කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගමු – ජනපති අනුරපුරේදී කියයි.

අනුරාධපුර රාජධානි සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.

” පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපේ රට ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අප ලබා ගෙන තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළා. අප ලබාගත් ණය ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අපට එම ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ඔවුන්ට දැනුම් දුන්නා. එම ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස යෝජනා කළා. අපට ණය ලබා දුන් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් දන්වා සිටියේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අනතුරුව එම රටවලිනුත් ලබාදිය හැකි ආධාර පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන්නා.

ඒ නිසා අප මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා. අපට මෙම අධාර නැතිව ඉදිරියට යන්න බැහැ. මේ අධාර නොලැබුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ තිබෙන අරමුදල් සහ විදේශ විනිමය ප්‍රමාණවත් වන්නේ නැහැ. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 11යි. මේ වසරේ අප සැලසුම්සහගත ලෙස කටයුතු කළහොත් එය සෘණ 3.5ක් බවට පත්කරගත හැකියි. ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ 4ක් විය හැකියි. නමුත් අප අපේක්ෂා කරන ප්‍රමාණය සෘණ 3.5යි. මේ ආකාරයට බලන විට 2024 වර්ෂයේ සිට අපට ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකියි. අපට ඩොලර් නැති වූ අවස්ථාවක අප ගත් පියවර නිසා අපට යම් ආධාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේ දී මීට වඩා ආධාර අපට ලැබීමට නියමිතව තිබෙනවා.

බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා තිබෙනවා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට බව ඒ අය පෙන්වා දුන්නා. තායිලන්තය වැනි රටවල රජයේ ආදායමට තීරුබදුවලින් ලැබෙන්නේ 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදුවලින් 4.5%ක් ලබන අතර ආදායම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදුවලින් ලැබෙන්නේ 17.7%යි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා.

මෙය අවුරුද්දක් පමණ යද්දී අපිට පුළුවන් වෙයි දියුණු කරන්න. විශේෂයෙන් අපේ ආදායම් මීට වඩා ශක්තිමත් වෙනවානම් මං බලාපොරොත්තු වනවා මේ අවුරැද්දෙ තුන්වන කාර්තුවෙ සහනයක් විදියට රජයේ සේවකයන් සියලු දෙනාට දීමනාවක් ලබා දෙන්න.

මාසයකට රුපියල් හතළිස් තුන්දහසක ආදායමක් ගන්න අයගෙන් බදු අයකරන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට කිව්වා. අදායම එක්ලක්ෂ පනස් දහසකට වැඩි අයගෙන් අය කර ගැනීමට අප යෝජනා කළා. අවසානයේ සංඛ්‍යාලේඛන සකස් කළ විට එය ලක්ෂයක ආදායම දක්වා යන්න වුණා. දේශපාලනඥයන් ලෙස එතැනට යන්න අපිත් කැමැති නෑ. නමුත් රට බේර ගන්න එතනට යන්න වුණා.

අප සියලු දෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මා පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අප සියලු දෙනා දරාගෙන ඉන්නවා. අප දන්නවා අමාරුයි කියලා. අමාරුකම් අපටත් ඇති වෙලා තිබෙනවා. සමහරු ගෙවල් හදන්න ණය අරන් තියෙනවා . මටත් ගෙයක් හදන්න තියෙනවා. ඒ සඳහා මා ආණ්ඩුවෙන් වන්දි ඉල්ලන්න යන්නෙ නෑ.

මේ තියෙන අමාරුකම් අප ඔක්කොම දන්නවා. ඒත් මෙයින් ඈත් වෙන්න බෑ. අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමඟ වැටුප් ඉහළ නැංවිය යුතුයි. අප ලාභය ඉහළ නංවාගත යුතුයි. මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක් ලෙස අසීරු කාර්යයක්. එහෙත් මා පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මා ඉල්ලනවා.

ජපානය ඇතුළු පැරිස් සමුළුවේ රටවල් එකතුවී අපේ යෝජනා පිළි අරගෙන සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. චීනය දැන් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමඟ අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසඳා ගත හැකියි. අප අලුත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අප එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි”

ලෙසින් ජනාධිපතිවරයා කීය.

රෂිකා හෙන්නායක