ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව කොමිෂන් සභාවක් පත්කර ඇත.
මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් පත්කර තිබේ.
මෙම කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර ඇත.
එම කොමිෂමට ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එමගින් රජයට මූල්‍යමය හානියක් සිදුව ඇත්නම් එය තක්සේරු කිරීමත්,අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්ද, නැද්ද යන වග සහ ප්‍රසම්පාදන ක්‍රියාදාමය, සැපයුම් ක්‍රියාදාමය, තත්ත්ව පරීක්ෂණ ක්‍රියාදාමය, මෙහෙයුම් ක්‍රියාදාමය සහ උපයෝගීතා ක්‍රියාදාමය ඇතුළු සමස්ථ සම්බන්ධිත ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කිරීමත්, ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී විදුලි ජනන මට්ටම අපේක්ෂිත ඵලදායී ආකාරයට සිදු වී ඇත්ද, නැද්ද යන වග සොයා බැලීමත්,ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කරන ලද්දේ නම් එම ගල්අඟුරු භාවිතා කර විදුලි බල උත්පාදන ක්‍රියාවලිය තුළදී නෛතික සහ මූල්‍යමය අක්‍රමිකතා/ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,මෙකී ක්‍රියාදාමය තුළ සිදු කරන ලද ප්‍රකාශිත/ හෝ කොන්දේසි කඩ කිරීම් සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එලෙස සිදු වී ඇත්නම් එකී කඩවීම්වලට එරෙහිව ගෙවීම් අත්හිටුවීම / හෝ වෙනත් හානි පූර්ණ ක්‍රියාදමයන් අනුගමනය කර ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,ඉහත ආකාරයේ සිදුවීම් සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරින්, රජයේ නිලධාරීන්, සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ නිලධාරීන් හා සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය යෝජනා කිරීමත්එසේ සිදුවී ඇතැයි කියන අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා අනාගතයේදී සිදුවීම වළක්වා නිසි සුපිළිපන්න භාවය තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමත් පැවරී ඇති වගකීමය.
එමෙන්ම ඉහත සඳහන් කරුණුවලට අමතරව ගල්අඟුරු ආනයනය කර විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි වාර්තා විය හැකි වෙනත් අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා සම්බන්ධව වාර්තා කිරීම සහ එවැනි තත්ත්වයන් සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම වාර්තා කිරීමත් කාර්යයන් ලෙස පවරා තිබේ.




