Sunday, December 4, 2022
spot_img

Latest Posts

රත්තරන් විකුණපු රටක් ගැන කතාවක් !

ආසියාවෙ හිටපු එක රටක් 1991 දී ඇත්තටම ආර්ථික වශයෙන් බිත්තියටම හේත්තු වුණා.ඒ රට අපි වගේම එංගලන්තෙ සුද්දන්ගෙන් නිදහස ලබපු රටක්.නිදහස ලබපු දවසෙ ඉඳලා 1991 දී ඔය අවුල සිද්ධ වෙනකම්ම ඒ රට අනුගමනය කළේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක්.ආනයන සීමා කරපු, හැමදෙයක්ම තමන්ගේ රටේ හදාගන්න උත්සහ කරපු ප්‍රතිපත්තියක්.දේශපාලනිකව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණ රටක් වුණත් ආර්ථික වශයෙන් ඔවුන් හිටියේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ.වැඩිපුරම බිස්නස් කළෙත් ඒ කඳවුරේ රටවල් එක්ක.

හැබැයි 1980 දශකය ඉවර වෙද්දී සෝවියට් දේශය කඩාගෙන වැටුණා.ඒත් එක්කම අර රට සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපා රටවල් එක්ක කරපු බිස්නස් සම්පූර්ණයෙන්ම වගේ බංකලොත් වුණා.රටට විදේශ විනිමය එන එක නතර වුණා.ඒ රටට ඕන කරන දේවල් පිට රටින් ගෙන්න ගන්න අවශ්‍ය විදේශ විනිමය හිඟ වුණා.

(ඒ අස්සෙ ඉරාකයේ හිටපු සදාම් හුසේන් 1991 දී තමන්ගෙ අල්ලපු රට වුණ කුවෙට් දේශය ආක්‍රමණය කළා.ඇමෙරිකාව තව රටවල් සෙට් එකක් එක්ක බැහැලා සදාම්ට නෙලන්න ගත්තා.මැදපෙරදිග ඇවිලුණ ඔය ගල්ෆ් යුද්දෙ අස්සෙ ලෝක තෙල් සැපයුම සෑහෙන්න අඩපණ වෙලා බොර තෙල් බැරල් එකක මිල බලාගෙන ඉද්දී වැඩි වුණා)

ඉතිං අර රටේ ආනයන වියදම් සෑහෙන්න වැඩි වෙලා අන්ත අසරණ වුණා.1991 මැයි ජූනි විතර වෙද්දී ඒ රට ළඟ තිබුණෙ ඇ.ඩොලර් බිලියන 1.5 ක් විතර වෙච්ච විදේශ සංචිත ටිකක්.ඒ ටික ප්‍රමාණවත් වුණේ ඊළඟ සති දෙකේ ආනයන වියදම් පියවා ගන්න විතරයි.පිට රටවල් වලින් ගත්තු ලොකු ණය වාරිකයක් ගෙවන දවසත් එන්න එන්නම ළං වුණා.

මේ රට කාලයක් තිස්සෙ සෝවියට් දේශය එක්ක සමීප සම්බන්ධයක් තිබ්බ රටක් නිසා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඔක්කොම අහක බැලුවා.යන්තං හරි උදව්වක් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විතරයි.ඒ ඇරුණම කිසිම රටක් උදව්වට ආවෙ නෑ.කාලයක් තිස්සෙ බොහෝ දුරට සංවෘත ආර්ථිකයක් විදියට වැඩ කරපු නිසා මේ රට බංකලොත් වෙන එක ලෝක ආර්ථිකයට ලොකු බාධාවක් වුණේ නෑ.මොකද ලෝකෙ අනිත් බලවත් රටවල් වලට මේ රට එක්ක ලොකු ආර්ථික සම්බන්ධකම් තිබ්බෙ නෑ.

ඔය අස්සෙ බෑ බෑ කිය කිය හරි අර රටට උදව් කර කර හිටපු IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක සැරේ කිව්වා තව දුරටත් උදව් කරන්න බෑ කියලා.IMF එක බෑ කියපු ගමන් හැම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතනයක්ම අර රටේ ණය ශ්‍රේණිය පහළ දැම්මා.ඒක ඒ රටට ණය දෙන්නෙපා කියලා අනිත් රටවල් වලට දුන්නු සිග්නල් එකක්.

මේ දරුණු ආර්ථික අර්බුද අස්සෙ ඒ රටේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය පරාද වුණා.ඒ නිසා ආයෙත් ආණ්ඩුවක් තෝර ගන්න ඡන්දයක් තිබ්බා.ඒ ඡන්දෙන් අලුත් ආණ්ඩුවක් පත් වුණා.විශේෂයෙන්ම ආර්ථිකය ගැන හොඳටම දන්න,ලෝකෙ ඇතුළෙ වෙන්නෙ මොනා ද කියලා අවධානයෙන් හිටපු,තමන්ගේ රට කරමින් හිටපු වැරදි මොනාද කියලා තේරුම් ගත්තු,කේම්බ්‍රිජ්,ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල දෙකේම ඉගෙන ගත්තු smart මුදල් ඇමතිවරයෙක් පත් වුණා.

පිටරටකින් ගත්තු එක ණය වාරිකයක් හරි ගෙවාගන්න බැරි වුණොත් ඒක තමන්ගේ රටේ ආර්ථිකයට මරු පහරක් බව තේරුම් ගත්තු ඔහු තමන්ගේ රට වැටිලා ඉන්න දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තමන්ගේ අධිරාජ්‍යවාදී ස්වාමියා වූ බ්‍රිතාන්‍යයෙන් සහ ඒ වෙද්දී ආසියාවේ සුපිරි ආර්ථික බලවතා වුණ ජපානයෙන් උදව් ඉල්ලුවා.ඒ රටවල් දෙකෙන්ම ලැබුණෙ එකම උත්තරයක්.

“සල්ලි දෙන්නම්.හැබැයි ඇපයට තියන්න මොනා හරි අරන් වරෙන්”

හැබැයි එක ප්‍රශ්ණයක් තිබ්බා.

” *ක කහන්න නියපොත්තක් නැතුව ඉන්න අපි මොනාද යකෝ අපි ඇපේට තියන්නෙ???”

ඔය වෙලාවෙ ඒ රටේ මහ බැංකුවෙන් යෝජනාවක් ආවා.

“අවසාන තුරුම්පුව විදියට අපි ළඟ තියෙන රත්තරං ටික උකස් තියමු.”

අලුත් මුදල් ඇමති තුමා බ්‍රිතාන්‍යයට සහ ජපානෙට ඒ යෝජනාව ඉදිරිපත් කළා.ඒ වෙලාවෙ තමයි ඒ රටවල් දෙක අමුතුම කතාවක් කිව්වෙ.

“රත්තරං ටික උඹලගෙ රටේ තියාගෙන ඉන්න ඉඩ දෙන්න බෑ.මොකද වැටිලා ඉන්න වලේ ගැඹුර අනුව අපිට ෂුවර් නෑ අපිට හොරෙන් උඹලා රත්තරන් ටික විකුණගෙන කයිදෝ කියලා.ඒ නිසා ඒ රත්තරන් ටික අපේ රටවල් වලට ගෙනත් දීපං.ණය ගෙවලා ආයෙත් අරගෙන පලයන්.”

අනේ ඉතිං අර දුප්පත් රට තමන්ගේ අතින් පෙට්‍රල් ගහගෙන රත්තරං ටොන් 47 ක් බ්‍රිතාන්‍යය මහ බැංකුවටයි ජපන් මහ බැංකුවටයි අරගෙන ගියා.තවත් රත්තරං ප්‍රමාණයක් ස්විට්සර්ලන්තයේ මහ බැංකුවට උකස් තිබ්බා.

ඊට පස්සෙ තමයි ඒ රටට සල්ලි හම්බුණේ.ඒ ලැබුණ සල්ලි ටික බොහොම අමාරුවෙන් කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්ණෙන් යාන්තම් ගොඩ ඇවිත් ටිකක් ඔලුව උස්සන්න අර දුප්පත් රටට පුළුවන් වුණා.

හැබැයි ඒ රට දැනගෙන හිටියා තමන් ආයෙමත් පරණ වලටම වැටෙන්න පුළුවන් කියලා.ඒ නිසා සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අතෑරලා ආර්ථිකය ටික ටික නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් කරන්න මහන්සි වුණා.මහා පරිමාණ විදේශ සමාගම් සහ ආයෝජකයන්ට තමන්ගේ රටේ දොර ඇරියා.ඉංජිනේරු,වෛද්‍ය,තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල දැවැන්ත ආයෝජන කරලා තමන්ගේ රටේ වෘත්තිකයෝ ලෝකෙ පුරා යවන්න සමත් වුණා.

වැදගත්ම දේ තමයි ඊට පස්සෙ පත් වුණ ආණ්ඩු වුණත් ඒ ප්‍රතිපත්ති අංශක 180 ක් රිවස් නොකර දිගටම පවත්වගෙන ගියා.

එක ඩොලර් බිලියනයක් හොයාගන්න අමාරුවෙන් හිඟා කාපු ඒ රට අද වෙද්දී ඩොලර් බිලියන 600 කට වඩා විදේශ සංචිත අයිති,ලෝකෙ වැඩිම විදේශ විනිමය සංචිත තියෙන රටවල් දහයෙන් එකක්.ඒ වගේම ලෝකෙ විශාලම ආර්ථිකයන් දහයෙන් එකක්.රත්තරං ටොන් 750 ක් අයිති අති දැවැන්ත නිෂ්පාදන ආර්ථිකයක්.පුරෝකථන අනුව 2050 වෙන කොට ලෝකෙ ලොකුම ආර්ථිකයන් දෙකෙන් එකක්.පහුගිය අවුරුදු විස්ස ඇතුළෙ තමන්ගෙ රටේ හිටපු මිනිස්සු මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් දුප්පත්කමෙන් මුදවා ගන්න ඔවුන් සමත් වුණා.ඔවුන්ට තවමත් විශාල ප්‍රශ්ණ තියෙනවා.නමුත් ලෝකෙ කිසිම රටකට තමන්ව ආයෙත් කවදාවත් ආර්ථිකමය වශයෙන් කඩේ යවන්න බැරි විදියේ ශක්තියක් ඔවුන් ගොඩ නගාගෙන තියෙනවා.

ඒ රට තමයි අපේ අසල්වාසී ඉන්දියාව.අර smart මුදල් ඇමතිවරයා තමයි පස්සෙ කාලෙක ඉන්දියාවෙ අගමැති තනතුරටත් පත් වුණ ආචාර්‍ය මන් මෝහන් සිං.

අසල්වාසියාගෙන් ඉගෙන ගන්නව නම් ගොඩක් පාඩම් අපිට තියෙනවා.ඒ වගේම හරියට ප්‍රයෝජනයක් ගන්නව නම් මිනිස්සු කෝටි සීයකට වඩා ඉන්න මාකට් එකක් අල්ලපු වැටේ තියෙනවා.

  • ගයාන් චමුද්‍ය සපුගේ

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.