සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 06 කොළඹ (LNW):ඊයේ (05) පස්වරුවේ උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහිදී සහභාගී විය.

ජනාධිපතිවරයා විසින් අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දී ඇත.
ඉන් අනතුරුව පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
මේ අතර පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.
යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබේ.

නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙහි සියලු කටයුතු සිදු වන අතර කජු ලෙලී ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.
මෙම කර්මාන්ත ආයතනය මඟින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා මෙය රටේ අනෙකුත් තරුණ තරුණියන්ට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කළේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
