ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර හතක් සම්පූර්ණ වෙයි. යහපාලන සමය තුළ සිදු වූ එම ප්‍රහාරයට ඉන් පසු බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ හෝ රනිල් වික්‍රමසිංහ පාලනය තුළ හෝ යුක්තිය ඉටු නොවුණු අතර වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එම විමර්ශන යළි සක්‍රීය කර තිබේ.
ඒ අනුව එම ප්‍රහාරයට අදාළව හිටපු රජය බුද්ධි ප්‍රධානියාද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.
පාස්කු ප්‍රහාරයට වසර හතක ගත වෙන විටත් ඊට නිසි යුක්තිය සාධාරණය ඉටු නොවුණු පසුබිමක තවදුරටත් යුක්තිය අපේක්ෂාවෙන් පසුවන මොහොතක අද (17) කතෝලික සභාව වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
ඒ අනුව මෙම 19 වැනිදා යාඥා දිනයක් ලෙස නම් කර ඇති අතර යුක්තිය උදෙසා යාඥාවේ දිනයේදී සැමදෙනාම ඊට එක්වන ලෙසත් නිවෙස්වල සිට හෝ යාඥා කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙස් විදෙස් සාමාන්‍ය වැසියන් 279 මියගිය අතර ඒ මියගිය සියලු දෙනා විශ්වාසයේ නාමය වෙනුවෙන් මියගිය අය ලෙස රෝමයේ වතිකානුව විසින් නම් කර තිබේ.
කෙසේවෙතත් මේ වන විට එම විමර්ශන ලෙස පැවැත්වෙමින් තිබෙන අතර ඇතැමුන් ඒ ගැන කලබලයෙන් පසුවෙන බව සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළහ.
”අදටත් සම්පුර්ණ සත්‍ය හෙළිවෙලා නෑ. චැනල් ෆෝ වැඩසටහනට අදාළ කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කෙරෙනවා. ප්‍රමාදයක් තිබ්බත් ඒ පරීක්ෂණ පිළිවෙලකට සිදු වෙනවා. පරීක්ෂණ කෙරෙන කොට සමහර අය කලබල වෙලා. සමහරු පොත් ලියනවා, මතවාද ඉදිරිපත් කරනවා සහරාම් හෂීම් මේ ඉටුපස ඉන්නවා කියලා. නමුත් මේ සිදුවීම් පිටුපස තවත් පුද්ගලයින් සිටිනවා. සහරාන් මෙහෙයවන පුද්ගලයන් සිටියා කියලා පැහැදිලි වෙලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශයේ දේශපාලකයන්ට කඩේ ගිය කණ්ඩායමක් හිටියා කියලා පැහැදිලි වෙලා තියෙනවා. මේ සිදුවීමට සියලු බුද්ධි අංශ හෝ සියලු හමුදා නිලධාරීන් හෝ සියළුම පොලිස් නිලධාරීන් නෙවෙයි දේශපාලකයින් වෙනුවෙන් තම නිලය භාවිතා කරපු පිරිස් හිටියා. තාජුඩින්, එක්නැලිගොඩ සිද්ධිය බැලුවම සමහර නිලධාරීන් ඉදලා තියෙනවා. දැන් සමස්ත හමුදා පොලිස් නිලධාරීන් මර්දනය කරන්න හදනවා කියලා මතයක් හදන්න යනවා. මේ සිදුවීම්වලට යම්කිසි පිරිසක් සම්බන්ධ නම් ඒ අය හදුනා ගන්න කටයුතු කරනවා නම් හමුදාවට පොලීසියට බුද්ධි අංශවල ගෞරවය රැක ගන්න පුළුවන්. දේශපාලන වාසි සඳහා කටයුතු කරපු අය හදුනා ගන්නවා කියන්නේ ජනතාවට යුක්තියේ විශ්වාසය ඇති කිරීමක්. බයක් නැතුව ජීවත් වෙන්න නම් නිලධාරීන් ද දේශපාලන පුද්ගලයින්ද කියලා නැතුව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විමර්ශන නිලධාරීන් කිසි දෙයකට යටත් නොවී කටයුතු කළ යුතුයි. අපරාධකරුවන් ආරක්ෂා කරන්න කාටත් බෑ. යුක්තිගරුක පුරවැසියන් හැටියට විමර්ශන කරලා අත්අඩංගුවට ගන්නවා කියන්නේ අපරාද කරුවෙක් නෙවෙයි ඒක තීරණය කරන්නේ අධිකරණය.
විමර්ශන සිදු කෙරෙනකොට සාක්ෂිකරුවන් බිය වැද්දීම සිදු කෙරෙන බවට අනාවරණය වෙලා තියෙනවා. තවමත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ බලපෑම් සිදුවෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා විමර්ශනවලට බාධා කරන පිරිස් ඉන්නවා. ඔවුන් අත්අඩංගුවට ගත්තොත් සුළමුල සොයාගෙන යන්න පුළුවන්. මේ පුද්ගලයන් මෙහෙයවන්නේ කවුද කියලා සොයා බැලුවොත් අපරාධකරුවන් නීතිය හමුවට ගේන්න පුළුවන්.”
මේ අතර පාස්කු ප්‍රහාරයට වසර හතක් සම්පූර්ණ වීමට සමගාමීව විවිධ වැඩසටහන සිදුකරන අතර අප්‍රේල් 21 සෑම පල්ලියකම උදැසන 8.45ට මළවුන් සිහි කිරීම සහ සීනුව නාද කිරීම සිදු කෙරෙන අතර වීන්දිතයන්ට යුක්තිය උදෙසා ඔවුන් සිහිකරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියහ.


