ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.

හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අපි මෙම ස්ථානයට පැමිණ ඔබට පෙරොන්දුවක් ලබා දුන්නා හැකි ඉක්මණින් මෙම හෘද රෝග ඒකකයේ වැඩ කටයුතු ආරම්භ කරන බවට. 2028 මැයි මාසය වන විට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අද දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ඉදිකිරීම් 04කට මුල් ගල් තැබීම සිදු වෙනවා. අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කෙරෙන හිදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල් ගල් තැබුවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය උපකරණ සහිතව රුපියල් මිලියන 4185ක් වටිනා ව්‍යාපෘතියක්. රුපියල් මිලියන 2403ක් ඉදිකිරිම් සඳහාත්, රුපියල් මිලියන 1782ක් උපකරණ මිලදී ගැනීම සඳහාත් වෙන් කර තිබෙනවා.

ඒ වගේම අද සවස් කාලයේදී මුලතිව් රෝහලේ තවත් රුපියල් මිලියන 600ක වියදමින් මහල් 04කින් සමන්විත වෛද්‍ය වාට්ටු ඒකකයක් ඉදිකිරීමට මුල් ගල් තබනවා. ඒවගේම අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවත් මිලියන 3,000කට වඩා වටිනාකමකින් යුත් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබනවා. ඉදිකිරීම් ලෙස ගත් විට රුපියල් මිලියන 7100ක් පමණ වටිනා ඉදිකිරීම් සහ උපකරණ සමග මිලියන 12,000ක පමණ පහසුකම් අද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වෙනවා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳ ගැටලු රැසක් පසුගිය කාලය තුළ මතුව තිබුණා. පසුගිය වසර 10ක පමණ කාලයක් සාකච්ඡා මට්ටමේ පැවති ව්‍යාපෘතියක් තමයි අද මේ යථාර්ථයක් බවට පත්ව තිබෙන්නේ.

ජයිකා ආධාර යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘති රැසක් පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නැවති තිබුණා. ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කරමින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ගත් පියවර නිසා තමයි අද මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ වගේම ජයිකා සහාය ඇතිව මෙම රෝහලේ ක්‍රියාත්මක කෙරෙන දෙවන ව්‍යාපෘතිය මෙයයි.

පසුගිය වසර දෙක තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විවිධ ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් දිට්වාවලින් පසුව විශාල මුදලක් වැය කරමින් ව්‍යාපෘති සිදු කළා. මෙම ව්‍යාපෘතිය ත්‍රිකුණාමලයට පමණක් නොව සමස්ත නැගෙනහිර පළාතටම විශාල සේවයක් ලබා දෙයි කියා අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා,

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට කැපවීමෙන් කටයුතු කළ ජනාධිපතිවරයාට, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ සියලු ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ට ස්තූතිය පළ කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙන සහාය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ කොටසක් බව කිවයුතුයි. මීට වසරකට පමණ පෙර මෙම රෝහලේම පැවති අපද්‍රව්‍ය කළමනාකරණ උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. මෙම ව්‍යාපෘතිය මෙලෙස යථාර්ථයක් වනු දක්නට ලැබීම සතුටට කරුණක්.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජයීය සහ ආර්ථික සංවර්ධනය සඳහා ආධාර ලබා දීමට ජපානය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ විශ්වාසදායක හවුල්කරුවෙකු වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට සහ තිරසාර සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමට ජපානය නිරන්තරයෙන් සූදානම් බවද මෙහිදී කිවයුතුයි.

ප්‍රදේශයේ ආගමික නායකයින්ද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයින්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ රාජ්‍ය නිලධාරින්ද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත Shigeo Honzu යන මහත්වරුද, රෝහල් අධ්‍යක්ෂ සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...