*
Thursday, January 16, 2025
spot_img

Latest Posts

ලිංගික සංක්‍රාන්තිය ගැන කියද්දී දක්ෂිණාංශිකයන් මෙච්චර නලියන්නේ ඇයි? (01 කොටස)

ලිංගික සංක්‍රාන්තිය වලංගුවන තුරාවට පුරුෂෝත්තමවාදය ට වලංගුභාවයක් නෑ. දක්ෂිණාංශිකයන් ඒක දන්නවා!

ප්‍රමෝද් චින්තක පීරිස්

ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර රටවල පරිපාලන සැකැස්ම ඔවුන්ගේ දේශසීමාවන්ට පමණක් ලඝුවන දෙයක් නොවන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා හි බලපෑම ලොව පුරා දක්ෂිණාංශික/වාමාංශික කඳවුරුවල හැඩතලයන් නිර්මාණය කිරීමට ඉවහල් වෙනවා. 

දැන් ඇමරිකාවේ පාලන බලය යළිත් වරක් දිනාගෙන ඉන්නේ රිපබ්ලිකානු කඳවුර. මේ‍ කඳවුර තුළත් සමාජ ප්‍රගතිය අතින් විවිධ තලවල මතධාරී මිනිසුන් ඉන්නවා. හැබැයි වැඩියෙන් බෙරිහන් දෙන්නේ අන්ත දක්ෂිණාංශික මතධාරීන්. ඔවුන් හුදෙක්ම ඇමරිකාවේ මීළඟට ජනාධිපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන්නේ දේශපාලන නායකයකුටත් වඩා ආගමක් විදියට.

බලය තිබිය දී හා නැතිවිට දී ට්‍රම්ප් ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික කඳවුර දිගින් දිගටම ආන්තික ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් සමච්චලයට ලක්කළේ, හුදෙක් වචනවලට සීමා නොවී ඔවුනට එරෙහි නීතීන් පවා සම්පාදනය කරන බවට ගොරෑඬි දෙමින්. එතනිනුත් නොනැවතුනු රිපබ්ලිකන් අධිකාරිය, ආන්තික ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් කප්පාදුකරන නීතීන් ඇතැම් ජනපදවල සම්මතකර ගැනීමට පවා කටයුතුකළා. බලය බෙදන “ෆෙඩරල් ක්‍රමය” මාරයි කියලා අපට හිතුනාට, එහි පවතින ආදීනව ට මෙය කදිම උදාහරණයක්.  

මේ ලිපි පෙලෙන් කතාකරන්නේත් ඔය වගේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවක් ඉදිරියේ දක්ෂිණාංශික කඳවුරේ හැසිරීම ගැන. 

මේ දවස්වල සංක්‍රාන්ති සමාජභාවී, සංක්‍රාන්ති ලිංගික, සමාජභාවයේ ද්විත්ව-නොවන අනන්‍යතා ඇති පුද්ගලයන් ගැන අර්බුදය යළි මතුපිටට පැමිණ තිබෙනවා නේද? ලිංගික සංක්‍රාන්තිය ගැන කතාකරන විට දක්ෂිණාංශික කඳවුර භූමිතෙල් වැදුනු ගැරඬින් වගේ දඟලනවා බලන්න පුළුවන් නේද? 

දක්ෂිණාංශික කඳවුර විසින් සංස්කෘතික වටිනාකම්වලට වැඩි ඉඩක් දෙන බව පවසමින් සුළුතර ලිංගික අනන්‍යතා වලට දක්වන මේ ප්‍රතිරෝධයේ ඔබ නොදුටු පැත්තක් ගැන කතා කරන්නයි මේ සූදානම. අන්ත දක්ෂිණාංශිකයන්ගේ දේශපාලනික තක්කඩිකම හා ආර්ථික තක්කඩිකම යනුවෙන් කොටස් දෙකකින් මේ ගැන අපි කතා කරමු. මේ පළමු කොටසයි. 

දේශපාලනික තක්කඩිකම

ඇමරිකාවේ සෑම රිපබ්ලිකානුවකු ම වර්ගවාදියකු නොවුනාට, වර්ගවාදී සියලුදෙනාම පාහේ රිපබ්ලිකන් මතධාරීන් බව ඔබ අහලා තියනවා ද? මේ න්‍යාය සමාජභාවී භූමිකාවටත් වලංගුයි. පුරුෂෝත්මවාදය සහ වර්ගවාදය යන දෙකම, යටත්විජිතකරණය, වහල්භාවය සහ අධිරාජ්‍යවාදය හරහා ඓතිහාසික වශයෙන් බල ව්‍යූහයන්තුළ ගැඹුරින් කා වැදී තිබෙනවා. පුරුෂෝත්තමවාදය බොහෝවිට වර්ගවාදී මතවාදයන් සමඟ බැඳී පවතින අතර, එකිනෙකාගේ පිටකසා ගන්නවා. 

නමුත්, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් නිදහසේ ජීවත්වන තුරාවට ඔවුනට තම පුරුෂෝත්තමවාදය, හෝ සමාජභාවය මත පදනම් වූ මර්දනය ක්‍රියාත්මක කරන්න බැහැ; කාන්තාවන් පිරිමින්ගේ අණසකට නතුකරගන්න බැහැ. සංක්‍රාන්ති සමාජභාවී (Transgender) පුද්ගලයන් සහ සමාජභාවයේ ද්විත්ව නොවන (Non-binary) අනන්‍යතා ඇති පුද්ගලයන් ජීවත්වන තුරාවට, සමාජභාවයේ පවතින අර “කාන්තා” හා “පිරිමි” යන ගතානුගතික ද්විත්ව අනන්‍යතාවයට අභියෝගයක් එල්ලවනවා. ඉතිං, ලිංගික විවිධත්වයක් ඇති පුද්ගලයන් කියන්නේ, සමාජයේ ජීවත් වන්නේ ජීවවිද්‍යාත්මක ස්ත්‍රිය (biological female) හා ජීවවිද්‍යාත්මක පුරුෂයා (biological female) පමණයි යන්න මුල්බැසගෙන තිබෙන චින්තනය බිඳිය හැකි ශක්තිමත් ම විද්‍යාත්මක සාක්ෂියයි. 

ඔබ ඉපදී ඇත්තේ සමාජයේ නිශ්චිත භූමිකාවන් සමුදායක් ඉටු කිරීමට බැඳී සිටින ශරීරයකට බව ඔබ විශ්වාස කිරීම නතරකරන මොහොතේ සිට, ඔබට කළ හැක්කේ සහ කළ නොහැක්කේ කුමක්ද යන්න ඔවුනට පැවසීමට ඇති හැකියාව අහෝසිවනවා. මෙමඟින් ඔවුන් “වැරදි ක්‍රියාවක්” යැයි නිර්වචනය කරන යමක් ඔබ විසින් කළහොත් ඔබට දඬුවම් පැමිණවීමට ඔවුනට ඇති හැකියාව සුනුවිසුනු වී යනවා. ඔබගේ සමාජභාවය වෙනස්කර ගැනීමට, නැතිනම් සමාජභාවයේ අන්ත දෙක අතරමැද ස්ථානයක ජීවත්වීමට ඔබට හැකියාව ලැබුණහොත්, සමාජභාවය කියන්නේ තවදුරටත් අනන්‍යතා ද්විත්වයක සීමාවක් නොවන බව ප්‍රත්‍යක්ෂ වනවා. සමාජභාවය (Gender) යනු පුද්ගල අනන්‍යතාවයක් හඳුන්වනු ලබන තවත් එක් වචනයක් පමණක් වනවා. 

දක්ෂිණාංශිකයන් මේ ගැන දන්නවා. විවිධ ලිංගික අනන්‍යතා සමාජයේ පවතින තුරාවට, විශේෂයෙන් කාන්තාවන් ඉලක්කකරගෙන සිදුවන සමාජභාවය මත පදනම් වූ මර්දනය පදනම් විරහිත එකක්වන බව ඔවුන් දන්නවා. ඔවුන් මේ යතාර්ථයට බයයි.

ඉතිං ඇයි ඒකට බය?

මේකට අතීතය පොඩ්ඩක් හාරා අවුස්සන්න ඕනේ. කිතුණු යුරෝපීය රටවල් යුරෝපයෙන් පිටත ව්‍යාප්ත වීමට පටන්ගත් කාලයේ, ලොව පුරා යුරෝපීය නොවන රටවල ජීවත් වූ ස්වදේශීක මිනිසුන් සමූලඝාතනය කිරීම සිදුවුණා. මෙමඟින් යටත්විජිතකරණය ආරම්භවුනු අතර, ජීවත් වූවන් තම වහල්භාවයට ගැනීමට, ඔවුනට අයත් භූමිවලින් ඔවුන් අතුගා දැමීමට සහ ඔවුන් සතු සියලු දේපළ සම්පත් අත්පත්කර ගැනීමට යුරෝපීය බලවතුන් කටයුතුකළා. 

මෙම ක්‍රියාදාමය තුළ, රෝමානු කතෝලික බයිබලය විසින් ඉගැන්වූ වටිනාකම් බලාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ඔවුනට ඇතිවුනා. විශේෂයෙන් ම කාන්තාවන් සමාජයේ පහත් ස්ථානයක තබා ගැනීමේ අරමුණ ඔවුනට තිබුණා. ඒ අනුව, ස්ත්‍රී-පුරුෂභාවය, සමාජභාවය ද්විත්ව අනන්‍යතාවයකට සීමා කිරීම සිදුවුනා. මෙමඟින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් යුරෝපීය සමාජයෙන් අතුගා දැමීම සිදු වූ අතර, රෝමය කිතුණු දහම වැළඳගත් පසු පශ්චාත් රෝම ආක්‍රමණික සමාජයන්වල ද මෙම ලක්ෂණය ම දකින්නට හැකිවුණා. 

16 වන සියවසේ දී, යටත්විජිතවාදීන් විසින් රටවල් ආක්‍රමණය කරන විට, ඒ ඒ රටවල ජීවත් වූ ස්වදේශීකයන් සමූලඝාතනය කළා. සමූලඝාතනය කියන්නේ ම හුදෙක් පුද්ගලයන්ටත් වඩා, එකී පුද්ගලයන් වැළඳගෙන සිටින සංස්කෘතීන් පවා විනාශකර දැමීම. මෙම සංස්කෘතීන්වල සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට පමණක් නොව, සමාජභාවයේ ද්විත්ව නොවන අනන්‍යතා ඇති පුද්ගලයන්ට පවා විවිධ වටිනාකම් ලබා දී තිබුණා; ඔවුනට ම වෙන් වූ සමාජීය භූමිකාවන් තිබුණා. යටත්විජිතකරණයේ දී සිදු වූ සමූලඝාතනයන්වල දී එම අනන්‍යතා පොළවටම සමතලා කර දැමුවා. 

යටත්වාසීන් පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ඔවුන් කිතුණු දහමට ඈඳා ගැනීමට යුරෝපීය යටත්විජිතවාදීන් කටයුතුකළා. සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් එළිපිට ඝාතනයකළ යටත්විජිතවාදීන් ඔවුන් කිතුණු දහමේ එන යක්ෂයා අදහන්නන්ට සමානකළා. ස්වදේශිකයන්වත් නොදන්නා ආගමක දෙවියන් වහන්සේ කෙනෙකුගේ සහ යක්ෂයකුගේ අනුගාමිකයන් බවට පත්වීමට ස්වදේශීකයන්ට සිදුවූවා.

මෙම ආක්‍රමණය මෙතනින් නතර වූයේ නැහැ. එවන් ප්‍රජාවන් ජීවත්වීමට එරෙහිව නීති සම්පාදනය කිරීම ද යටත්විජිතවාදීන් විසින් සිදුකරනු ලැබුවා. ලංකාව වගේ රටවල අදටත් ක්‍රියාත්මක දණ්ඩ නීති සංග්‍රහය, අයාලේ යෑමේ අඥා පනත මීට කදිම උදාහරණ. ඒ අනුව, සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලද ප්‍රභල ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීම සිදුවූවා. 

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සමාජයේ සැඟ වී බියෙන් ජීවත් වීමට පාර විවර කර දෙන්නේ ඉතිහාසයේ මෙන්න මේ සංදිස්ථානයේ දී. ඔවුන් පොදු සමාජයෙන් පළවා හැරීම සිදුවූවා. එපමණක් නොව, දකුණු ආසියානු හා මැදපෙරදිග රාජ්‍යයන්වල පැවති අනුරාගීය සංස්කෘතීන්වල ජීවත් වූ සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සමඟ රාගික සුවය විඳි යුරෝපීය සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට පවා යටත්විජිතවාදීන් පසුබට නොවූවා. ඒ අනුව, රෝමානු කතෝලික බයිබලයේ ආභාෂය ලද සමාජභාවය පිළිබඳ යටත්විජිත වටිනාකම්වලට තර්ජනයක් එල්ලකළ සෑම මිනිසකුට ම සැඟවී බියෙන් ජීවත්වීමට සිදුවූවා. එසේ සැඟවී ජීවත්වීමට විරුද්ධ වූ සියලු දෙනා ප්‍රසිද්ධියේ ඝාතනයට ලක්කෙරුණා. 

ගත වූ ශතවර්ෂය තුළ මීට උදාහරණ සැලකුවහොත්, හිට්ලර් ගේ පටන් ම උදාහරණ ලබාදිය හැකියි. හිට්ලර් ගේ නාසි පක්ෂයට සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ මතවාදයට පරිබාහිර අදහස් ලියවී තිබූ පොත් විනාශකර දැමීම සිදුවූවා. සමරිසි පිරිමින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සෘජුවම හිට්ලර් පාලනයේ ඉලක්ක බවට පත්වූවා. විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ඇතුළු සුළුතර අනන්‍යතා දැරි පුද්ගලයන් ජර්මනියේ ගාල් කඳවුරුවල සිරකර තබනු ලැබුවා. නමුත් ගාල් කඳවුරුවලින් ජනතාව මුදවා ගන්නා විට සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මුදවා ගැනීම සිදුවූයේ නැහැ. 

ඇමරිකාව ගැන කතාකළහොත් 40 දශකයේ සිට 60 දශකය පමණ දක්වා “ලැවැන්ඩර් භීතිකාව” දියත් කිරීමට පාලකයන් කටයුතුකළා. කොමියුනිස්ට් විරෝධී මතවාදයෙන් උපන් ලැවැන්ඩර් භීතිකාව කියන්නේ, සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ඔවුන්ගේ සුළුතර ලිංගික අනන්‍යතාවයන් නිසා රජයේ රැකියාවලින් නෙරපා හැරීම, ඔවුනට රජයේ සේවාවන් ලබා නොදීම වැනි සිදුවීම් මාලාවකට. ඉන් අනතුරුව, 60 දශකය අවසානයේ සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහි ව රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කිරීම සිදුවූවා. සමරිසි රාත්‍රී සමාජශාලාවලට කඩා වැදීම, ඔවුනට පහර දීම, සිරභාරයට ගැනීම, ඔවුන් බලහත්කාරයෙන් මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකිරීම වැනි සිදුවීම් මෙම කාලසීමාව තුළ සිදුවූවා. වර්තමානයේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් විසින් භුක්ති විඳිනු ලබන බොහෝ අයිතිවාසිකම්වලට මූලික වූ ස්ටෝන්වෝල් කැරැල්ල හටගන්නේත් මේ මර්දනයේ ප්‍රතිඵලයක් ලෙස. 

ස්ටෝන්වෝල් කැරැල්ලෙන් පසු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදය යම් මට්ටමකට පසුබැස්සා. නමුත් 80 දශකයේ මතු වූ ඒඩ්ස් වසංගත සමයේ එය වෙනත් මුහුණුවරකින් යළි කරළියට පැමිණෙනවා. එච්අයිවී වෛරසය පාලනයකළ හැකි ප්‍රතිකර්ම ඒ වන විට සොයාගෙන නොතිබුණ ද, ආසාදිත පුද්ගලයන්ට වෛද්‍ය සේවාවන් ලබාදීමේ දී, ආසාදනය හමුවේ වඩාත් අවදානමට ලක් වූ සමරිසි පිරිමින් හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් නිකරුණේ මියයාමට ඉඩ දී රජය බලා සිටියා. 2024 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය සේවාව මෙය නිල වශයෙන් පිළිගන්නවා. 

අද වන විට සිදුවෙමින් පවතින්නේ ඉතිහාසය යළි ක්‍රියාත්මක වීමයි. කලු ජාතික පුද්ගලයන්, ස්වදේශිකයන් හා සුදු නොවන සමක් ඇති පුද්ගලයන් ජීවත් වන ජාතීන් තම අණසකට යටත්කර නොගන්නා තුරාවට, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ට එරෙහිව පීඩනයක් එල්ලකළ නොහැකිබව දක්ෂිණාංශිකයන් දන්නවා. මෙතෙක් කලු ජාතිකයන්, සංක්‍රමණික ප්‍රජාව පිටුපස හඹා ආ අන්ත දක්ෂිණාංශිකයන් අද සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පසුපස හඹා එන්නේ මේ හේතුව නිසා. ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා, අධ්‍යාපන අවශ්‍යතා, ශරීර සුවතා අවශ්‍යතා ගැන කතාකරන විට ඇඟ නලියන්නේ මේ නිසා. 

සමාජභාවය කියන්නේ සමාජය විසින් නිර්මාණයකර ගන්නා ලද සංකල්පයක් බව ඔබ හඳුනා ගන්නේ නම්, වාර්ගිකත්වය, හැකියාව කියන්නේ ද සමාජය විසින් නිර්මාණයකර ගන්නා ලද සංකල්ප බව ඔබ විසින් හඳුනාගනු ඇති. එසේ වූවහොත් එවන් සංකල්ප මත ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ට එරෙහිව දියත්වන විනිශ්චයන්, ප්‍රතික්ෂේප කිරීම් සහ සාපරාධී ක්‍රියාවන් මැඬලීම තවතවත් පහසුවනු ඇති. එවන් ප්‍රජාවන් පාලනය කිරීමට දරන ප්‍රයද්නයන් තවතවත් දුර්වලවනු ඇති. 

ඔවුන් බහුතරය යැයි කියාගන්නා පිරිසෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ බාහිර ලක්ෂණ මත නොවේ, ඔවුන් බහුතරය යැයි කියාගන්නා පිරිසෙන් වෙනස් වන්නේ, බහුතරය විසින් ඔවුනට සලකන්නේ කෙසේද යන්න මත. සමාජය මේ සරල යතාර්ථය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අන්ත දක්ෂිණාංශිකයන් විශාල බියක් දක්වනවා. 

ඒ අනුව, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට පොදු වැසිකිලි පහසුකම් ලබා දීම තහනම් කිරීමට ඔවුන් කටයුතු කරනවා, සංක්‍රාන්තියට අවශ්‍ය වෛද්‍ය සේවා ලබා දීම තහනම් කරනවා, ක්‍රීඩාවල නිරතවීම සඳහා ඔවුනට ඇති අයිතිය අවහිර කරනු ලබවනවා. මන්ද, එසේ නොකළහොත් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් විවිධ ලිංගික අනන්‍යතා නොමැති පුද්ගලයන්ට වඩා වැඩි නිදහසක් භුක්ති විඳින බව ජනතාවට අවබෝධවිය හැකියි. 

මෙම යතාර්ථය ජනතාවට අවබෝධ වූවහොත් දක්ෂිණාංශික දර්ශනයේ මූලධර්මවලට අනුව ජනතාව පාලනය කර ගැනීමට පාලකයන්ට අපහසුවනවා. 

ඒ අනුව, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇතුළු සුළුතර ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් කියන්නේ, අඩු නිදහසක් ඇති, රටේ නීති උල්ලංඝනය කරන, මහජන සාමය කඩකරන ජන කොට්ඨාශයක් ලෙස උලුප්පා පෙන්වීමට අන්ත දක්ෂිණාංශිකයන්ට අවශ්‍යවනවා. මන්ද, යටත්විජිත සමයේ කළ පරිදි සමූලඝාතන සිදුකිරීමට දැන් හැකියාව නැහැ. 

තමා වර්ගවාදයට විරුද්ධ යැයි කියාගන්නා, ස්ත්‍රීවාදී පුද්ගලයකු යැයි කියාගන්නා, ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියාගන්නා ඕනෑම තැනැත්තකු සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටිය යුතු වන්නේ මේ නිසා. එපමණක් නොව, තමා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියාගන්නා ඕනෑම තැනැත්තකු වර්ගවාදයට විරුද්ධ විය යුතුයි, ස්ත්‍රීවාදී විය යුතුයි, ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. 

ඔවුන්ගේ නිදහස එකිනෙක සහසම්බන්ධ ලෙස බැඳී තිබෙනවා. 

අප සංක්‍රාන්ති භිතිකාවෙන් මිදෙන්නේ නැති තුරාවට, පුරුෂෝත්තමවාදයෙන්  මිදෙන්න බැහැ. එමෙන් ම, අප වර්ගවාදයෙන් මිදෙන්නේ නැති තුරාවට, සංක්‍රාන්ති භිතිකාවෙන් මිදෙන්න බැහැ. එපමණක් නොව, අප ආබාධිත ප්‍රජාව ආරක්ෂා කර නොගන්නා තුරාවට, ස්වදේශිකයන්ගෙන් සොරාගත් භූමිය ඔවුනට ආපසු ලබා නොදෙන තුරාවට, අපට පුරුෂෝත්තමවාදය, වර්ගවාදය සහ සංක්‍රාන්ති භීතිකාව යන ත්‍රිත්වයෙන් මිදෙන්න ද බැහැ. මෙම අන්තර් සහසම්බන්ධතාවය අවබෝධකර නොගන්නා තුරාවට අප කිසිවකු මේ පාදඩ සමාජ ක්‍රමයෙන් මිදෙන්නේ නැතිවේවි. අන්ත දක්ෂිණාංශිකයන්ගේ එකම අවිය වන්නේ පාලනය කිරීමයි.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මර්දනය කරන අන්ත දක්ෂිණාංශිකයන්ගේ ආර්ථික තක්කඩිකම ගැන කියවෙන මෙම ලිපියේ දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan