මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී උද්වේගකර කතාවක් කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 07ක් සම්බන්ධයෙන් දැඩි චෝදනාවක් එල්ල කළේය. එහිදී ඔහු පැවසුවේ වත්මන් රජය විසින් මෙම ව්‍යාපෘති කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති බවත් මෙහි දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ය.

එහෙත් මෙම ව්‍යාපෘති කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති බවට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ ඔහුගේම කතාවේ අනෙක් කොටස සමග ගැලපීමක් නැති බව බැලූ බැල්මටම පෙනේ. එනම්, මෙම ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීමක් (EOI) 2021 වසරේදී සිදුකර ඇති බවට ඔහුම සිදුකළ ප්‍රකාශයයි.

කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීම (EOI) යනු ටෙන්ඩර් ක්‍රමයට තරමක් වෙනස් නමුත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව සිදුකෙරෙන ක්‍රියාවලියකි. ඉහත මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට අදාළ ව්‍යාපෘතිවලදී මේ කටයුතු සිදුව ඇත්තේ පහත සඳහන් අයුරිනි.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශයේ ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීම (EOI) 2021.09.24 දින රජයේ ගැසට් නිවේදනයෙන් සිදුකර ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ. ඒ සඳහා ආයතන 533ක් යෝජනා ඉදිරිපත් කර තිබී ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ඉහළ පෙළේ නිලධාරී කමිටුවක් විසින් මෙම යෝජනා ඇගයීමට ලක්කර ආයෝජකයින් 49 දෙනෙකු මූලික වටයේදී තෝරාගෙන ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘති සඳහා ආයෝජකයින් 49 දෙනෙකු තෝරාගෙන ඇත්තේ වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව හෝ යම්කිසිවකුගේ කැමැත්ත හෝ බලපෑම් මත නොවේ. එමෙන්ම 2024 වසරේදී ජාතික ජන බලවේගයේ රජය බලයට පැමිණීමෙන් අනතුරුව, අභිලාෂයන් කැඳවීම (EOI) මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලද යන ප්‍රශ්නය සාකච්ඡාවට භාජනය කරන ලදී. ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය විසින් එම ගැටලුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සහ නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකෙරුණු අතර එහිදී එම ආයතන දෙකේම නිගමනය වී තිබුණේ 2021 වසරේදී අභිලාෂයන් කැඳවීම (EOI) මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල බවයි.

එසේම මේ තෝරාගත් ආයෝජකයින් 49 දෙනා අතරින් කිහිපදෙනෙකුට පමණක් ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට රජය උත්සාහ ගන්නා බවට මුජිබර් රහුමාන් මහතා කළ චෝදනාව ද වැරදි සහගතය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මූලික වශයෙන් ඉඩම් අවශ්‍ය වේ. ඒ ඉඩම් සූර්ය පැනල හෝ ටර්බයින් සිටුවීමට ප්‍රමාණවත් විය යුතුය. ඊට අමතරව රජයේ නීතිරීතවලට අනුකූලව රාජ්‍ය ආයතන 20කින් පමණ මේවා සඳහා අනුමැතීන් ලබාගත යුතුය. එමෙන්ම පාරිසරික ඇගයීම් සිදුකළ යුතුය. ශක්‍යතා අධ්‍යනය සිදුකළ යුතුය. එපමණක් නොව උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට උකහා ගැනීම සඳහා ජාතික පද්ධතියේ ධාරිතාවය තිබිය යුතුය. එසේ නොමැති නම් ධාරිතා සංවර්ධනය කළ යුතුය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2025.12.01 දින ලිපියක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ මේ ඉහත කී සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන ලද සමාගම් 07කට බලශක්ති බලපත්‍ර (Energy Permit) නිකුත් කරන ලෙස ය. එය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා හුවාදැක්වීමට උත්සාහ කරන පරිදි කාගේ හෝ තේරීමක් හෝ බලපෑමක් නොව අදාළ සමාගම් 07 කඩිනමින් එම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ ප්‍රතිඵලයකි. අදාළ අවශ්‍යතා සම්පූර්ණ නොකළ සමාගම්වල ව්‍යාපෘති එකතැන පල්වෙමින් තිබෙනු ඇති අතර ඔවුන් ඒවා සම්පූර්ණ කළවිට ඔවුන්ට ද අදාළ බලපත්‍ර හිමිවනු ඇත. මෙය කිසිවෙකුට බිල්ලන් මැවීමට තරම් දෙයක් නොවේ.

මීට අමතරව මෙහි තවත් කතාවක් ද තිබේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලදී වැදගත්ම සාධකයක් වන්නේ උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව (Grid Interconnection) කොතෙක්ද යන්නයි. මෙහිදී දැනට මෙම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ යම් ඒකාධිකාරියක් පවත්වාගෙන යන ඇතැම් සමාගම්වලට වුවමනා වී ඇත්තේ තමන්ට ලැබුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ සුදුසුකම් තමන් විසින් සපුරාගන්නා තෙක්, ඉහත කී ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධතියට එකතුකිරීමේ අවකාශ (Grid) හිස්ව තබාගැනීමටයි. ඒ සඳහා ඔවුහු වෙනත් සමාගම්වලට බාධා කරමින් එක් පැත්තකින් රජයටත් අනෙක් පැත්තෙන් විපක්ෂයටත් වැරදි සහගත තොරතුරු සපයමින් ගතු කියමින් සිටින බව ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි.

එහෙයින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙකී දැනට මෙම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ යම් ඒකාධිකාරියක් පවත්වාගෙන යමින් අනෙක් සමාගම්වලට බාධාකරන සමාගම්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව හසුවී ඔවුන්ගේ වුවමනාවක් ඉටුකරන බවක් පෙන්නුම් කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවෙමින් රටට වැදගත් ව්‍යාපෘති පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කරනවාට වඩා යම්කිසි විෂයයක් ගැන කතාකිරීමේදී ඒ පිළිබඳ හොඳින් සොයාබලා කරුණු විමසා කටයුතු කිරීම වැදගත් බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වටහාගත යුතුව ඇත. එසේ නොමැති නම් සිදුවන්නේ ඔහු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවෙමින් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරමින් කාගේ හෝ කොන්ත්‍රාතු ඉටුකරන බවක් රටටම පෙනීමය.

~ අරෝෂ් ක්‍රිෂ්ණජිත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...