වහාම ක්රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කර තිබේ.
හෝමාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ සිටි 29 හැවිරිදි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව, රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පොලිස්පතිවරයා විසින් මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ තරුණයාගේ මරණයට අදාළව රාජකාරී අතපසුවීම් සහ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වේ.
මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මීටපෙර කටයුතු කර තිබුණු අතර ඊයේ (28) දිනයේදී හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ද ගෙන තිබිණි.
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකු පසුගිය 25 වනදා මෙසේ මියගොස් තිබුණු අතර පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ.


