*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

නෙලන්න තැනක් නැතිම තැන සමලිංගිකයන් බිල්ලට ගන්නා ඊනියා බටහිර විරෝධය

ප්‍රමෝද් චින්තක පීරිස්

අපි ජීවත් වෙන්නේ 2024 කියන එක මොහොතකට අමතක කරන්න සිදුවන කාරණාවක් ගැන මම මේ ලියන්නේ. මිනිසුන් අතර පවතින ලිංගික විවිධත්වය දේශපාලන අවියක් කර ගැනීම ගැන ලිපි අනන්තවත් ලියවිලා ඇති. හැබැයි මේ බොහොමයක් ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු ඒවා, ඉතිං, සිංහල පාඨකයන් හට ඒවා සම්ප්‍රේශණය වීම දුර්වලයි කියා මම හිතනවා.

සමලිංගිකත්වය, හෝ පොදුවේ විවිධ ලිංගික අනන්‍යතා නියෝජනය කරන පුද්ගලයන් ගැන අපේ රටේ හදපු මිත්‍යාමත අපමණයි. “සමලිංගිකත්වය රටේ සංස්කෘතියට විරුද්ධයි, සදාචාරයට පටහැනියි, ආගමට විරුද්ධයි, බටහිර න්‍යායපත්‍ර අනුව ව්‍යාප්තවන දෙයක්, අස්වාභාවික දෙයක්, එන්ජීඕ කරපින්නාගෙන යන දෙයක්..” වගේ අපමණ කතා ඒ අතර තිබෙනවා.

නමුත්, එය මෙතැනින් නොනැවතී, දේශපාලඥයකුට, දේශපාලන පක්ෂයකට, රජයකට විරුද්ධව භාවිතා කරන ආයුධයක් බවට පත්ව තිබෙන බවත් කියන්න සිදුවන්නේ කණගාටුවෙන්.

සමලිංගික ආණ්ඩුව,පොන්න ආණ්ඩුව වැනි වචන මීට ඉහතත් පැවති රජයන් සම්බන්ධයෙන් භාවිතා වුනු ආකාරය අපි බොහෝ දෙනෙකු දුටුවා. සමරිසි පුද්ගලයකු රටක් පාලනය කිරීමට නුසුදුසුය, ඔහුට පෞරෂයක් නැතිය වගේ අදහස් අපට අහන්නට ලැබුනා. ඒ වගේම දේශපාලන භාවිතය තුළ කුමන ගැටළු තිබුණත්, සමරිසි පුද්ගලයන්ට යහපතක් සිදුවන සංශෝධනයක්, ප්‍රතිසංස්කරණයක් යම් දේශපාලන ධාරාවක් තුළින් ඉදිරිපත් වූ විට එය රටේ සංස්කෘතියට සම්බන්ධ කරමින් රට බටහිර ග්‍රහණයට නතුවීමේ අඩිතාලම මෙය බවට හුවා දක්වන්නට මෙවන් මතවාද ජනගතකළ පුද්ගලයන් කටයුතු කර තිබුණා.

සමලිංගිකත්වය, හෝ විවිධ ලිංගික අනන්‍යතා බටහිර භීතිකාවේ ශාඛාවක් බවට පත්කර ගන්න වීරවංශ වැනි දේශපාලඥයන් කටයුතු කරන්නේ මෙවන් පසුබිමක් තුළ. මේ ගැන ඔහුගේ අලුත්ම කතාව ඇහෙන්නේ 2024 ජනවාරි 15 වෙනිදා. රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට ආපු වීරවංශ තම සමරිසි-විරෝධී මතවාදය වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් ප්‍රකාශ ගණනාවක්ම එහි සිදුකරනවා. තම මතවාදය ශක්තිමත් කිරීමට ඔහු උදාහරණයට ගන්නේ රුසියාවේ ජනපති පුටින් කියපු කතාවක්. එතැනින් නොනවතින වීරවංශ විදෙස් රටවල සංක්‍රාන්ති සමාජභාවී දරුවන් තම ලිංගික අනන්‍යතාවය හඳුනා ගැනීම ආරම්භවන අවධිය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ රැසක් සිදු කරනවා.

නමුත් වීරවංශ වැනි දේශපාලඥයන් මෙම විෂයය ගැන දැරූ ආකල්පය සැමවිටම එකම ආකාරයෙන් පැවතියා ද?

බොහෝ දෙනෙකුට අමතක වූනාට, මේ අන්දමට ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් ගැන දේශපාලන සංවාදයක් 90 දශකයෙත් ඇතිවුනා. වර්ෂය හරියටම කිව්වොත් 1998. ඒ වෙනකොට වීරවංශ නියෝජනය කළේ, වර්තමානයේ සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා බවට ප්‍රකාශකළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය.

ලිංගිකත්වය පුද්ගලික දෙයක්, පුද්ගලික ජීවිතය හා දේශපාලන ජීවිතය යනු දෙකක්, ප්‍රශ්නයක් එන්නේ දේශපාලන බලපෑම් මත ලිංගික අරමුණු ඉටු කර ගැනීම සහ ලිංගික කටයුතු දේශපාලන ජීවිතයට බලපෑම අනුවයි…… ඔය ප්‍රශ්නය තමයි මෙහි ඇති ප්‍රධානතම ගැටලුව. එම නිසා තමයි ප්‍රතිපත්ති විවේචනය වීම වෙනුවට මේ වගේ පුද්ගලික ප්‍රශ්න ගැන ඇදගෙන දඟලන්නේ.

වීරවංශ එහෙම කිව්වේ 1998 සැප්තැම්බර් 06 වැනි දා ඉරිදා පත්තරේකට, ඒ යම් දේශපාලඥයකුගේ සමරිසිභාවය මත විවිධ පාර්ශවවලින් ඔහුට දේශපාලනික වශයෙන් ප්‍රහාර එල්ලවන විට ඔහුගේ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින්.

එහෙම කියපු වීරවංශ, සමලිංගිකත්වය පිළිබඳ විවිධ අන්දමේ විවේචන දියත් කරනවා 2015 න් පසු බිහිවුනු දේශපාලන වටපිටාව තුළ.

මෑත දිනක ශ්‍රී ලංකාවේ සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට නීතියෙන් අඩත්තෙට්ටම් එල්ලවන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් වූ මන්ත්‍රී යෝජනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමට අදාළව තමයි වීරවංශ ඔහුගේ “බටහිර-විරෝධී” සංවාදයේ වසා තැබූ ශාඛාව යළි විවෘත කරන්නේ.

දේශපාලන සමලිංගිකභීතිකාව හුදෙක් දේශපාලඥයන් අතර ඇතිවන දෙයක් නෙමෙයි. මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ බොහෝ විට ප්‍රේක්ෂකාගාරයක්, හෝ මුළුමහත් රටක් ඉලක්ක කරගෙන. මෙවන් ප්‍රකාශ මාධ්‍ය හරහා පෙන්වන්නේ, ඒ තුළින් ජනතාව අතර පවතින ඉතාම සංවේදී කරුණක්, තම ජීවත් වීමේ නිදහස වෙනුවෙන් අරගලයක නිරත වෙන ජනතාව අතර ජීවත්වන සුළුතර ප්‍රජාවක් හාස්‍යයට ලක් කිරීමේ පටු චේතනාව ඇතිව. 

මේ වන විට ලංකාවේ මාධ්‍ය දේශපාලනීකරණය වෙලා අවසන්. දේශපාලනීකරණය නොවූ මාධ්‍යයක් රටේ තියනවා කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. යම් අයෙකුගේ සමලිංගිකභීතික ප්‍රකාශයක් උළුප්පලා පෙන්වන්න යම් මාධ්‍යයක් කටයුතු කරනවා නම්, ඒ කරන්නේත් ඒ ඒ මාධ්‍ය දේශපාලනීකරණය වී තිබෙන ආකාරය අනුවම තමයි.

තම සමරිසි-සංක්‍රාන්ති-විරෝධී මතවාද ප්‍රසිද්ධියේ සිදුකිරීමට පෙර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉහළතම විද්‍යායතනයවන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් නිකුත්කළ ප්‍රකාශය කියවන්න කියා වීරවංශ වැන්නවුන්ගෙන් මම ඉල්ලා සිටිනවා; වීරවංශ වැන්නවුන් අමාත්‍යධුර දරමින් පැවති රජය සමයේ ම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් හමුවේ සපථකළ ප්‍රතිඥා කියවන්න කියා මම ඉල්ලා සිටිනවා; ඒ සැමට වඩා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශේෂ නිගමනය මුල සිට අගට කියවන්න කියා මම යෝජනා කරනවා.

මානව ලිංගිකත්වය ගැන පවතින විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලින් ද ඔබ්බට ගිහිං, මෙය දේශපාලනික කරුණක් බවට පත්වන්නේ ලිංගික විවිධත්වය මත පුද්ගලයන් හට වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් සිදුවන සන්දර්භයක් තුළ. ඊනියා බටහිර-විරෝධී සමරිසි-විරෝධී තක්කඩියන්ට නොතේරෙන කරුණ වන්නේ, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි ධනේෂ්වර රටවලත් සමරිසි අයිතිවාසිකම් බන්දේසියක දමා ලබා දුන්නේ නැත, ලේ වගුරා, ජීවිත අහිමිකරගෙන ලබා ගත් ඒවා බව. විප්ලවවාදී ඊනියා බටහිර-විරෝධීන්, සමරිසි-විරෝධීන් 1969 එක්සත් ජනපදයේ ස්ටෝන්වෝල් කැරැල්ල, 1984 බ්‍රිතාන්‍යයේ පතල් කම්කරුවන්ගේ අරගලය, 80 දශකයේ අගභාගයේ එක්සත් ජනපදයේ ඒඩ්ස් වසංගතයට එරෙහි ජන අරගලය ගැන කියවා බලන්නේ නම් බොහෝ වටිනවා.

අප මේ ගතකරන්නේ මැතිවරණ වර්ෂයක්. ඉතිං මැතිවරණ උණුසුම මධ්‍යයේ මේ කාරණය යළි වේදිකාවල කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙනවා නම්, ඔබ පුදුම වෙන්න එපා. ඒ දේශපාලන සමලිංගිකභීතිකාවේ හැටි. මැතිවරණ උණුසුමක් මැද වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය දේශපාලන අවි බවට පත්වන්නා සේම සමලිංගික-සංක්‍රාන්ති භීතිකාවත් දේශපාලන අවියක් බවට පත්වනවා.

කණගාටුවට කරුණ වන්නේ, මම කලිනුත් කිව්වා වගේ, අපි මේ ජීවත් වෙන්නේ 2024 වෙලත් මේ මාතෘකාව ගැන මේ ආකාරයෙන් කතාකරන්නට සිදුව තිබීමයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan