අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට සහල් ලබාදීම : ජනපතිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

Date:

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වේ. මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපළ වී මිලෙහි සිදුවන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් වනු ඇති අතර, අවශ්‍යතාවක් පැනනැගුනහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි දත්තවලට අනුව 2022/2023 මහ කන්නයේ වී වගාකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 732,201ක් පමණ වෙයි. එමගින් අපේක්ෂිත වී අස්වැන්න මෙ.ටො. මිලියන 3.3ක් ද වන අතර මෙමගින් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙ.ටො. මිලියන 2.2ක් පමණ වේ. මෙ.ටො. 210,000ක් පමණ වන රටේ මාසික සහල් අවශ්‍යතාව සැලකිල්ලට ගත් කල ඉදිරි මහ කන්නයේ දී වී අතිරික්තයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වේ.

ඒ අනුව වී ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම සඳහා 2022/23 මහ කන්නයේදී යම් වී ප්‍රමාණයක් මිලදී ගැනීම කෙරෙහි රජය මැදිහත් වීම අවශ්‍ය වේ.

තවද, රටේ පවතින අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල පෝෂණ මට්ටම පවත්වාගැනීමට සහාය දෙමින් මෙම අර්බුදයේ අහිතකර බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. සමෘද්ධිලාභීන් ද ඇතුළුව මෙම කණ්ඩායම පවුල් මිලියන 2ක් පමණ බව හඳුනාගෙන ඇත. 2023 අප්‍රේල් මාසය දක්වා එම කණ්ඩායම සඳහා රජය අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද, යම් කාලසීමාවක් සඳහා මෙම අඩුආදායම්ලාභීන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් පවතී.

2022/2023 මෙවර මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, හඳුනාගත් අඩු ආදායම්ලාභීන් අතර ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා අමතර උපකාරයක් ලබාදීම වෙනුවෙන් යම් වී ප්‍රමාණයක් යොදාගැනීම සුදුසු වේ. මෙම වැඩපිළිවෙළ මඟින් රටේ ගොවි ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභීන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.

භාණ්ඩාගර ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී පැවැත්වෙන රැස්වීමේ දී යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීමට නියමිතය. මෙහිදී යෝජිත සහල් බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ගොවීන්ගේ මිලදී ගැනීමට නියමිත වී වර්ගවල නිෂ්පාදන පිරිවැය, වී මිලදී ගැනීමේ සහතික මිල, වී මෝල්හිමියන් සහභාගී කර ගැනීම, ප්‍රවාහන ක්‍රමය සහ වී කෙටුම් කුලී යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කරනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...