොලස් මදුරෝ ගෙ ඒකාධිපති පාලනය ඒ තරම් දරුණුයි. මිනිස්සු ජීවත්වුණේ පුදුම බයකින්. නිදහස් අදහස් ප්‍රකාශනයට මදුරෝ පාලනය යටතෙ කිසිම නිදහසක් තිබුණෙ නෑ. අනික ලෝකෙ වැඩිම ඛනිජ තෙල් තියන රටේ ආර්ථිකය – රාජපක්ෂල, වික්‍රමසිංහල ලංකාවෙ ආර්ථිකයට කළා වගේ – මදුරෝ විනාශ කරල තිබුණ. මදුරෝත්, ගෝල බාලයොත් සැප විඳින්න ඇති ඒත් රටේ මිනිස්සු හිටියෙ එදා වේල කන්න විදියක් නැතුව.

මේකෙන් මම කියන්න හදන්නෙ ට්‍රම්ප් ගෙ ආක්‍රමණය සාධාරණයි කියල නෙවෙයි. කිසියම් විශ්ලේෂණයක් කරද්දි ඒ රටේ පවතින තත්වයත් දැනගෙන ඉඳීම වැදගත් නිසා.

මදුරෝ ගෙ ඒකාධිපති පාලනයෙ පීඩනය දරාගන්න බැරුව විශාල පිරිසක් රට අත් හැරල ෆ්ලොරිඩාව වගේ පළාත්වලට පැනල ගියා. මදුරෝ arrest කළාම සතුටෙන් පෙළපාලි ගියේ ඒ මිනිස්සු. ක්ෂණික සතුට නිසා එහෙම ප්‍රතිචාර දැක්වුවත්, ට්‍රම්ප් වගේ උන්මත්තකයෙක් රටට ගොඩ බැස්සම සිද්දවෙන්නෙ ඉඟුරු දීල මිරිස් ගැනීමක් බව ඔවුන්ට වැටහෙන්න වැඩි කලක් ගතවෙන එකක් නැහැ. රට ඇතුළෙත් සතුටුවෙන මිනිස්සු පිරිසක් ඇති. මදුරෝ දීපු පීඩනය නිසා ඒක සාධාරණයි. නමුත් මේ මොහොතෙ පවා ඔවුන් ඉන්නෙ බියෙන්.

මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන චෝදනාවක් දාල ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව ආක්‍රමණය කරන්නෙ මේ වගේ පසුබිමක. මදුරෝ ගෙ හැසිරීම නිසා විපක්ෂය හැරුණම රට ඇතුලෙන්ම ඔත්තුකාරයො හොයාගන්නත් ඇමෙරිකාවට පහසු වෙන්න ඇති. කොටින්ම මදුරෝ ගෙ ජනාධිපති මාලිගයෙ හිටපු ආරක්ෂකයො වැඩි දෙනෙක් වෙනිසියුලානුවන් නෙවෙයි කියුබානුවන් කියල රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කිවුව.

මදුරෝ කොයි තරම් දරුණු පාලකයෙක් වුණත් ඒ පාලකය වෙනස් කළ යුත්තෙ ඒ රටේ මිනිස්සුමයි. එහෙම නැතුව ට්‍රම්ප් ට හරි, පූතින් ට හරි, ෂී ජින් පින් ට හරි තමන්ට කැමති කැමති විදියට රටවල් ආක්‍රමණය කරන්න බැහැ. ඒක අති බරපතල විදියට ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්. විශේෂයෙන්ම ට්‍රම්ප් වගේ දරුණු හීනමානයකින් පෙළෙන උන්මත්තක පාලකයෙක් මේ විදියට හැසිරෙන්න ගත්තම ඒක මුලු ලෝකෙටම හරිම භයානක ප්‍රවණතාවක්.

ට්‍රම්ප් ගෙ ආරක්ෂක ප්‍රධානී ජනරාල් ඩෑන් කේන් කියපු විදියට මේක මාසයකට වැඩි කාලයක් ඔත්තු බලල, සැලසුම් කරල, ගුවන්, නාවික, පාබල ත්‍රිවිධ හමුදාවම යොදාගෙන කරපු දැවැන්ත මෙහෙයුමක්. ගුවන් යානා 150ක් විතර මෙහෙයුමට යොදාගත් බවත් එක යානයකට ප්‍රහාරයක් එල්ලවුණ බවත් ඔහු කිවුව. ප්‍රහාරය එල්ල කරන්න කලින් ඇමෙරිකානු හමුදා මුලු කරකස් අගනුවරම විදුලිය විසන්ධි කළා. මෙහෙයුම සිද්ද වුණේ උදේ පාන්දර දෙකට. හැමෝම නිදි. මුලු නගරයම අඳුරේ.

සම්පූර්ණ මෙහෙයුම තමන් දැක්ක කියල ට්‍රම්ප් කියනව. මදුරෝ සහ බිරිඳ දැවැන්ත දොරක් ඇරගෙන පැනල යන්න හැදුවත් ඔහුට ඒ දොර වහගන්න බැරිවුණ බවත් ඔහු කිවුව. අන්තිමට ඔහු සටනක් නොදීම භාර වුණ බව තමයි පැවසෙන්නෙ. ඇමෙරිකානු සෙබලුන්ට ජීවිත හානි නැතත් මෙහෙයුමේදි වෙනිසියුලාව පැත්තෙන් සෙබලුන් කොපමණ පිරිසක් මිය ගියාද, තුවාල ලැබුවද කියල පැහැදිලි නැහැ.

වෙනිසියුලාවෙ ජනතාවට රට භාරදෙනව කිවුවට වහාම ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගම් රටට ගොඩ බහින බව ට්‍රම්ප් කිසිම හිරිකිතයක් නැතුව කිවුව. ට්‍රම්ප් කියන්නෙ ජෝජ් බුෂ්ගෙ ඉරාක ආක්‍රමණයට දැඩිව විරුද්ධ වුණ කෙනෙක්. ඒ වගේම ඔහු එදා කිවුවෙ රටවල්වලට පහර දීල ආණ්ඩු පෙරලනවට මම විරුද්ධයි කියල. නමුත් ට්‍රම්ප් දැන් කරන්නෙත් ඒකමයි. ඒ ගැන ඇහුවම මේක ඉරාක මෙහෙයුම වගේ නෙමෙයි, පරණ පාලකයො වගේ නෙමෙයි මම පරදින්නෙ නැති බව ඔප්පු කරල තියෙනවලු.

සුපුරුදු විදියටම ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ඇතිවෙන්න බොරුත් කිවුව. ඇමෙරිකාව කියන විදියට වැඩ කරන්නම් කියල වෙනිසියුලාවෙ උප ජනාධිපතිනි රොද්‍රිගස් පොරොන්දු වූ බවක් ට්‍රම්ප් කිවුවත්, ට්‍රම්ප් ගෙ press briefing එක ඉවර වුණ වහාම වගේ ජාතිය අමතපු ඇය කිවුවෙ මදුරෝ හැර වෙනත් ජනාධිපති කෙනෙක් වෙනිසියුලාවෙ නැහැ කියල. ඇය ජනාධිපති හැටියට දිවුරුම් දුන්න කියලත් ට්‍රම්ප් කිවුව. නමුත් මේ වෙනතුරු කරකස් අගනුවරින් එවැනි දෙයක් වාර්තා වෙලා නැහැ.

ට්‍රම්ප් කිවුවෙ අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාවෙ කටයුතු මෙහෙයවනව කියල. ඒත් උප ජනාධිපතිනියගෙ කතාවෙ එහෙම දෙයක් සඳහන් වුණේ නැහැ. ඒ වගේම පසුගියදා නොබෙල් ත්‍යාගය දිනපු විපක්ෂ නායිකා මාරියා මචාඩෝ රටේ නායකත්වයට සුදුසු නැහැ කියල ට්‍රම්ප් කිවුවෙ බොහෝ දෙනා විශ්මය පත්කරමින්.

නිකොලස් මදුරෝ කොයි තරම් නපුරු පාලකයෙක් වුණත්, ඒ රටේ ඛනිජ තෙල් සම්පත උදුරාගන්න ස්වාධීන රටක් ආක්‍රමණය කරල ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ව්‍යාපාරිකය වෙනිසියුලාවෙ විතරක් නෙවෙයි, මුලු ලතින් ඇමෙරිකානු කලාපයෙත්, මුලු ලෝකෙමත් දැවැන්ත අර්බුදයකට ඇදල දාල. ලංකාව වගේ පුංචි රටවලටත්, ලෝක බලවතුන්ටත් විවිධ මට්ටමින් මේ අර්බුදයෙ බලපෑම ඉදිරි දිනවලදිම දකින්න ලැබේවි.

  • සරෝජ් පතිරණ
    2025 ජනවාරි 03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...