සටහන – රුවන් නෙළුගොල්ල
ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට අවසර දී නොමැති බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා සඳහන් කළේ.
“ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, විදුලි සංදේශ සේවාවන්ට අදාළ මිල ගණන් අනුමත කිරීමේ කාර්යේ නියුතු අධ්‍යක්ෂ වශයෙන් ජංගම දුරකථන පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළවූ වාර්තා පිළිබඳව පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පණතින් ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට කිසිම සමාගමකට අපි අවසර දී නොමැති බවයි.
මේ පුවත කොමිෂන් සභාවට දැනගන්න ලැබීමත් සමග කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලින් ඒ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එම සිදුකිරීමට අනුව ඒ සියලුම ජංගම දුරකථන සමාගම් පවසා සිටියේ කිසිම මිල වැඩි කිරීමක් කර නොමැති බවයි. ඒ පිළිබඳව එම සමාගම් ලිඛතව කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා.
කෙසේවුවත් යම් කිසි පාරිභෝගිකයෙකුට තමා සක්‍රීය කරගෙන ඇති ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ යාමකට මුහුණ දී සිටීනම් ඒ පිළිබඳ සත්‍ය තොරතරු සාඳක සහිතව කොමිෂන් සභාවට නොපමාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මොකද එවැනි මිල ගණන් වැඩිකිරීමක් කළහොත් එය කොමිෂන් සභාව විසින් සේවාදායක සමාගම් වෙත ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි කඩකිරීමක් වෙනවා. එවැනි බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් කරනු ලැබුවහොත් එවැනි සේවාදායක සමාගම්වලට විරුද්ධව අපගේ පනතේ ඇති බලතල අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව කොමිෂන් සභාව සතුයි”
ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.