Monday, December 5, 2022
spot_img

Latest Posts

‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක් වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

මෙරට පක්ෂ දේශපාලනයෙහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණු කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග කළ හැකි, බලයක් ලෙස බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම මා දකින අන්දමට අද ලංකාව තුළ ඇති දේශපාලන ප්‍රශ්නයට සහ අර්බුදයට ඇති විසඳුම බවයි.

ලාංකීය දේශපාලනය පත්ව ඇති අර්බුදය දවසින් දවස උග්‍ර වෙමින් පවතින නිසා ඊට පිළිතුරක් ලෙස ජනතාවගේ උවමනාවන් පෙරදැරි කරගත් ඒවා මුල් කරගෙන ගොඩ නැගුණු බලවේගයක් බවට ජනතා ව්‍යාපාරය පත්වීම ඊට විසදුම ලෙස මම දකිමි. එමෙන්ම එසේ දේශපාලන බලවේගයක් ලෙස පුළුල් ජනතා සංවිධානයක් ගොඩනඟා ගැනීමේදී අද මතු වී ඇති අභියෝග සහ අවස්ථාවන් මොනවාද යන්න අප ගැඹුරින් සාකච්ඡා කළ යුතු යැයිද මම විශ්වාස කරමි.

මට වැටහෙන ආකාරයට අද ලංකා ආණ්ඩුවට සහ ආණ්ඩුකරණයේ ඇති නොයෙකුත් දූෂණයන්ට එරෙහිව පැතිරුණු විරෝධයක් සමාජය තුළ මතුව තිබේ. විවිධ කණ්ඩායම්, විවිධ එකතූන්, වෘත්තිය සමිති හෝ අනෙකුත් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් තමන්ගේ වූ අරගල, විරෝධය පෑම් සිද්ධි වාචක ලෙස තැනින් තැන, කලින් කළ මතු කරමින් පවතී.

වරෙක පොහොර ප්‍රශ්නය වෙනුවෙනි. තැනෙක ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙනි. වෙනත් තැනක වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය වෙනුවෙනි. නැත්නම් ජනවාර්ගික කණ්ඩායම්වල අයිතීන් වෙනුවෙනි. තවත් විටක යුද සමයේ සිදු කරන ලද අපරාධයන්ට යුක්තිය ඉල්ලමිනි. තව ද නීතිය අවභාවිතා කිරීමට එරෙහිව ද, ස්ත්‍රී අයිතීන් ආදී මෙකී නොකී ආකාරයන්ගෙන් රට තුළ විවිධ උද්ඝෝෂන සහ විවිධ හඬවල් මතුව සහ මතුවෙමින් පවතී.

තැනක එම හඬ ‘හූ’ හඬක් බවට පත්වන අතර, තැනක ඒ හඬ පෙළපාළියක් බවට පත්ව ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරුන්ගේ පඹයින් පුච්චා දමන තත්ත්වයට උත්සන්න වී ඇත. තැනක මතුවන හඬ සමව තවත් තැනෙක ඒ ආකාරයෙන්ම මතු වූවා වුවත් මේ හඩවල් අතර, මේ නැගිටීම් අතර, එක සම්බන්ධයක් ගොඩනැගී නොතිබීම අප මුහුණ දෙන ප්‍රධානම ගැටළුව බව මගේ වැටහීමයි.

මීට අමතරව විවිධ පක්ෂ අද පවතින අර්බුදයට විසඳුම ලෙස තමනට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පෙනෙන්නට තිබේ. ඔවුන් අපට කියන්නේ තමන් බලයට පත් වූ විට මේ ප්‍රශ්ණ සියල්ල විසඳන බවයි. ඒ කිසිවකු ස්වාධීන සිවිල්, පුරවැසි, ජනතා ව්‍යාපාරයක් ගැන කතා නොකරයි.

අප හොඳින් දන්නා අයුරින් අද පවතින අර්බුදය එක දේශපාලන පක්ෂයක හෝ එක දේශපාලන කණ්ඩායමක වැරැද්දෙන් සිදුවූ දෙයක් නොව දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාවලියේ දුර නොදැක්ම, අවස්ථාවාදීත්වය, වර්ගවාදය, බහුතරවාදය, නොහැකියාව සහ දූෂණය යනාදී සාධක ගණනාවක් නිසා මතුව ඇති අර්බුදයකි.

දේශපාලනයේදී පවතින දේශපාලන පක්ෂ හෝ දේශපාලඥයන් රටෙහි සහ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට, තමන් බලයේ රැදී සිටීමත්, එමගින් පෞද්ගලික ලාභ උපයා ගැනීම සිය අරමුණ බවට පත් කරගෙන සිටීම මෙම අර්බුදයේ මුල බව අපට පැහැදිලිය.

මෙයට හොඳම නිදසුනක් නම් 1959 සිට අද දක්වාම මෙරට පාලක පංතිය විසින් විකුණාගෙන කන වර්ගවාදී දේශපාලනය සහ ගැති-ඥාති සංග්‍රහ දේශපාලනයයි.

රටෙහි ජන පදනමක් ඇති දේශපාලන පක්ෂ සියල්ලම ‍ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නැති දේශපාලන පක්ෂයන්ය. ඒවා පාරදෘශ්‍ය ද නැත. ඒවා තුල තිබෙන අක්‍රමිකතා සහ නිර්-ප්‍රජාන්ත්‍රවාදී වැඩ ශෛලිය නිසා ඒවා තුළ කූඨ ජාවාරම් මුල්තැන ගෙන තිබේ.

මෙම පක්ෂවල නායකත්වය ඇතුළු බොහෝ දෛනෙකුට, ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් මිස ක්‍රියාදාමයක් නොවේ. ඔවුන් සියල්ලන්ගේම අරමුණ වී ඇත්තේ දේශපාලන බලය තම අතට ගැනීම තුළින් රටෙහි සම්පත් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමයි.

මා දන්නා තරමින් ජනයාගෙන් විශාල ප්‍රමාණයක් මෙම කාරණය තේරුම් ගෙන සිටිති. එනමුත් එම අවබෝධය දේශපාලන බලවේගයක් බවට පත්ව නැත.

එම හිඩැස පිරවීමට නම් සිදුවිය යුත්තේ නැවත සිතා බලන දේශපාලන බලවේගයක් ලෙස සිවිල් ව්‍යාපාරය නැත්නම් පුරවැසි පිරිස් සංවිධානය වීමයි. මෙහිදී නැවතත් මතුවන ප්‍රශ්නය වන්නේ දේශපාලන බලය පෙරළීම හෝ අල්ලා ගැනීම නො වන දේශපාලනයක් සඳහා ජනතාව ඒකරාශි වෙන්නේ කෙසේද? එසේ විය හැකිද? යනාදියයි.

ඇත්තෙන්ම තැන තැන මතු වන නැගිටීම්, ‘හූ’ හඬ, කඩින් කඩ ඇතිවන පෙළපාලි මේ සියල්ලකින්ම කියා සිටින්නේ ජනයාගේ විරෝධය ප්‍රකාශ කිරීමයි. මෙසේ නැගිටින ජනතාව එක ජාලයකට සම්බන්ධ වී මූලික උවමනාවන් පෙරදැරි කරගත් සංවිධානයක් බවට පත්නොවී අයාලේ විරෝධතා දැක්වීමක් හෝ නැගිටීමක් හෝ ඇති වුවහොත් විය හැක්කේ විශාල මර්දනයක් මගින් ඒවා අඩපණ කර දැමීමයි. එසේත් නැතිනම් එම විරෝධයෙන් අයථා ප්‍රයෝජන ගන්නා වෙනත් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමක් විසින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමයි.

එසේ තහවුරු කර ගන්නා බලය ඊළඟට මේ තිබුණු ආකාරයෙන්ම, එසේ නැත්නම් ඊටත් වඩා නරක ආකාරයකින් බලය අවභාවිත කිරීම, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ජනතාව මත මර්දනය පැටවීම යනාදී ක්‍රියා සිදු කිරීමයි. ලෝකයේ එයට ඕනෑ තරම් උදාහරණ ඇත.

ඊජිප්තුවේ( ‘අරාබි වසන්තයට’) ජනතා නැගිටීම ප්‍රයෝජන ගත් කොටස වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වටහා ගත් කණ්ඩායම් නොව ඊටත් වඩා පසුගාමි “මුස්ලිම් සහෝදරවය” වැනි කණ්ඩායම්ය. ඒ තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් හමුදා නායක ජෙනරල් සිසී ගේ නායකත්වයෙන් හමුදාව නැවතත් බලයට පත්වීමට සමත් විය.

ඒ නිසා ලොව විවිධ තැන්වලින් ලබන අත්දැකීම්වලින් ප්‍රයෝජන ගනිමින් අප කළ යුතුව ඇත්තේ රට තුළ මතුව ඇති විවිධ ප්‍රශ්නවල පොදු ගුණාකාරය වටහා ගෙන මෙම පොදු ගුණාකාරය මත එක පෙළකට සංවිධානය කර ප්‍රතිපත්තිමය නැතහොත් ජනතාවගේ උවමනාවන් සහ අයිතීන් උදෙසා පෙළ ගැසී සංවිධානගත වීමයි.

මෙවැනි විශාල බහුජන සංවිධානයක් ගොඩනැගීමට අපට හැකිනම් දේශපාලන පක්ෂ ඒ නිසාම තමා සිටින තත්ත්වයෙන් වෙනස් වී ඊට එහා ගිය වැඩපිළිවෙළකට සහ සංවිධාන රටාවක ට ඒමට අනිවාර්යෙන් බල කෙරෙනු ඇත. එසේම ඡන්දයෙන් පසු බලයට එන රජයක් තමන් දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් එයට බල කිරීමේ බලවේගයක් ලෙස දිගින් දිගටම සංවිධානය වූ පොදු ජන බලවේගයක් ලෙස දිගටම පවතිනවා ද ඇත. එය අත්‍යාවශ්‍ය කාරණයකි.

නමුත් මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ දැනට තැන තැන උද්ඝෝෂණ කරන, ‘හූ’ කියන, විරෝධය ප්‍රකාශ කරන, මෙන් ම විවිධ ජනතා විරෝධයන් එක ජාලයකට ජාලගත කර ගන්නේ, නැත්නම් පොදුජන බලවේගයක් බවට පත්කර ගන්නේ කෙසේද යන්නයි.

මෙහිදී මෙම විවිධ සටන්වලට හේතු වී ඇති නීතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජනවාර්ගික අයිතීන්, ස්ත්‍රී අයිතීන්, විවිධ වෘත්තිකයන් ගේ වෘත්තීය අයිතීන්, පාරිසරික අයිතීන් ආදී මෙකී නොකී විවිධ ජන උවමනාවන් වෙනුවෙන් එක බලවේගයකට ඒමට අවශ්‍ය මූලික කාරණාවන් එකට ගොනු කර ගැනීමයි.

එසේ නැත්නම් ආණ්ඩුවෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව එක්ව කතා කිරීම තුලින් මෙම සෑම අරගලයකට ම හේතු වී ඇති, මේ සියලු ප්‍රශ්න වලට පොදු වන කාරණය එකක් වන පොදු සාධකය තේරුම් කිරීම සහ තේරුම් ගැනීම තුළින් ඇති වන සංවිධානයක් බවට මෙම බලවේග පත්කර ගැනීමයි.

ඇත්ත වශයෙන්ම මෙම පොදු බලවේගයක් ගොඩ නැගීමේ දී අපට වැදගත් වෙන්නේ නායකයින් වෙනස් කිරීම, එසේ නැත්නම් දේශපාලන නායකයින් වෙනස් කිරීමක් අරමුණු කරනවා වෙනුවට ජනතාව වෙනස් කරගැනීමේ වැඩපිළිවෙළක් දෙසට ගමන් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගත් ජනතාවක් ඉදිරියේ නිර්-ප්‍රජාතන්ත්‍රීය දේශපාලන පක්ෂ සහ ඒවායෙහි නායකයින්ට සැඟවී සිටිය නොහැක. ඔවුන් තම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් නොපවතින්නේ නම් ඔවුනට ජනතාවගේ ඡන්දය නොලැබෙන බව පැහැදිලිය. ඒ නිසාම ඔවුනට තම දේශපාලන ප්‍රතිපත්ති සහ පක්ෂ වැඩපිළිවෙලවල් වෙනස් කර ගැනීමට සිදුවේ.

සංවිධාන අතර එකතුවක් ඇතිවී ජාලගත වීම පිළිබඳව ඇති ප්‍රශ්නයේදී අපට ඇති ප්‍රධාන බාධකය මා සිතන පරිදි අපට පෙනෙන අයුරින් ලංකා සමාජය තුළ පුරුදු වී ඇති තනි තනිව වැඩ කිරීමට ඇති ඇබ්බැහිය යි.

අපේ මූලික ප්‍රශ්ණවලදි අප සියලු දෙනාට එකඟ විය හැකි පොදු ගුණාකාරයක් ඇත. ඒ වාගේම අපි විවිධ කාරණාවන්වල දී විවිධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එහි විවිධත්වයක් ද ඇත. නමුත් සියලුම කාරණාවල මූලික පොදු ගුණාකාරය වන්නේ වත්මන් ලංකා ආණ්ඩුවට ඇති විරෝධය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි. අප කළ යුතු වන්නේ අප අතර ඇති සුළු සුළු වෙනස්කම් නිසා ඇතිව තිබෙන ගැටලු අමතක කර අපේ මූලික කාරණාවල දී අප ප්‍රශ්න තුළ ඇති ප්‍රධාන සම බව හඳුනා ගෙන ඒ සඳහා එකතු වීමයි.

එහිදී මෙම කාරණයට මුලින්ම යම්කිසි කණ්ඩායමක් නායකත්වය දිය යුතු බවත් පැහැදිලිය. ඒ සඳහා මුලින්ම විවිධ කණ්ඩායම් අතරින් කොටසක් තෝරා ගෙන එක් තැනකට ආරාධනා කළ හැකිය. එසේ එකතු වන කණ්ඩායම අතරින් තෝරා ගන්නා යම්කිසි කමිටුවක් හෝ එවැනි කණ්ඩායමක් එතැනින් එහාට වැඩ කිරීමේ වැඩපිළිවෙළ තීරණය කල යුතු බව මගේ වැටහීමයි. මෙම කණ්ඩායමට අනිවාර්යෙන්ම පිරිමින්, ස්ත්‍රීන්, විවිධ ජන කණ්ඩායම්වල නියෝජනය වීමක් සහ තරුණ කොටස් අයත් විය යුතු බව ආරම්භයේ සිට ම තේරුම් ගත ගැනීම වැදගත්ය.

සමහර විට මෙවැනි ආරම්භයක් “ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව”ක ආකාරයක් ගත හැකිය. එවැනි මූලිකත්වයක් ආරම්භයේ සිටම ස්වෙච්ඡාදාකත්වය සහ ස්ව-ශක්තිය මත රැදි සිටීම ද වැදගත්ය. කෙටියෙන් එය තවත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතියක් නොවිය යුතු බව මගේ වැටහීමයි.

අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි. ජනතාව වෙනස් කිරීමෙනි. අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජනතාවක්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් සහ සංවිධාන රටාවක් ඇතිකර ගන්නාතුරු අප රටේ දේශපාලනයේ වෙනසක් ඇති වේ යැයි මම නොසිතමි. අපට ඇති එකම විසඳුම අපි අපම සංවිධානය වීමයි.

මා මෙසේ කියන විට, ඔබට මා සිහින දකිති යැයි සිතිය හැක. මා මෙන් තවත් දස දහස් ගණනක් ඒ සිහිනයේ සිටින බව අමතක නොකරන්න. මගේ මේ ලිපිය අවසන් කිරීමට මම ජෝන් ලෙනන් නැමැති ඒ විශිෂ්ට කලා කරුවාගේ ගීතයෙහි කොටසක් මෙහි උපුටා දක්වමි.

සිතන්න, හැම ජනයාම
එකම ලෝකයක් බෙදා ගෙනැතියි කියා,

මා සිහින දකින්නෙකැයි ඔබ කියන්න පුලුවන්,
එත් ඒ මං විතරක් නම් නොවෙයි
ඔබත් දවසක අප සමග එක්වේ යැයි මගේ පැතුමයි
ඉතිං එවිට අප හැම එකම එක ලෝකයක!

Imagine all the people
Sharing all the world, you
You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will live as one

රංජිත් හේනායක ආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.