Saturday, March 25, 2023
spot_img

Latest Posts

සිල්ප සොඳින් දැනගන්න ගිහින්

ගී ඇසුර 22

පසුකාලීනව චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත කලාවේ සම්මානනීය සන්ධිස්ථාන රැසක් පසු කළ ගේය පද රචක වසන්ත කුමාර කොබවක වඩාත් බුහුටි වූයේ ජනකාව්‍යයේ අව්‍යාජ ලක්‍ෂණ සිය ගේය පද රචනාවන්ට ආදේශ කර ගන්නටයි.

කොබවකගෙ ගම බුලත්සිංහල. කළුතර දිස්ත්‍රික්කය මායිමේ, රත්නපුර දිස්ත්‍රික්කය ආසන්නයේ ඇති සශ්‍රීක ගමක්. ගංගා, ඇල දො​ළ තියෙන කුඹුරු ගොවිතැන් කරන සාම්ප්‍රදායික ගමක්. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් සමත් වෙලා ඇවිත් දෙවන ලෝක යුද්ධ කාලෙ මේ ගමේම නවතින්නෙ ගමේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමට. ඔහු ගමේ මිනිසුන්ට හිතැති වෙද මහත්තයෙක්. අම්මා ගුරුවරියක්. කොබවකගෙ අක්කා ඔහුට වඩා අවුරුදු 06ක් වැඩිමල්. ඔහු හැදුණෙ අක්කගෙ හෙවණෙමයි. ඇය සහෝදරියකට වඩා ගුරුවරියක් වගේ ඔහුට මඟ පෙන්නුවෙ, බොහෝ යහපත් දේවල් කියල දුන්නෙ අක්කා.

ඇය 1969 අවුරුද්දෙ කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. අක්කා කැම්පස් ගියාමත් එහේ ඉගෙන ගන්න දේවල් උසස් සාහිත්‍ය කලාංග ගැන කරුණු කාරණා මල්ලිගෙ ඔළුවට දානවා. කොබවකගෙ සාහිත්‍ය රුචිකත්වයන් හැඩ ගැහෙන්න ඇය ලොකු බලපෑමක් වුණා. අක්කගෙ ඇසුරේ හිටිය ඔහුට ඇගේ සරසවි ගමන කිසියම් සාංකාවක් ඇති කරන්නට හේතු වී තිබුණා. ඊට පස්සෙ කාලයක්ම දෙමව්පියන් ඇසුරේ හිටියත් ඔහු ගත කළේ පාළුවෙන් පිරුණු සිතුවිලි එක්ක අරගල කරමින්. ඔය කාලෙ යමක් කමක් අලුතින් දැන කියාගන්න උසස් රස වින්දනයකට හුරු වෙන්න ජාතික ගුවන් විදුලිය තමයි ප්‍රධාන වශයෙන් තිබුණෙ. ඊට අමතරව ඉතින් පොත්පත්, චිත්‍රපට, නාට්‍ය යනාදිය තමයි. පාළුවෙ ඉන්නකොට පුරුද්දක් විදිහට ජාතික ගුවන් විදුලියෙ ප්‍රබුද්ධ ගී, ගීයක රස වගේ වැඩ සටහන්වලට කොබවක තදින්ම බැඳිල හිටිය. වරෙක ගීයක රස වැඩ සටහනට සහභාගි වුණු විශාරද නන්දා මාලනී ඇය විසින්ම සංගීතවත් කොට ගයනු ලබන “රුක් අත්තන මල මුදුනේ” ගීතයේ සංගීතමය මූලාශ්‍ර ගැන පැහැදිලි කිරීමක් කළා. එහි තනුවට කිරළා වන්නමෙන් ගත් ආභාසය තමයි එහිදී පැහැදිලි කෙරුණෙ. කොබවක ගිහින් ගෙදර තිබුණු 18 වන්නම පොතේ කිරළා වන්නම කියවල බැලුවා. පුරාණ ඉසිවරුන්ගේ බුද්ධි මහිමය සහ ශිල්ප මහිමය තමයි එහිදී කියා පෑවේ.

සන්න සොලෝ පෙළ දන්න ලෙසේ උපතින්න බලා සකලා
ඉන්න තුටින් ඉගිලෙන්න පලින් තුරු කන්න බොජුන් සොයලා
දන්න හඬින් තුඩගින්න හැඟුම් ස්වරයෙන ඉසින් දැකලා
ඔන්න මෙදැන් පවසන්න සිරින් යුතු වන්නමමයි කිරලා

මේ වන්නමේ පැදි විරිත ඔහුගෙ හිතේ තැන්පත් වුණා. දින ගණනාවක් තිස්සේ එහි නාද ආකෘතිය ඔහුගෙ හිසේ රැව් දෙන්න ගත්ත. අක්කා ගමේ ඉඳන් විශ්වවිද්‍යාලයට කොළඹ යාමත් එක්ක ඇති වුණු පාළුව එක්ක අර වන්නමේ ආකෘතියට ගී පද පෙළක් ලියවුණේ ඉබේමයි.

සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හින්දා මං තනියේ

අක්ක ගැන හිතල ලිව්වට ගමේ පෙම්වතා පෙම්වතියට ලියනව වගේ අදහසක් තමයි එහි ගැබ්වුණේ.

කොබවක මේ ගීයේ මුල් පද පෙළ ලියන්නෙ 70 දශකයෙ මුල. ඕක කාලයක් ටික ටික නිර්මාණාත්මකව ගොඩනැගුණා ගීයක් බවට පත්වෙන්න. ඔය අතරෙ වසන්ත කුමාර කොබවක හොරණ තක්ෂිලාවෙන් විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ 1978 අවුරුද්දෙ. ඔහු විද්‍යාපීඨයෙ ශිෂ්‍යයෙකු වුණත් නේවාසිකාගාරෙ හිටියෙ කලා පීඨ ශිෂ්‍යයොත් එක්ක. විද්‍යාපීඨයෙ දේශන ඉවර වුණාම අර කලා පීඨ සිසු සිසුවියන් එක්ක තමයි ඇවිත් කල්ලි ගැහෙන්නෙ. කලාවට තිබුණු නැඹුරුතාව නිසා ඔහු ඉගෙනගත්තු විෂයයන් වලට වඩා වැඩි ප්‍රියතාවක් දැක්වූයෙත් කලා ක්‍රියාකාරීත්වයන්ට.

ඒ වෙනකොට කොබවක ලියපු සිල්ප සොඳින් ගීතය තව සංවර්ධනය වෙලා තිබුණා. ඔහු උපකල්පනයෙන් ලියපු සිද්ධිවලට අදාළ චරිත මුණ ගැහිලත් තිබුණා. ඇතැම් ශිෂ්‍යාවන් හමුවෙන්න ගමේ පෙම්වතා එද්දි ඇයට සරසවි ප්‍රේමයකුත් ගොඩනැගිල තිබුණු අවස්ථා ඔහු දන්නවා. ඔහුට මතක් වුණා අම්මා ඒ කාලෙ අක්කට දුන්නු අවවාදය.

“කැම්පස් එකේදි හම්බවෙන අය අඳුනගන්න තරං කාලයක් කැම්පස් ජීවිතය ඇතුළෙදි ලැබෙන්නෙ නෑ. අවුරුදු කීපයයි නේ. තීරණයක් ගන්නවා නම් හොඳට හිතල මතල හරිම තීරණේ ගන්න.”

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩු
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට නුඹ කිරිකෝඩු

1978 විතර කොළඹ විශ්වවිද්‍යාලයෙ තිබුණු සංගීත ප්‍රසංගයකට ආරාධිත ශිල්පියෙකු විදිහට සුනිල් එදිරිසිංහ කැඳවා තිබුණා. ඔහු එවකට නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ප්‍රසංගය අහවර වෙලා එය සංවිධාන කළ සිසු පිරිසක් එක්ක කතා කරමින් ඉන්න ගමන් සුනිල් ඔවුන්ට විවෘත ආරාධනාවක් කරනවා.

“ඔයාල අතරෙ සිංදු ලියන්න පුළුවන් අය ඉන්නව නම් මට ලියල එවන්න. හොඳ නම් මම ගන්නම්. මගෙ ඇඩ්‍රස් එක සුනිල් එදිරිසිංහ, නුංගමුගොඩ, කැලණිය.”

අවාසනාවකට වගේ කොබවක එතන හිටියෙ නැහැ. හවස නේවාසිකාගාරයෙදි ඔහුට ආරංචි වෙනව සුනිල් එදිරිසිංහගෙ ආරාධනය. කොබවක පසුදා පාන්දරින්ම සුනිල්ට යවනව තමන් කාලයක් තිස්සෙ ලියපු “සිල්ප සොඳින්” ගීතය. තැපෑලෙන් ආපු ඒ පද පෙළ කියෙව්වම එහි කිසිම ආධුනික බවක් සුනිල් දකින්නෙ නැහැ. රචකයගෙ හිතේ ඇතිවුණු සංකල්පය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කර ඇති බවයි ඔහුට වැටහෙන්නෙ. පද පෙළ සැරයක් දෙකක් කියවද්දි ඔහුගේ හිතට එනවා තනුවක්. නිරායාසයෙන් යෙදුණු තනුව අනුව එහි සංගීත සංරචනාව කරන්න බාරදෙන්නෙ රෝහණ වීරසිංහට.

ගුවන් විදුලියෙ විශිෂ්ට ශ්‍රේණියෙ ගායකයෙකු නිසා සුනිල් එදිරිසිංහට වසරකට සරල ගී වැඩ සටහන් දෙකක් ලැබෙනවා. එකකට ගීත 7ක් ඇතුළත් වුණා. ඔහුගේ ඊළඟ සරල ගී වලට සිල්ප සොඳින් ගීතයත් ඇතුළත් කර ගත්තා. සුනිල් ඒ කාලෙ වැඩ කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ. කාර්යාලය තිබුණේ ඩික්මන් පාරේ. ඔහු මෝටර් බයිසිකලයෙ යන එන ගමන් කොළඹ සරසවියෙ දොඹ ගහ ළඟට ඇවිත් සිසුන් පිරිසකට පණිවිඩයක් තියනවා ඔවුන්ගේම සරසවි සගයෙකු වූ වසන්ත කුමාර කොබවක නම් ශිෂ්‍යයාගේ ගීයක් තමන්ගේ සරල ගී වලින් ප්‍රචාරය වීමට නියමිත බව. දින වකවානු එක්කම පණිවිඩය දුන්නත් ඒ තොරතුරු කොබවකට ලැබෙන්නෙ පහුවෙලා.

තමන් පෙරුම් පුරාගෙන ලියපු ගීතය මේ ජනප්‍රිය ගායකයා සරල ගී වලට තෝරාගෙන ගායනා කළත් එයට සවන් දෙන්නට නොහැකි වීම ගැන ඔහු පත්වෙන්නේ දැඩි පශ්චාත්තාපයකට. ඔහු යනව සුනිල් එදිරිසිංහ හොයාගෙන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට. ඒත් මුණ ගැහෙන්නෙ නැහැ. සුනිල් මහවැලි අමාත්‍යංශයට මාරු වී ගිය බවයි එතැනදි දැනගන්නට ලැබුණෙ.

කොබවක ආයෙත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඔහු මේ තතු විත්ති සඳහන් කරල ආපහු සුනිල්ට ලියුමක් යවනව. ඊට පස්සෙ සුනිල් සිය සරල ගී වැඩ සටහන පටිගත කළ කැසට් පටයක් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙනත් කලා පීඨයෙ තියල යන්නෙ පරිස්සමින් එය ආපහු බාරදෙන්න කියන පණිවියඩයත් එක්ක. යන්තම් ඒ කැසට් පටය කොබවකට ලැබෙනවා. කොහොමද ඒක අහන්නෙ?

ඔහු මුලින්ම කළේ මිතුරන් පිරිවරක් එක්ක බම්බලපිටිය ලෝරිස් පාරේ “උයන රෙකෝඩ් බාර්” එකට ගිහින් එම ​ගී පිටපත් කර ගැනීමයි. සිද්ධියට සම්බන්ධ සෙසු සරසවි සගයොනුත් මේ ගීතය අහන්න ආසාවෙනුයි උන්නෙ. ඔවුන් අතර හිටිය ෆිරෝස් කියල මුස්ලිම් යාළුවෙක්. ඔහුගේ දෙමව්පියන් යමක් කමක් ඇති අය. සිය නිවෙසේ තිබුණු කැසට් ප්ලේයරය කැම්පස් එකට ගේන්න ෆිරෝස් කැමැත්ත පළ කළා. මිතුරු පිරිවර බස් එකේ ගිහින් කැසට් ප්ලේයරය අරන් ආවා. එදා හවස කට්ටයම එකතු වෙලා ගීතය ඇහුවෙ කැම්පස් එකේ කොමන් රූම් එකේදි. ගීතයේ පොඩි “පන්ච්” එකක් තිබුණා. පිරිස කැසට් පටය රිවයින් කරමින් ගීය යළි යළිත් ඇහුවා.

“සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ”

මතක හිටින තනුවක් නිසා හැමෝගෙම මුවග ගීතය රැව්දෙන්න ගත්තා. පිරිස නානකොට කියන්නෙත් ඔය ගීතය. කොබවක නේවාසිකාගාරය ඇතුළෙ එක රැයකින් “පොරක්” වෙනව. හරිම ආඩම්බරයි. දැන් අර මුල් කැසට් පටය සුනිල් එදිරිසිංහට බාරදෙන්නට ඕනෙ. කොබවක යනව සුනිල්ව හොයාගෙන ඩාලි පාරේ මහවැලි අමත්‍යාංශයට. ඔහු ඒ වෙනකොට වැඩ කළේ මහවැලියෙන් පළ කළ “ඉසුර” සඟරාවෙ. ජයලත් මනෝරත්න, සුගත් වටගෙදර, කේ. එම්. අයි. ස්වර්ණසිංහ වගේ සමකාලීන කලාකරුවොත් ඒ වෙනකොට සුනිල් එක්ක “ඉසුරෙ” වැඩ කළා. පස්සෙ කාලෙ සනත් ගුණතිලක සහ ප්‍රසන්න විතානගේත් එතැනට එකතු වුණා.

මහවැලියෙදි තමයි කොබවකට සුනිල් මුලින්ම මුණ ගැහෙන්නෙ. ඒ, 1979 අවුරුද්දෙ. එතැනින් ඔබ්බට වසන්ත කුමාර කොබවකට ගීතයේ නිවැරදි ආකෘතිය අවබෝධ කරගෙන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රවාහයට එකතු වෙන්න අවකාශ සැලසෙනවා. ගුවන් විදුලි සරල ගී වලින් ජනප්‍රිය වුණු සිල්ප සොඳින් ගීතය සුනිල් එදිරිසිංහගෙ කැසට් පට වලින් මඟ හැරෙනවා. ඊට හේතුව චන්ද්‍ර මඩල බැද්ද වටින්, නුඹේ සිතට පුන්සඳ පායලා වගේ, පුරපෝය හඳට පෙමින් බැඳුණු වගේ ගැමි ආරේ ගීත ඒ කැසට්වල තිබුණු නිසා වෙන්නට ඇති. සිල්ප සොඳින්වලට වඩා සාපේක්ෂව ඉදිරියෙන් තිබූ වෙනස් අනුභූතීන් රැගත් කොබවක ලියූ වෙරළු ගෙඩිය, වනේ වන පල, පලංචියේ, ගුරුළු වෙස් දරා, සියාතුවේ වගේ ගීත තමයි ඒ කැසට් වලට ඇතුළත් වුණේ.

සිල්ප සොඳින්” නිර්මාණය වෙලා අවුරුදු 20 කට පස්සෙ කෙරුණු සුනිල් එදිරිසිංහගේ “නව රිද්ම” සංයුක්ත තැටියෙන් තමයි මේ ගීතය ආපහු එළියට ආවෙ. එතකොටත් රසික පරපුරක්ම “සිල්ප සොඳින්” ආදරයෙන් වැළඳගෙන අවසන්.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

ඇය යන්න ගියා මැකිලා

පුන්සඳ රෑට

ගමේ කෝපි කඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.