ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ආනයනික ගල් අඟුරු සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල සංවාදයක් ගොඩනැගී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණු පැහැදිලි කිරීම් කර තිබුණද තවදුරටත් ඒ සම්බන්ධ ගැටළුකාරී තත්ත්වය පහව ගොස් නැහැ.
මේ හේතුවෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රශ්නගත ගල්අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන්වරට පැමිණි නෞකාවේ ගල්අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා එළැඹෙන කාරක සභා රැස්වීමට යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නියම කර තිබෙනවා.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබුණු අතර එදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණි.
එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි කරගැනීමක් සිදුකර ගෙන තිබෙන අතරම අවසන්වරට ගල්අඟුරු ආනයනය සිදුකිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගෙන ඇති බව සඳහන්.
ඒ අනුවයි අවසන් වරට දිවයිනට පැමිණි ගල් අඟුරු නෞකා තුන සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට කටයුතු කර ඇත්තේ.
මෙම ප්‍රශ්නගත කාරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කාරක සභාවේදී කරුණු සාකච්ඡා කර තිබෙනවා. මෙම ගල් අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලඟ රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවීමටද නියමිතයි.
එක් පැත්තකින් මේ ගල් අඟුරු ප්‍රශ්නය දිග ඇරෙද්දි අනෙක් පසින් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නගත ගල් අඟුරු හේතුවෙන් රජයට පාඩු සිදුව ඇත්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නක් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මින් ඉහත වසරයන් හිදීද මෙවැනි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වී ඇති බවත් ඒ සඳහා අදාළ සමාගම් වෙතින් දඩ අයකර ගැනීමට කටයුතු කර ඇති බවත්ය.
“පලවෙනි ලෝඩ් එකේ මෙට්‍රික් ටොන් 60,000 තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. එතන තිබුණේ කිලෝ කැලරි 5,520යි සාම්පල් චෙක් කළාම. ඒ අනුව ඒ අයට දෙගුණයක දඩයක් අයකරනවා. දෙවැනි එකේ කිලෝ කැලරි 6,017යි ඒ අනුව අර 5900 – 6150 අතර සීමාවේ පවතිනවා. තුන්වැනි එක සහ හතරවැනි ලෝඩ් එක දැන් ගොඩබාමින් පවතිනවා දැන් ඒවායේ සාම්පල් යැව්වාට පස්සේ තමයි මේක ගන්න වෙන්නේ. මේ ආදි සිදුවීම් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා 2020-2021 අවුරුද්දෙදි මේ විදිහටම ඩොලර් මිලියන 7.54ක් අපි දඩ අයකරගෙන තියෙනවා. 2021-2022 අතර අපි ඩොලර් මිලියන 6.1ක් දඩ අයකරගෙන තියෙනවා, 2022-2023 වසරවල ඩොලර් මිලියන 7.8ක් දඩ අයකරගෙන තියෙනවා. ඒ කියන්නේ ගල් අඟුරු එහෙම ගේනකොට ප්‍රමිතියේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම මේ විදිහට දඩ අයකරගන්නවා ඒක භාවිතයට නුසුදුසුනම් ඉවත් කරනවා එහෙම තමයි මේ කටයුතු සිදුවෙලා තියෙන්නේ. මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි ගල් අඟුරු ලෝඩ් කරන පෝට් එකේ පරීක්ෂණ වාර්තාව ප්‍රමිතියට එකඟයි නම්, ලංකාවට ගොඩබෑවාට පස්සේ නම් ප්‍රශ්නේ තියෙන්නේ දඩ ගැසීම් කරනවා ඒක 2020, 2021, 2022, 2023 වසරවලත් මේ දඩ ගැසීම් කරලා තියෙන්නේ ප්‍රමිතියෙන් තොර සමහර ලෝඩ් අහුවෙච්ච නිසා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි නැව් 10ක් ගෙනාවනම් 10ම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. සමහර ලෝඩ්වල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා ඒකට ගල් අඟුරු සමාගම් විසින් සම්මත කරගත්ත ක්‍රමවේදයක් තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සිය පැහැදිලි කිරීම කර තිබුණා.


