විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

Date:

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස් මහතා විසින් අපට ද පිටපත් සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ ලිපියක් පෙරේදා (15) දිනයේදී අප වෙත ලැබිණි.

එහි සඳහන්ව තිබුණේ අන් කිසිවක් නොව ජනතා විමුක්ති පෙරමුණේ එක් කලෙක ජනාධිපතිවරණ අපේක්ෂකයා ද වූ, පසු කලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර නගරාධිපතිවරයා වූ නන්දන ගුණතිලක මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ විස්තරයකි.

නන්දන ගුණතිලක මහතා පෙළෙන අසනීප තත්වයන් පිළිබඳ කරුණු මෙන්ම වැඩිදුර වෛද්‍ය පරික්ෂණ සඳහා සහ ප්‍රතිකාර සඳහා ඔහුට නිර්දේශ කරමින් වෛද්‍යවරයකු විසින් 2025 දෙසැම්බර් 30 වනදා නිකුත් කළ වෛද්‍ය වාර්තාවක් ද ඊට අමුණා තිබිණි. මේ වනවිට ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් රාගම ශික්ෂණ රෝහල වෙත මාරු කරගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් විය.

මෙම ලිපිය කියවූ වහාම අපගේ කර්තෘ මණ්ඩල ප්‍රධානියාවත් නීතීඥ ජනක පීරිස් මහතාවත් දුරකථනයෙන් සම්බන්ධ කරගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර විමසූ අතර නීතීඥවරයා එහිදී සඳහන් කළේ නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්වය බරපතළ බවත් ඔහුට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ජ’පුර රෝහලෙන් සිදුකරගැනීමට තිබුණු නමුත් මුදල් නොමැතිකම නිසා ඔහුව රාගම රෝහලට මාරුකර ගැනීමට සිදුවුණු බවත් ය. ජ’පුර රෝහලෙන් ලැබූ ප්‍රතිකාර සඳහා වූ බිල්පත පවා ගෙවා ගැනීමට ඉතාම අසීරු වී ඇති අතර මේ සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ එජාප සභාපති වජිර අබේවර්ධන සමග එය බේරාගන්නා ලෙසයි. දීර්ඝ ප්‍රමාදයකින් පසුව වජිර මැදිහත් වී අවසානයේ එම බිල්පත ගෙවා තිබිණි.

මේ විස්තරය ඇසීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා අපගේ කර්තෘ මණ්ඩල ප්‍රධානියාට සහ නීතීඥවරයාට පොරොන්දු වී තිබුණේ තමන් මීට වහාම මැදිහත් වන බවටත් තමන්ට කළ හැකි සියල්ල නන්දන ගුණතිලක මහතා වෙනුවෙන් කරන බවටත් ය.

ඉන්පසු එවෙලේම රාගම රෝහලේ ප්‍රධානියාට දුරකථනයෙන් අමතා ඇති සජිත් ප්‍රේමදාස මහතා නන්දන ගුණතිලක මහතාගේ අසනීප තත්වය පිළිබඳ විස්තර විමසා ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු නගරාධිපතිවරයකු බවත් පවසා ඇත. එවන් රෝගියකු පිළිබඳ රෝහල් පාලනාධිකාරිය දැනුවත්ව සිට නොමැති අතර නන්දන ගුණතිලක මහතා යනු ජාතික දේශපාලනය තුළ දීර්ඝ කාලයක් කටයුතු කළ ජනතා නියෝජිතයකු බවත් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි සියල්ල කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.

නන්දන ගුණතිලක මහතා ඒ වනවිට රාගම රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා වන අධි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ අසනීප තත්වය උඝ්ර වෙමින් පැවති හෙයින් දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වෙමින් තිබී ඇත.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා නන්දන ගුණතිලක මහතාගේ නැඟණියට දුරකථනයෙන් අමතා ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ තමන් ගාල්ලේ සිට රාගම රෝහල වෙත පැමිණෙමින් අතරමග සිටින සිටින බවකි. නන්දන ගුණතිලක මහතා වෙනුවෙන් තමන්ට හැකි සියල්ල කරන බවට ඇයට පොරොන්දු වී ඇති සජිත් “මම රාගමට යන්නම්” යැයි පවසමින් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත.

වහාම රාගම රෝහල වෙත පැමිණි සජිත් අවශ්‍ය වෛද්‍යවරුන් හමුවී කරුණු විමසා බලා ඔහුගේ අසනීප තත්වයට අදාළව අවශ්‍ය සියල්ල සිදුකරන ලෙස ඉල්ලා සිට ඇත.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත මහතා ඉතාම කරුණාවන්ත සහ සංවේදී වෛද්‍යවරයකි. මෙම කරුණු දැනගැනීමෙන් කම්පාවට පත්වූ ඒ මහතා වහාම ක්‍රියාකාරී වී අවශ්ය කටයුතු සිදුකර දීමට පොරොන්දු වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා රෝහල් අධ්‍යක්ෂවරයාව සහ නන්දනගේ නැඟණියව දුරකථනයෙන් සම්බන්ධ කර ඇයට ද අවශ්ය දැනුවත් කිරීම් සිදුකර ඇත.

ඒ අනුව වෛද්‍යවරුන් වහාම ක්‍රියාත්මක වී කරුණු සලකා බලා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ නන්දන ගුණතිලක මහතාව දැඩි සත්කාර ඒකකයකට යොමුකර ඇති බවත් වාර්තා විය.

මේ විස්තරය පළ කළ පසුව අපට සජිත් ප්‍රේමදාස මහතාගෙන් බැණුම් ඇසීමට සිදුවන බවත් නියත ය. මන්දයත් මේ ගැන LNW හි පළකිරීමට අප සූදානම් වෙද්දී “පිස්සුද ? මට එහෙම චීප් පබ්ලිසිටි එකක් ඕනෙ නැහැ. මනුස්සයෙක් අසනීප වුණාම උදව් කරන එක අපේ යුතුකමක්. අපි ඒවා කරන්නෙ පබ්ලිසිටි බලාගෙන නෙවෙයිනෙ. මට මේවා ආවේ මගේ තාත්තාගෙන්. එයාත් ඒ කාලේ අසනීප වුණු අයට ඕනෙ තරම් උදව් කරලා තියෙනවා. මමත් මට හැකි පමණින් හැමවෙලේම උදව් කරනවා. එච්චරයි. ඒවා කරන්නේ පක්ෂ පාට භේදයකින් තොරව. මම මීඩියා අරන් ගියෙත් නෑ, ෆොටෝ එකක්වත් ගැහුවෙත් නෑ, අවශ්‍ය සියල්ල කළා, ආපහු ආවා. ඕවා මීඩියාවල දාන්න ඕනෙ නෑ” යනුවෙන් ඔහු අවධාරණය කළ හෙයිනි.

එහෙත් සජිත්ගේ මනුස්සකම ගැන අප රටට කිව යුතුය. ඒ, ඔහු අප දැනුවත්ව මෙසේ වාර ගණනාවක්ම නොයෙකුත් පුද්ගලයින්ගේ සෞඛ්‍ය ප්‍රශ්නවලට ප්‍රතිකාර ලබාදීම සඳහා මැදිහත්ව ඇති හෙයිනි. කොවිඩ් වසංගත සමයේදී ඔහු අපේ කර්තෘ මණ්ඩල සාමාජිකයින්ට පවා මෙවැනි උපකාර කර ඇත. වෙනෙකක් තබා තමන් ද කොවිඩ් රෝගී තත්වයෙන් පෙළෙද්දී පවා ඔහු අනෙක් අයට එවැනි උපකාර කර ඇති බව අපට හොඳින් මතක ය. ඒවා රටේ ජනතාවත් දැනගත යුතු බව අපේ හැඟීම ය.

නන්දන ගුණතිලක මහතාගේ සිද්ධිය ඇත්ත වශයෙන්ම ගත් කල එක්සත් ජාතික පක්ෂයේ වගකීමකි. මීට මැදිහත් විය යුතුව තිබුණේ ඔවුන් ය. නන්දනගේ අනෙකුත් දේශපාලන හිතවතුන් පවා ෆේස්බුක් සටහන් පළ කරමින් සිටියා විනා ඊට අමතරව කළ මැදිහත්වීමක් නැත. නන්දන යනු පසුගිය ජනාධිපතිවරණයේදීත් එයින් පසුවත් සජිත්ට විරුද්ධව දේශපාලනයේ නියැළුණු අයෙකි. එහෙත් රෝගී තත්වයක් හමුවේ ඒ කිසිවක් කිසිදු ආකාරයකින් මායිම් නොකර මැදිහත් වීම යනු සජිත්ගේ සහජ මානුෂීය ගුණයයි. ඒ අතින් සජිත්ට සම කළ හැකි කිසිවකු වත්මන් දේශපාලනය තුළ නොමැති බව ඔය සියලු දෙනා ගැනම හොඳින්ම දන්නා අපට පැහැදිලිවම කිව හැකිය.

විශේෂයෙන් මානවවාදය ගැන මහා ඉහළින් කතා කරන ඇතැම් පක්ෂවල “ආධ්‍යාත්මික නායකයින්” කියන අය පවා නන්දන ගුණතිලකගේ මරණය ප්‍රාර්ථනා කරමින් “ඕකා ආයෙ නැගිටින්නෙ නෑ” යැයි කියූ මොහොතක සජිත් පෙන්වූ මේ මානව දයාව කවුරුන් හෝ රටට කිව යුතු යැයි අපි කල්පනා කළෙමු. මන්දයත් මෙවැනි දේශපාලනඥයින් තව කොතෙක් කලක් මේ රටට හිමිවේදැයි කවුරුත් නොදන්නා නිසා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...