සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 28 ,(LNW)කොළඹ :
මඩකළපුව වෙබයාර් ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී නිමාව දුටු නැගෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් සුරතාවලියේ පිරිමි කේවල සුරතාවය දිනා ගන්නට සෙනුක් සමරද සමත් වුණා.කාන්තා කේවල සුරතාවය දිනා ගැනීමට රශ්මි මුදලිගේට හැකිවුණා.
විවෘත අංශයේ ශූරතා බෙදී යාමේදී ශූරතා දෙකක් සඳහා සුදුසුකම් ලැබීමට රශ්මි මුදලිගේ සහ තුලිත් තෙව්මික පල්ලියගුරු සමත් වුණා.රශ්මි කේවල කාන්තා සුරතාවයට අමතරව විවෘත කාන්තා යුගල සූරතාවය ද,වරංගනා ජයවර්ධන සමග එක්ව දිනා ගැනීමට සමත් වුණා.පල්ලියගුරු,ඔෂාමික කරුණාරත්න සමඟ එක්ව පිරිමි යුගල ශූරතාවයද,පංචලී අධිකාරී සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගැනීමට සමත් වුණා.
මෙම තරගාවලිය මඩකලපුවේ පැවැත්වීම හේතුවෙන් ජාතික මට්ටමේ ඉදිරි ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමග තරග කිරීමේ අවස්ථාව මඩකළපුව ප්‍රදේශය ආසන්නයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන පිරිසට හිමිවුණා.එසේම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් එම ක්‍රීඩාවට අදාළ සියලු විෂයන්හි කරගෙන යනු ලබන සංවර්ධන ක්‍රියාවලියට සාපේක්ෂව මඩකළපුව ප්‍රදේශයේ ඇතිවී තිබෙන ක්‍රීඩාවේ සංවර්ධිත අවස්ථාද ජාතික මට්ටමෙන් ඇගයීමටට ලක්වීම මේ තරගාවලිය හරහා ප්‍රායෝගිකව සිදුවුණා.තරඟ විනිසුරුවන් මෙන්ම පැතිරේඛා නිරීක්ෂකයන් හැටියටද මඩකළපුව ප්‍රදේශයේ විශාල පිරිසක් මේ තරගාවලියට දායකත්වය ලබා දුන්නා.විශේෂයෙන්ම පවත්වාගෙන යන වැඩපිළිවෙළ යටතේ ඉහළ මට්ටමේ ජාතික තරගාවලියක විනිශ්චයේ යෙදිය හැකි දස දෙනෙකුට වඩා පිරිසක් මඩකළපුව ප්‍රදේශයේ දකින්නට ලැබීම අගය කළ යුතුයි.එසේම ඇතැම් අවස්ථාවලදී, ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් සහය විනිසුරුවන් ලෙස කටයුතු කරමින් ප්‍රධාන තරග විනිසුරු භූමිකාවේ අත්දැකීම් නැගී එන විනිසුරුවන් වෙත ලබාදෙන ආකාරයද මේ තරගාවලියේ අවස්ථා කීපයකදීම දකින්නට ලැබුණා.
එසේම තරගාවලියේ මූලික වටේ තරග පරාජිතයන් සහභාගි වූ ප්ලේට් ශූරතාවය සඳහා වූ තරග අංශයේ සූරතාවය දිනා ගැනීමට මඩ කළපුව ප්‍රදේශයෙන් තරගකළ සුභේ මොහොමඩ් සමත්වීමත්,එම ප්‍රදේශයේම ආනන්ද වඩිවේල් අවුරුදු 35 න් ඉහළ පිරිමි සූරතාවය දිනා ගැනීමත් ප්‍රදේශයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් ඇති කරන්නට මග පෙන්වන බව විශ්වාස කළ හැකියි.
දිවයින පුරා විසිරී සිටින දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් විවෘත,කනිෂ්ඨ වයස් කාණ්ඩ සහ ප්‍රවීණ වයස් කාණ්ඩ යටතේ 400කට වැඩි පිරිසක් දින කිහිපයක් තිස්සේ මඩකළපුව කේන්ද්‍ර කර ගනිමින් තරඟ වැදීම නිසා එම ප්‍රදේශයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව,සමාජීය වශයෙන් එම සහභාගීත්වයන් මඩකළපුව ප්‍රදේශයට දැණුන ආකාරයත් එහි සංචාරය කළ අපේ නිරීක්ෂණයට හසුවුණා.ක්‍රීඩාව ජාතික සහ ප්‍රාදේශීය වශයෙන් ආර්ථික හා සමාජයීය දේශපාලන කාරණාවන්හී ප්‍රගතිය සඳහා බලපාන ආකාරය එම නිරීක්ෂණ ඇසුරෙන් ඉදිරියේදී ලියා දැක්වීමට නියමිතයි.
එසේම ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම බැඩ්මින්ටන් ක්‍රීඩකයා හැටියට පිළිගැනෙන නිලූක කරුණාරත්න ද,සිය ක්‍රීඩා අත්දැකීම් ප්‍රායෝගිකව අලුත් පරපුර සමග බෙදා ගැනීමේ වැඩපිළිවෙළක් හැටියට ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වීම සඳහා අවුරුදු 35 ඉහළ කාණ්ඩයෙන් මේ තරගාවලියට ඉදිරිපත්වීමට තීරණය කර තිබුණා.තරග සංවිධායකයන් පැවසුවේ නිලූකට පමණක් නොව තමන්ටද නිලූකගේ අසනීප තත්ත්වයක් නිසා ඒ විශිෂ්ට දායකත්වය තරගාවලියට අහිමි වී ගිය බවයි.