Thursday, February 9, 2023
spot_img

Latest Posts

ජාතික වගවීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව – ජෙහාන් පෙරේරා

ඔවුන්ගේ සතුව පැවැති බලය, කීර්තිය සහ නීත්‍යනුකුල මුක්තිය නිසා මෙතෙක් ස්පර්ශ කළ නොහැකි යැයි සිතා සිටි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුට සෘජුවම බලපාන ආකාරයෙන් පසුගිය සතියේ සිදුවූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන්,  යුද්ධයේ නොවිසඳුණු මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණයක් පිහිටුවීමේ ආණ්ඩුවේ යෝජනාවට ප්‍රබෝධයක් ලැබී ඇති බව දැකගත හැකිය. ඉන් පළමුවැන්න නම්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ, ඔවුන්ගේ පාලන කාලය තුළ සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන්, ඉලක්කගත සම්බාධකවලට යටත් කරන බවට කැනඩා රජය දැනුම් දීමයි. එමගින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම ආර්ථික වත්කමක් තහනම් කෙරෙන අතර, ඔවුන් කැනඩාවට ඇතුළුවීමට නොහැකි ලෙස තහනමකට ද යටත් වනු ඇත. එක්සත් ජනපදය විසින්ද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට එරෙහිව මීට පෙර සීමිත සංචාරක සම්බාධක පනවා තිබිණි.

දෙවැනි අනපේක්ෂිත සිදුවීම වූයේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ, රජයේ ඉහළ පෙළේ සහ වගකිවයුතු සාමාජිකයන් සුපරීක්ෂාකාරී නොවීම සහ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන්, තමන් සහ අනෙකුත් වින්දිතයන් වෙනුවෙන්, ඔවුන්ට එරෙහිව නඩු පවරන ලද වින්දිත කණ්ඩායම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෞද්ගලිකව සහ රාජ්‍යය වශයෙන් වන්දි ලබාදීමට නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව අසාමාන්‍ය ලෙස ඉහළ වන්දියක් ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ආරක්ෂක ධූරාවලියේ හිටපු ඉහළ පෙළේ සාමාජිකයන්ට මෙහිදී පෞද්ගලිකව වගකීම පැවරී ඇත. රාජ්‍ය අධිකාරීන් විසින් වගකීම් ඉටුකිරීමේදී නොසැලකිලිමත් වීම යන කාරණය අධිකරණ බලයට යටත් වන බව තීරණය කරන ලද මෙම තීරණය සුවිශේෂී තීන්දුවකි. ඒ අනුව ඉදිරි කාලයේදී ජාතික සහ අන්තර්ජාතික යන දෙඅංශයෙන්ම වගවීමේ ක්‍රියාවලීන් තව දුරටත් සක්‍රිය වී වේගවත් වනු ඇත.

කැනඩාවේ විශාල දෙමළ ඩයස්පෝරාව විසින් එරට පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත්කර යැවීමට සමත්ව ඇති අතර, ඊට දක්වන ප්‍රතිචාරයක් සහ පිළිගැනීමක් ලෙස කැනේඩියානු තීරණය විශේෂයෙන්ම හඳුනාගත හැකිය. වෙනත් බටහිර රටවල සිටින දෙමළ ඩයස්පෝරාව, ඔවුන්ගේ රටවල ආණ්ඩු මේ හා සමාන ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවීමට තරම් විශාල හෝ බලවත් නොවිය හැකිය. කෙසේ වෙතත්, සියලුම බටහිර රටවල් විශ්වීය අධිකරණ බලයේ මූලධර්මයට සහාය දක්වනු ලබයි. එමඟින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්, අපරාධකරුගේ පුරවැසිභාවය නොසලකා දේශීය අධිකරණ හමුවට ඉදිරිපත් කළ හැකිය. මෙයින් අදහස් කරන්නේ, එම රටවල තනි පුරවැසියන්ට මෙම නඩු තනි තනිව පැවරීමට සහ කැනේඩියානු රජයේ තීරණය ඔවුන්ගේ පැමිණිලිවල සත්‍යතාව පිළිබඳ මූලික සාක්ෂියක් ලෙස භාවිත කිරීමට හැකියාව පවතින බවයි.

යුක්රේනයට සිදුකෙරුණු රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින්, තම භුමිය මානව හිමිකම් කඩකරන්නන්ගේ තෝතැන්නක් බවට පත්වීම වැළැක්වීම සඳහා, අන්තර්ජාතික නීතියට අනුකුලව, නව නීති සංග්‍රහයක් හඳුන්වා දීමට එක්සත් ජනපදය මෑතකදී පියවර ගනු ලැබීය. වින්දිතයාගේ ජාතිකත්වය, අපරාධකරු හෝ අපරාධය සිදු කළ ස්ථානය නොසලකා, එක්සත් ජනපදයේ සිටින අන්තර්ජාතික මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත්වන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට, එක්සත් ජනපද රජයට බලය ලබා දෙන නව නීතියකට ජනාධිපති ජෝසෆ් බිඩෙන් මේ මාසයේ අත්සන් තැබීය. බොහෝ ශ්‍රී ලාංකික නායකයන් ඔවුන්ගේ පවුල් සහ මූල්‍ය වත්කම් එක්සත් ජනපදයේ සුරක්ෂිතව තබා ඇති අතර, කැනේඩියානු තීරණය හේතුවෙන්, මෙලෙස එක්සත් ජනපද නීතිය වෙනස් කිරීමෙන් පසුව, එම වත්කම් සහ සුරක්ෂිත කිරීම් වඩාත් අවදානමට ලක් වනු ඇත.

ඔබ්බට ගමන් කිරීම

කැනේඩියානු රජය විසින් හිටපු ජනාධිපතිවරුන් ඉලක්ක කර සම්බාධක පැනවීමේ සුවිශේෂීභාවය වන්නේ, සාපේක්ෂව වඩා පහත් මට්ටමේ හමුදා නිලධාරීන් දෙදෙනකුද එම සම්බාධකවලට ඇතුළත් කර තිබීමයි. මෙයින් අදහස් කරන්නේ, සම්බාධක පුළුල් පරාසයක අපරාධකරුවන් ඉලක්ක කර ඇති බවයි. එහිදී මානව හිමිකම් කඩකිරීම්වලට සෘජුවම සහභාගිවූවන් බවට චෝදනා එල්ල වූ අය මෙන්ම, සෘජුවම සහභාගි නොවූ නමුත් අණදීමේ ක්‍රියාදාමයේ සිටින අයද ඒ අතර සිටින බව දැකගත හැකිය. විශ්වීය අධිකරණ බලය මත නඩු පැවරීමට අවසර ලබාදෙන, අදාළ රටවල නෛතික ප්‍රතිපාදන හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල බොහෝ සාමාජිකයන්ගේ සිත් තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කරවීම වැළක්විය නොහැකිය. මේ වන විටත් යුද සමයේදී, නොකැළැල් කීර්තියක් ඇති සටන් ඒකකවල සේවය කළ බොහෝ හමුදා නිලධාරීන්ට මානව හිමිකම් සම්බන්ධ සීමාවන් හේතුවෙන්, අන්තර්ජාතික පුහුණුවක් හෝ අන්තර්ජාතික සේවයක් සඳහා සහභාගී වීමට නොහැකි වී තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් හෝ කතෝලික සභාව, වන්දි මුදලින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ සීමිත සොයාගැනීම්වලින් සෑහීමට පත් නොවනු ඇත. ඔවුන්ට අවශ්‍ය වනු ඇත්තේ බෝම්බ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම පිටුපස ඇති සත්‍යය සහ ඕනෑම ආකාරයක මූල්‍ය වන්දියකට වඩා වැඩි වටිනාකමක් ඇති ඔවුන්ගේ ආදරණීයයන් ය. කතෝලික සභාව දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පල්ලිය සෑහීමකට පත් වුවද, ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට පමුණුවන තුරු පල්ලිය සටන අත් නොහරින බවයි. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවේ, “බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා වඩාත් සාර්ථක මාවතක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු… ඒ හරහා ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට අදාළව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි කැමැත්තෙමු. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාඩ් සහාය ඇතිව නව පරීක්ෂණයක් පවත්වන බවට වත්මන් ජනාධිපතිවරයා ද පොරොන්දු වූ නමුත් කිසිවක් සිදුවී නැත.” යනුවෙනි.

දශක තුනක ජනවාර්ගික යුද්ධයේ දීර්ඝ කාලය තුළ, මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාධවලට ගොදුරුවූවන් සම්බන්ධයෙන්ද පවතින්නේ මේ හා සමාන තත්වයකි. ඉන් අති බහුතරයක් දෙමළ ජනතව වුව ද, ජනවර්ගයෙන් හෝ ආගමින් සීමා නොවී, සියලුම ප්‍රජාවන් ආවරණය වන පරිදි තම ආදරණීයයන් අහිමි වූ පවුල් දස දහස් ගණනක් රට තුළ සිටී. මෙම සිදුවීම්වලින් ඉතා ස්වල්ප සංඛ්‍යාවක් පමණක් විමර්ශනය කර ඇති අතර, සිවිල් අධිකරණ විසින් නැවත තහවුරු කරන ලද සාපරාධී ක්‍රියාවන් සඳහා හමුදා නිලධාරීන් වරදකරුවන් කළ අවස්ථාවලදී පවා, ඔවුනට ජනාධිපති සමාව ලබා දී ඇති අතර, එමඟින් වින්දිතයන් තුළ අසාධාරණය පිළිබඳ හැඟීම අඛණ්ඩව පවතී. යුධ සමයේදී සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, පසුව බලයට පත් ආණ්ඩු අකාරුණික ආකල්පයක් අනුගමනය කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය අවධානය සහ ප්‍රමුඛතාවය ලබා දීමට සමත්වී නැත.

ජාතික යාන්ත්‍රණ

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුට සහ හමුදා නිලධාරීන්ට එරෙහිව කැනේඩාව විසින් සම්බාධක පැනවීම, ඉදිරියේ පැමිණෙන අන්තර්ජාතික මානව හිමිකම් සම්බාධකවල පුළුල් පරාසයක් පිළිබඳ ඇඟවීමකි. වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව එයින් පෙන්නුම් කර තිබේ. වරක් නිර්මාණයවූ පසු, ඒවා නැවත ඉවත්ව නොයන බැවින්, ඒවා නොසලකා හැරීමට හෝ ඉවත්කර දැමීමට නොහැකිය. කැනේඩියානු රජයේ පැහැදිලි කිරීම වන්නේ, “ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී (1983-2009) දළ සහ ක්‍රමානුකූල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සිදු වූ බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සඳහා අඛණ්ඩව ආරක්ෂාව ලබාදීම හේතුවෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම, පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටුකිරීම සහ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා වූ අපේක්ෂාවන් අනතුරේ හෙළා තිබේ. පශ්චාත් ගැටුම් සම්බන්ධයෙන් වගවීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳ සළකා බැලීමේදී, ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් ගෙන ඇත්තේ සීමිත සංයුක්ත ක්‍රියාමාර්ග කිහිපයක් පමණකි. දේශපාලන මැදිහත්වීම් හේතුවෙන්, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ, යුද අපරාධවලට සම්බන්ධ බවට තහවුරු කරන ලද වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් රැසකට එරෙහිව පැවැති චෝදනා අත්තනෝමතික ලෙස ඉවත් කර හෝ ඔවුන්ට පනවා තිබූ දඬුවම් අවලංගු කර තිබේ.

තම අභ්‍යන්තර කටයුතුවලට අන්තර්ජාතික මැදිහත්වීම සීමා කිරීමට නම්, රජයට තම අභ්‍යන්තර යාන්ත්‍රණය ශක්තිමත් සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල බව පෙන්වාදීමට සිදුවේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන හා ඵලදායී බව අන්තර්ජාතික ප්‍රජාවට ඒත්තු ගැන්වීමට යම් දුරකට උපකාරී වනු ඇත. එල්ලවී ඇති ආර්ථික අපරාධ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වී තිබේ. ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල විය. ආර්ථික වැරදි ලෙස කළමනාකරණය සහ දිනෙන් දින ඉහළ යන දූෂණය දැවෙන ප්‍රශ්න වන අතර, ඒවායේ වරද දෙමළ ඩයස්පෝරාවට හෝ විපක්ෂයට පැවරිය නොහැක. පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ ලද දරුණුතම පරාජය ලැබූ බව මතක තබා ගත යුතුය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු 36 දෙනකුට එරෙහිව, මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථිකය අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සහ තවත් පාර්ශ්ව කිහිපයක් මෙම නඩු පවරා ඇත.

ශ්‍රී ලංකා රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල්  203ක අගයක පවත්වාගෙන යෑමට මූල්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා පසුගිය නොවැම්බර් 03වැනිදා අධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ. එසේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු; විදේශ සංචිත භාවිත කරමින් 2022 ජනවාරි 18 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු; යනාදිය පිළිබඳවද සොයාබැලීමට අධිකරණය නියෝග කර ඇත(https://island.lk/gotabaya-mahinda-basil-and-36-others-to-face-legal-action/). ශ්‍රේෂ්ඨාධිකරණය ආර්ථික අපරාධ සම්බන්ධයෙන් නව මාවතක් විවර කළහොත්, රාජ්‍ය පාලනයේ වගවීම අපේක්ෂා කරන රටවල ඉදිරි පෙළට එක්වීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී. එමගින් රට තුළ පරිපාලන හා දේශපාලන තනතුරු වෙනුවෙන් නව පුරවැසි කොට්ඨාශයක් බිහි කළ හැකි අතර, විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ “පද්ධති වෙනසක්ද” ලබා දිය හැකිය. පසුගිය දශක කිහිපය තුළ පහළම මට්ටම් දක්වා පහත වැටී ඇති අන්තර්ජාතික සහයෝගය සහ ආයෝජන ප්‍රවාහය, එවැනි ධනාත්මක වෙනස්කම් ඔස්සේ පුනර්ජීවනය කළ හැකිය.

ජෙහාන් පෙරේරා

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.