Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!

වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා භයානක ලෙස උත්සන්න වීමේ අවධානමක් පැනනැගී තිබේ.

වයඹ පළාතේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩමක පිහිටි අක්කර 40ක පමණ වනාන්තර ප්‍රදේශයක් මේ ආකාරයෙන් මහා පරිමාණ පේර වගා ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා මේ වන විට වනසා දමමින් තිබේ. ඒ සඳහා විශාල අගලක්ද ඉදිකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර එමගින් පාලුකඩවල ජලාශය ආශ්‍රිත වනාන්තර කලාපයේ සිට ගල්ගමුව තේක්ක වත්ත හරහා තබ්බෝව අභයභූමියට අලින් සංක්‍රමණය වන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් ඉදිරියේදී මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉතා බරපතල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකිය.

වයඹ වනජීවී කලාපයට අයත් වන අලි වාසභූමි වලින් වැඩිම ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර මෙසේ වනසා දමමින් සිටින්නේ එවැනි වන අලි වාසභූමි සහ අලිමංකඩය. නමුත් මේ දක්වා ඒ පිළිබඳව බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් මෙම ප්‍රදේශයේ හස්ති වාසභූමි වනසා දමමින් සිදුකෙරෙන මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති විශාල ගැටළුවක් බවට පත්ව තිබේ.

මින් පෙරද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාමසේවා වසමේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුව, මහනාන්නේරිය, තෝරවමයිලෑව, තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නින්දගම් ඉඩම් වල පිහිටි වනාන්තර විනාශකරමින් විවිධ පුද්ගලික සමාගම් වලට වගා ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන් විසින් කටයුතු කලෝය. ඒ යටතේ විශේෂයෙන් පාළුකඩවල වැවට ඉහළින් පිහිටි අලි ඇතුන්ගේ සුවිශේෂ වාසභූමියක් වන වනාන්තර ප්‍රදේශයක්ද ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීම සිදු විය. එම ඉඩම් ඇහැටුවැව, නාකොලගනේ රජමහා විහාරයට අයත් වේ. තවද තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරය වටා ඇති වනාන්තර ප්‍රදේශය තබ්බෝව සහ ගල්ගමුව ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන්ට ඉඟිනිමිටිය ප්‍රදේශය දක්වා සංක්‍රමණය වීමට අලි මංකඩක් වශයෙන් ක්‍රියා කරයි. එසේ තිබියදී වයඹ වනජීවී කලාපයේ සංරක්ෂණය කළයුතු එවැනි වන අලි වාසභූමි කොම්පැණිකරුවන්ට ලබාදෙමින් විහාරාධිකාරීන් තම මඩි තරකර ගැනීමේ දිගුවක් ලෙස දේවගිරිපුර රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර ඉඩම් විනාශය හැඳින්විය හැකිය.

මෙවැනි හේතු නිසා දිනෙන් දින උත්සන්න වන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බව පවසමින් ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කිරීමට සැලසුම් සකස් කිරීම හැර එම අලි මිනිස් ගැටුමේ රෝග නිධානය හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැත. ඉතා ශක්තිමත් ආරක්ෂක උපක්‍රම යොදා ගනිමින් මේ ආකාරයෙන් ප්‍රදේශයේ වන අලි වාසභූමි තුල ක්‍රියාත්මක වගා ව්‍යාපෘති නිසා වන අලින්ට ජීවත්වීමට සහ ඔබමොබ ගමන් කිරීමට අවශ්‍ය වාසභූමි සහ අලි මංකඩ අහිමි වීමෙන් ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ඔඩු දිවීම නොවැලක්විය හැකිය. ගම්මාන වලට ඒ ආකාරයෙන් ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වීමෙන් අලි ඇතුන් ගම්මාන සහ ගොවිබිම් හරහා ගමන් කිරීමට පෙළඹීම සහ ආහාර සපයාගැනීම සඳහා වගාබිම් සහ ගෙවතු ආක්‍රමණය කිරීම ස්වභාවිකය.

වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට අණුවක් පමණම දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. ඔවුන් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක ආකාරයෙන් තබ්බෝව සහ කහල්ල – පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවද අසාර්ථක විය. එබැවින් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුල සංරක්ෂණය කරමින් අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතුය යන්න විශේෂඥ මතයයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බහුපාර්ශවීය විශේෂඥ කමිටුවක් මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මගින්ද එසේ යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස වයඹ වනජීවී කලාපය සැලකේ. එම තත්ත්වය වැලැක්වීම සඳහා ග්‍රාමීය විදුලිවැට සහ කාලීන කුඹුරු විදුලි වැට වැනි ප්‍රජාමූල ක්‍රමවේද ඔස්සේ මහත් පරිශ්‍රමයක් දැරීමට මෙම ප්‍රදේශයේ අසරණ දුප්පත් ගොවි ජනතාවට සිදු විය. එමගින් මේ වනවිට වයඹ වනජීවී කලාපයේ අලි – මිනිස් ගැටුම් කළමනාකරණය යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙනද ඇත. නමුත් එම සාර්ථකත්වයද අහිමි කරමින් සහ මිනිස් සහ වන අලි ජීවිත රැසක් බිල්ලට දෙමින් ව්‍යාපාරිකයින් අතලොස්සක් සහ බෞද්ධ ස්වාමීන්වහන්සේ මේ ආකාරයෙන් හැසිරීම ජුගුප්සාජනකය.

එසේම මේ ආකාරයෙන් මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති ප්‍රදේශයේ ව්‍යාප්ත වීමෙන් ජනතාව පීඩාවට පත්වන්නේ අලි – මිනිස් ගැටුමෙන් පමණක් නොවේ. වාණිජ්‍ය වගාවන් සඳහා ප්‍රදේශයේ භූගත ජලය මහා පරිමාණයෙන් ලබාගැනීම හේතුවෙන් ජනතාවට ජල හිඟයට මුහුණදීමට සිදුවීමද තවත් ගැටළුවකි. ඊට කදිම නිදසුනක් ලෙස නාකොලගනේ ප්‍රාථමික විද්‍යාලය අසල තිබුණු නල ලිඳට මේ වන විට අත්වී ඇති ඉරණම දැක්විය හැක. එම ප්‍රදේශයේ අඹ වගා ව්‍යාපෘති සඳහා මහා පරිමාණයෙන් ජලය ලබාගැනීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම පාහේ සැපයූ එම නල ලිඳ මේ වන විට සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවී තිබේ.

තවද මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මීට අමතරව මෙම පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය.

තවද කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පලාත තුළ ක්‍රියාත්මක වන විශේෂ පාරිසරික නීතියක් වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.

පාරිසරික අණ පනත්වලට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු.

එබැවින් අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.